2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

පනාමුරේ ගමක් වනසන දැව බලාගාරය

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:31 132

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පනාමුර ග්‍රාම නිලධාරී වසමේ බණ්ඩොක්කයාය, 04 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන දැව විදුලි බලාගාරයක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටිති.

පෞද්ගලික සමාගමක් විසින් පවත්වාගෙන යන මෙම තාප විදුලි බලාගාරය ඉදිකර ඇත්තේ විශාල ජනතාවක් පදිංචිව සිටින ගම්මානයක් අසලය. මෙම බලාගාරය ක්‍රියාත්මක වන අවස්ථාවේදි අධික ශබ්දයක් පිටවෙන අතර මේ සඳහා යොදාගන්නා දර හා දහයියාවලින් පිටවෙන දුම් හා අළු අවට ගම් රැසකට එල්ල කරන්නේ දැඩි පීඩනයකි. බලාගාරය නිසා පවුල් 2000ක් පමණ ඍජුවම පීඩාවට පත්ව සිටිතියි පැවසේ. බණ්ඩොක්කයාය ගම සමඟ හින්දලුක්හින්න, පූකටුව, ගල්අමුණ, වලල්ගොඩ, පනාමුර ඇතුළු ගම් රැසකට මේ තුළින් දැඩී පීඩාවක් ඇතිව තිබේ. අප බලාගාරය ඉදිකර ඇති ස්ථානයට ගොස් සිදුකළ සොයා බැලීමකදී දැකගත හැකිවූයේ මෙම බලාගාරය ඉදිකර ඇත්තේ පාරම්පරිකව වසර 100කට වැඩි කාලයක් තිස්සේ ජනතාව පදිංචිව සිටි ගම්මානයක් මධ්‍යයේ බවය.

කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකු මෙම ඉඩම මිලදීගෙන මේ ස්ථානයේ හෝටලයක් හදන බව පවසා මෙහි අක්කර 05ක පමණ ප්‍රමාණයක ඉඩම වටා විශාල තාප්පයක් ඉදිකර තිබේ. පසුකලෙක පවසා ඇත්තේ මේ තුළ ගාමන්ට් එකක් ඉදිකරන බවයි. කෙසේ වෙතත් ගම්මුන් පවසන්නේ මෙම ස්ථානයේ තාප විදුලි බලාගාරයක් ඉදිකරන බවට තමන් කිසිදු දෙයක් දැන නොසිටි බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ බණ්ඩොක්කයාය පදිංචි ජේ.ඒ. චන්ද්‍රදාස මහතා,

2016 අවුරුද්දේ තමයි මේ ස්ථානයට කට්ටියක් ඇවිත් මේ ඉඩම අරගත්තේ. ඒ වෙලාවේ ඒ ආව අයගෙන් එක්කෙනෙක් කිව්වේ මේ ස්ථානයේ හෝටලයක් ඉදිකරනවා කියලායි. ටික කාලයක් යනකොට අපිට තේරැණා මෙතන හෝටලයක් නෙමේ හදන්නේ කියලා. කොහොම හරි අපි ටිකක් සෝදිසි කරලා බලනකොට එතන මුරට හිටිය කෙනෙක් කිව්වා මෙතන බලාගාරයක් හදන්නේ කියලා. අපි මේ ගැන මොකුත් දන්නේ නෑ. කොහොම හරි මුරට හිටිය කෙනා මෙතන හදන්නේ බලාගාරයක් කියලා ගමේ අයට කිව්වා කියලා එයා රස්සාවෙන් අයින් කළා. ඊටපස්සේ වෙන කෙනෙක් මෙතන මුරට ආවා. එයා කිව්වා මෙතන හදන්නේ ගාමන්ට් එකක් කියලා. ඔහොම කිය කියා කොහොම හරි මේ අක්කර පහක් වගේ තියෙන මුළු ඉඩමම වටකරලා ලොකු තාප්පයක් හැදුවා ඉස්සරවෙලාම.

අවුරුද්දක් විතර යනකොට මෙතන බලාගාරයක්ය ඉදිකරන්නේ කියන කසුකුසුව ගමේ ගිහින් ඉවරයි. නමුත් මහත්තයෝ මේ ගම්වල ඉන්න අපිට තේරෙන්නේ නැහැනේ මොකද්ද මේ බලාගාරය. මොකද්ද මේකෙන් ගමට වෙන විනාශය කියලා අපි මොනවත් දන්නේ නෑ. මොකද මේක හදන අයවත් ගමේ ඉන්න නිලධාරීන්වත් අපිව මේ සම්බන්ධයෙන් දැනුවත් කළේ නෑ. කොහොම හරි හදලා ක්‍රියාත්මක කරනකොට තමයි අපිත් දන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. මේ බලාගාරයට ඉස්සර වෙලාම ගෙනාවේ ඇල්බීසියා දර. පස්සේ මේකට දහයියා ගෙනාවා. ඊට අමතරව විවිධ පැතිවල මිනිස්සුත් එක එක වර්ගයේ දර අරගෙන ආවා මේකට. මේක කරගෙන යනකොට මේ ගම්වල අපිට ඉන්න බැරි තත්වයක් ඇති වුණා. ගම්මාන හැමතැනකට අළු වැටෙන්න ගත්තා. දුම්වලින් මේ පැත්තම පිරෙන්න ගත්තා. ඒ වෙකොට තමයි ගමේ අයට තේරුණේ මෙතන වෙන්නේ මොකද්ද කියලා. අපි මේ ගැන අදාළ ආයතනයට කියන්න ගියාට වැඩක් වුණේ නෑ. පස්සේ ගමේ අය ගිහින් 2018.05.20 හෝ ඒ ආසන්න දිනයකදී පනාමුර පොලීසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා මේ තුළින් වෙන පීඩාව කියලා. ඒ අනුව පනාමුර පොලීසියෙන් මේ ආයතනයට විරැද්ධව මහජන පීඩාව යටතේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ බී.ආර්. 659/18 අංක යටතේ නඩු පැවරැවා. එම නඩුව තවමත් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තියෙනවා.

මේ අතරවාරයේ බලාගාරය දිගින් දිගටම ක්‍රියාත්මක වීම නිසා ගමේ අය එකතු වෙලා උද්ඝෝෂණ 03 කුත් පැවැත්තුවා. ගම්මුන්ට සිදුවෙන පීඩාව දිගින් දිගටම වැඩිවුණා මිසක් අඩු වුණේ නෑ. බැරිම තැන අපි ගම්මු එකතුවෙලා විරෝධතාවයක් පවත්වනකොට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා එම ස්ථානයට පැමිණ විරෝධතාවය නවත්වන්න කිව්වා. විසඳුමක් අරන් දෙන්නම් කියලා. ඒ අනුව එතුමා පරිසර අධිකාරීයේ මහත්වරැන්ගෙන් ලිපියක් ගෙනත් මෙම බලාගාරය තාවකාලිකව නැවැත්තුවා. ඒ කරලා පසුගිය 29 වෙනිදා පරීක්ෂණයක් තියන්න සියලුදෙනා දැනුවත් කරලා තිබුණා. නමුත් පරීක්ෂණයට කියලා ආවේ පරිසර එකෙන් කීපදෙනෙකුයි දිසාපති කාර්යාලයෙන් කීපදෙනෙකුයි විතරයි. අඩුම තරමේ ගමේ ග්‍රාමසේවක මහත්තයා ආවෙත් නෑ. 

කොහොම හරි ඒ පරීක්ෂණයට ආව අය මේ මැෂින් ස්ටාට් කරන්නයි කියලා බලාගරයේ අයට කිව්වම ඒ අය කිව්වා මැෂින් එක කැඩිලයි තියෙන්නේ කියලා. ඇත්තටම එදා මේ මැෂින් එක ස්ටාට් කළා නම් මේක ගමක් මැද හදන්න අවසර දීපු බලපත්‍ර දීපු සියලුදෙනා ඔළුවේ අතගහන්නවා. ඉතින් මැෂින් වැඩ නෑ කිව්ව නිසා ඒ ආව අය නැවත පරීක්ෂණයක් සඳහා දින 14ක කාලයක් මේ ආයතනයට ලබා දුන්නා. එදත් ගමේ අපි ගම්වටා කළු කොඩි දමලා 29 දින මේ ආයතනය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක් පැවැත්වූවා. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බණ්ඩොක්කයාය පදිංචි බී.එස්. මදුවන්ති මහත්මිය.

හෝටලයක් හදනවය, ගාමන්ට් එකක් හදනවාය කිය කියා ගමේ අයට බොරැ කියලා මේ අය මෙතන හැදුවේ තාප (දැව) බලාගාරයක්. මේ බලාගාරය නිසා ගමේ අපි පුදුම තරමේ පීඩාවකට පත් වෙලයි ඉන්නේ. උයාගත්ත කෑම ටික කන්න විදියක් නෑ. ඒකට අළු වැටෙනවා. රෙදි කෑල්ලක් හෝදලා වේලෙන්න දමන්න බෑ. ඒවගේ අළු වැටෙනවා. දරුවන්ගේ පාසල් ඇඳුම් හෝදලා වේලෙන්න දැම්මම ඇඳුම් ගෙට ගන්නකොට සුදු ඇඳුම්වලට අළු වැටිලා කළු පුල්ලි හැදිලා. ගෙවල් අතුගාල අස් කරාට වැඩක් නෑ. ගෙවල් ඇතුළට අළු වැටෙනවා. ඊට අමතරව ගම හැමතැනම මේකෙන් පිටවෙන දුම. දරුවන්ට මේ නිසා හුස්ම ගන්න බෑ. විවිධ චර්ම රෝග පවා හැදිලා තියෙනවා. මේකේ වැඩ කළ නැන්ද කෙනෙකුගේ කකුල්වල කුෂ්ඨ දැම්මා. ඒ නැන්දට මේ බලාගාරයේ අය කියලා තිබුණා කාටවත් මේ ගැන කියන්න එපා කියලා. නමුත් මේ නැන්දා ගමේ අයත් එක්ක මේක කිව්වා කියලා වැඩපලෙනුත් අයින් කළා.

අපේ ආච්චි සීයා ඉඳලා ජීවත් වුණු මේ ගම අපිට අද දමලා යන්න තමයි වෙලා තියෙන්නේ. ඊටත් වැඩිය මේකේ වැඩ කරන්නේ ඉන්දියාවෙන් ආව සේවකයනුයි. වැඩකරන අය නාන්න යන්නේ මේ ළඟ තියෙන හුලන්දා ඔයට. ගමේ අය නාන්න යන්නෙත් මේ ගඟටමයි. 

ඉතින් බලාගාරයේ වැඩකරන ඉන්දියානු සේවකයන් ඔයෙන් නාන්නේ ඇගේ ඇඳුම් නැතිවයි. මේක ගමක්. අපි සදාචාරයක් සම්ප්‍රදායක් ඇතිව හැදිච්ච අය. මේ අය නිරුවත්ව නානකොට ගමේ ඉන්න අය ඒ අයට බණිනවා. එහෙම වුණාම ඒ අය ගිහින් බලාගාරේ ලොක්කන්ට කියලා ගිහින් පොලිසියේ පැමිණිලි දමනවා. අද එහෙම පැමිණිලි දමලා ගොඩක් අයට පොලිසි යන්න වෙලා තියෙනවා. 

අද මේ බලාගාරයෙන් නිකුත් කෙරෙන අප ජලය සම්පූර්ණයෙන්ම මුදාහැරලා තියෙන්නේ හුලන්දා ඔයට. මේ ගමේ මිනිස්සු වගේම ඇඹිලිපිටිය දක්වාම ලක්ෂ ගාණක් ජනතාව බොන්නේ මේ හුලන්දා ඔයෙන් යන ජලයයි. මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් වගකිවයුතු බලධාරීන් මේක නතර කර දමන්න පියවර ගන්නේ නැත්තේ ඇයි කියලා අපිට තේරෙන්නේ නෑ. 

හීන්දලුක්හින්න පදිංචි වික්‍රමගේ ප්‍රදීප්:

බලාගාරයෙන් නිකුවෙන අධික ශබ්දය, ඉන් පිටවෙන දුම හා ගම්වලට අළු වැටීම සම්බන්ධයෙන් අපි පනාමුර පොලිසියට පැමිණිල්ලක් දැම්මා. ඒ අනුව පොලීසියෙන් ආයතනයට විරැද්ධව මහජන පීඩාව යටතේ නඩු පැවරුවා. නඩුව තවම විභාග වෙනවා. මේ බලාගාරයෙන් ඇතිවන පීඩාව පිළිබඳව ගමේ අය නිතර නිතර පොලීසියට පැමිණිලි කළත් තවම නම් කියන්න තරමේ සාධාරණයක් ඉටු වී නෑ. ගෙවෙන හැම තප්පරයකම නිලධාරීන් උත්සාහ කරන්නේ මේ බලාගාරය මේ ස්ථානයේ පවත්වාගෙන යාමටම තමයි. බලාගාරයේ ඉන්න අය හිටි ගමන් ඒ අයම බලාගාරයේ දේපලවලට හානි කරගෙන ගිහින් පොලිසියේ පැමිණිලි දමලා ගමේ අය උසාවි අරගෙන යනවා. පනාමුර පොලීසියත් අපි පැමිණිල්ලක් දැම්මම ඒකට එන්නේ දින කිහිපයක් ගිහින්. නමුත් බලාගාරයේ කෙනෙක් ඇවිත් පැමිණිල්ලක් දැම්මොත් එළිවෙනකොට ඇවිත් ගමේ අය පොලීසි අරගෙන යනවා. හැමපැත්තෙන්ම තැලෙන්නේ ගමේ අය විතරයි.

බලාගාරයෙන් ගමේ අපිට කරදරයි කියලා කිව්වම බලාගාරයේ ඉන්න අය කිව්වේ මේකෙන් එයාලට කරදරයි නම් ඔයාලගේ ඉඩම් ටික අපිට විකුණලා යන්නලු. අක්කරයක් ඒ අය ලක්ෂ 10 ගානේ ගන්නම්ලු. මහත්තයෝ අපි පාරම්පරිකව ජීවත්වුණේ මේ ගමේ. අපේ අච්චි සීයා වල දැම්මේ මේ ගමේ. ඉතින් අපි කොහොමද මේ බලාගාරයක් නිසා මේවා අතහැරලා වෙන පළාතකට යන්නේ. අපි කියන්නේ අපිට සාධාරණයක් ඉටුකරලා දෙන්න කියලා විතරයි.

එස්.වී. සරත් කුමාර මහතා:

මගේ ගේ තියෙන්නේ බලාගාරය ඉස්සරහමයි. මේකෙන් නිකුත්වෙන අධික ශබ්දය නිසා අපි පුදුම අසරණ තත්වයකට පත්වෙලා. මම පුද්ගලිකවම මේ ගැටලුව සම්බන්ධයෙන් බලාගාරයේ නිලධාරීන්ට  පැමිණිලි කළා. ඒ වෙලාවේ බලාගාරයේ වැඩකරන අමරසේන කියන මැනේජර් මහත්තයා මට ගෙදරට ගෙනත් කනේ ගහගන්න කියලා ඇබ දෙකක් දුන්නා. සද්දෙ වැඩි නම් ඒ වෙලාවට මේක කනේ ගහගෙන ඉන්න කිව්වා. අද වෙනකොට අපිට ගම් අතහැර යන තත්වයකට පත්වෙලා ඉන්නේ. බලධාරීන් මේ ගැටලුවට කඩිනම් විසඳුමක් දුන්නේ නැතිනම් පවුල් 2000කට විතර ගම අතහැරලා යන්න වෙනවා.  හදාගත්ත ගෙවල් දොරවල් අතහැරලා අපි කොහේ කියලා යන්නද? මෙතන හැදෙන්නේ බලාගාරයක්ය කියලා අපි දැනගෙන හිටියේ නෑ. මේක හදලා මේ අය ක්‍රියාත්මක කළ දවසේ අපිට හිතාගන්නවත් බැරි තරමේ ශබ්දයක් ආවා. එදා වෙලාව හවස 4ට විතර වගේ ඇති. එක සැරේටම කෆීර් යානා දහයක් පහළොවක් යනවා වගේ මහා විශාල ශබ්දයක් ආවා. ගමේ හිටිය අපි ගෙවල් දොරවල් අතහැරලා දිව්වා. අපිට හිතාගන්න බැරිවුණා මොකද්ද මේ ශබ්දය කියලා. අපි බයවුණා මොකක් හරි අනතුරක් කියලා. පස්සේ තමයි අපි දැනගත්තේ බලාගාරයේ මැෂින්වලින් පිටවෙන වැකුම් එකකින් ඒ ශබ්දය එන්නේ කියලා. එදා ඒ ආව ශබ්දයට බයවුණු ගමේ මාස 09ක දරුවෙක් දවස් තුනක් යනකම් අඬන එක නතර කළේ නෑ. පොඩි ශබ්දයටත් ඒ ළමයා බයවෙන්න ගත්තා. 

ජනතාවගේ මෙම චෝදනා සම්බන්ධයෙන් අප මෙම බලාගාරයේ නිලධාරීන්ගෙන් විමසීම සඳහා බලාගාරය වෙත ගියද ඒ සඳහා අවසර නොලැබිණි. එහිදී එම බලාගාරයේ වැඩබලන බව කියූ සේවකයෙකු ගේට්ටුවෙන් එළියට පැමිණ පැවසුවේ මේ බලාගාරය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබාදීමට නොහැකි බවත් ආයතනයේ හිමිකරැගේ දුරකතන අංක හෝ ඔහුගේ නම කිසිවකුටත් ලබාදිය නොහැකි බවත්ය. ගම්මුන්ගේ චෝදනා සම්බන්ධයෙන් අප විස්තර දැනගැනීමට කොතරම් උත්සාහ කළද එය ව්‍යර්ථ වී ගියේය.

මේ ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා බලාගාරය වෙත පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ රත්නපුර කාර්යාලයෙන්ද දුරකතනය ඔස්සේ අප විමසිමක් කළ අතර එහිදී එහි නිලධාරියෙකු පැවසුවේ බණ්ඩොක්කයාය පිහිටි බලාගාරයේ තත්ත්වය හොඳ හෝ නරකක් පිළිබඳව තමන්ට මාධ්‍ය වෙත කිසිදු තොරතුරක් ලබාදිය නොහැකි බවයි.

සටහන හා සේයා රූ - 
 සූරියවැව නුවන් ජයසේකර