2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

දරුඵල අහිමිකරන ගෑනු-පිරිමි ලෙඩ

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 466

විවාහ වූ සෑම කාන්තාවකගේම ඊළඟ බලාපොරොත්තුව දරු සුරතල් බැලීමය. එනම් මව් පදවියට උරැමකම් කීමය. නමුත් විවාහ වුවද මව් පදවිය උරැම නොවුණු, ඒ පිළිබඳව වසර ගණනාවක් තිස්සේ සිතින් අසීමිතව දුක්වන කාන්තාවෝ අප සමාජයේ එමටය. නවීන විද්‍යාව දියුණුවීමත් සමඟ බොහෝ ක්‍රම මගින් දරැවන් පිළිබඳව පැවති සිහින සැබෑකරගන්නට හැකිවුවද එවැනි ක්‍රම මගින්ද දරැ සුරතල් බැලීමට නොහැකිව ළතවන කාන්තාවෝ අප සමාජයේ කෙතෙකුත් සිටිති.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මව් පදවිය හීනයක්ව තිබුණු කාන්තාවන්ට එය සැබෑකරගැනීමට ඉතා සාර්ථක ක්‍රම පවතී. දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින කෙනකු ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
දරැවකු බලාපොරොත්තු වන කාන්තාව පමණක් නොව පිරිමියාද තම නිරෝගී බව පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඔබ ඇතැම්විට නොදැන සිටිනවා වන්නට හැක. වඳ කාන්තාවක් යැයි සමාජයේ වැඩි වශයෙන් හංවඩු ගැසුවද වඳ පිරිමි පාර්ශ්වයද සමාජයේ ජීවත් වෙති. නමුත් බොහෝවිට සමාජයෙන් චෝදනා ලබන්නේ කාන්තාව පමණි.

දරුවකු බලාපොරොත්තු වන කාන්තාවක් දැනගත යුතුම දේ:

බොහෝ කාන්තාවෝ ආහාර පාලනයක් සිදුනොකරති. මේ නිසා අධික තරබාරුකම නිසා විවිධ රෝගාබාධවලට මුහුණදෙති. මේ නිසා ඔබත් දරුවන් බලාපොරොත්තු වන කාන්තාවක් නම් ආහාර පාලනය මෙන්ම ශරීර පාලනය පිළිබඳවද සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. ශරීරයේ උසට සරිලන බරක් පැවතිය යුතුය. කාන්තාවන්ගේ සිරුරේ පවතින හෝමෝනවල තත්ත්වය අනුවද දරුපල අහිමිවීමට පුළුවන. මේ නිසා එවැනි අවස්ථාවලදී රුධිර පරීක්ෂාවක් මගින් මෙන්ම හෝමෝන පරීක්ෂාවකින්ද ශරීරයේ පවතින වෙනස්කම් සොයාගත හැක. කාන්තාවන්ගේ හෝමෝනවල විවිධ වෙනස්කම් ඇතිවීමට මූලික හේතුවක් ලෙස ආතතිය හැඳින්විය හැක.

හෝමෝනවල වෙනස්කම් මෙන්ම ඔසප්වීමේ යම් යම් වෙනස්කම්ද දරුපල අහිමිවීමට හේතුවිය හැක. මේ නිසා ඔසප් චක්‍රයේ යම් වෙනස්කමක් ඇත්නම් වහාම ඒ සම්බන්ධව සුදුසුකම්ලත් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමට වගබලාගත යුතුය. එමෙන්ම බොහෝ කාන්තාවෝ විවාහ වී අවුරුද්දක් දෙකක් ගතවුවද දරුවකු පිළිසිඳ නොමැති විට පසුවන්නේ දැඩි හිත් වේදනාවෙනි. මෙම ආතතිය මෙන්ම හිතේ ඇතිවන අධික කෝපය, තරහව වැනි හේතුද දරුවකු පිළිසිඳගැනීම ප්‍රමාද කිරීමට හේතුවක් වේ. එමෙන්ම හිතූමතේට ඖෂධ ලබා නොගන්න. තව කෙනකු පැවසූ පමණින් වෙළෙඳපොළේ ඇති රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට රැවටී හිතුමතේට ඖෂධ හා වෛද්‍ය අනුමැතියකින් තොරව ප්‍රතිකාර ගැනීම භයානකය. සැමවිටම ධනාත්මක සිතුවිලි හිතේ ඇතිකරගන්න.

පිරිමියකු විසින් දැනගත යුතුම දේ:

දරුවකු බලාපොරොත්තු වන යුවළකගේ පිරිමි පාර්ශ්වයේ නිවැරදි ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත ශුක්‍රාණු තිබිය යුතුය. විශේෂයෙන්ම නිතරම කේන්ති යන, අලසකමින් යුත්, නිදිමත ගතිය නිතරම ඇති පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීමට කාලයක් ගතවේ. නිපදවන ශුක්‍රාණුවල ගුණාත්මකභාවය තීරණය වන්නේ ශුක්‍රාණු පිටවීමෙන් පසුවය. දිනපතා සම්බන්ධ වීමෙන් ශුක්‍රාණුවල ගුණාත්මකභාවයේ යම් අඩුවීමක් ඇතිවිය හැක.

මීට අමතරව කාන්තාවක් ඔසප්වීම සිදුවී දරුවකු බලාපොරොත්තුවෙන් සරු ඩිම්බයක් මුදාහරිනු ලබන කාලය ඍතු කාලය ලෙසින් හඳුන්වයි. මෙය කෙනකුගේ සරු කාලය ලෙසද හැඳින්විය හැක. දින විසි අටකට වරක් ඔසප් වීමක් වන කාන්තාවක් නම් ඇයගේ සරු කාලය ලෙස හැඳින්වෙන්නේ ඔසප් දිනයේ පළමු දිනයෙන් පසුව එළඹෙන දාහතර වැනි දිනයයි. ඔසප් වීමේදී දින වෙනස් වන කාන්තාවන්ගේ මෙම තත්ත්වය වෙනස් විය හැක. එවැනි කාන්තාවක් තමන්ගේ සරු කාලය පිළිබඳව තීරණය කළ යුතු වන්නේ තමන්ගේ අවසාන ඔසප් වීමේ දින සිට දින දාහතරක් ඉදිරියට ගණනය කිරීමෙනි.

එමෙන්ම බොහෝ කාන්තාවන් තුළ දැකිය හැකි නමුත් වෛද්‍යවරයකු මුණගැසී ඒ සඳහා උපදෙස් හා ප්‍රතිකාර ගැනීමට අකමැති රෝගයක් ලෙසින් සුද යාම හැඳින්විය හැක. සුද යාම වැනි දිලීර වර්ග ආසාදනයක් තුළින්ද දරුවකු පිළිසිඳ ගැනීමට බාධා ඇති කරයි.

වර්තමානයේදී බොහෝ කාන්තාවන්ට පොදු වැසිකිළි භාවිත කිරීමට සිදුවේ. මේ නිසා බැක්ටීරියා හා දිලීර ඉතා ඉක්මනින් යෝනි මාර්ගය තුළට ඇතුළු වීමේ අවදානම පවතී. කාන්තාවන්ගේ ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතිය පිහිටා ඇත්තේ විෂබීජවලට ඉතා ඉක්මනින් ඇතුළු විය හැකි ආකාරයෙනි. යෝනි මාර්ගය අභ්‍යන්තරයට නෙරා තිබීමත්, පැලෝපීය නාලය, ගර්භාෂය, ඩිම්භ කෝෂ ඒ අසලින්ම පිහිටා තිබීමත් මුත්‍රාශයට බොහෝ සමීපව යෝනි මාර්ගය හා ගුද මාර්ගය පිහිටා තිබීමත් නිසා මේ තත්ත්වය ඇතිවිය හැක.

ගර්භාෂයේ ගෙඩි ඇතිවීමද දරුවන් පිළිසිඳ ගැනීමට ප්‍රබලව බලපෑම් කරයි. මේ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

පුරුෂයන්ද අණ්ඩකෝෂ සහ ශිෂ්ණය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. කුඩා කාලයේදී එහි යම් දෙයක් තදින් වැදීම, කම්මුල්ගාය වැනි රෝග අවස්ථාවලදීද, අණ්ඩකෝෂ විශාල වූ අයට මෙන්ම කුඩා වූ අයටද දරුවකු පිළිබඳව බලාපොරොත්තු බිඳ දැමීමට සිදුවේ. මේ නිසා මෙවැනි රෝග ඇතිවිට ඒ සම්බන්ධව සුදුසුකම්ලත් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.

කාන්තා රෝග පිළිබඳ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
විශේෂඥ වෛද්‍ය 
දයානි සිරිවර්ධන