2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

ඩෙංගු රෝගයට ආයුර්වේද ප්‍රතිකාර

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 406

ඩෙංගු රෝගය වරින් වර හිස ඔසවන හා විශාල පෙරළියක් සිදුකරන රෝග තත්ත්වයකි. මීට වසර දහස් ගණනකට පමණ පෙර බිහිවූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ජ්වර රෝගය පිළිබඳ සඳහන් වේ. එහි විවිධ වූ ප්‍රභේද විස්තර කර ඇත. ඒ යටතේ ආගන්තුක ජ්වර “විෂම ජ්වර” ලෙස දක්වා ඇත්තේ ආගන්තුක හේතූන් නිසා නැතහොත් විෂ බීජ නිසා ඇතිවන උණ රෝග පිළිබඳවයි. එමෙන්ම අසාධ්‍ය ජ්වර රෝග පිළිබඳව ද පුරාණ පොතපතේ සඳහන් වේ.

වර්තමානයේ දී මාරාන්තික ඩෙංගු උණ රෝගය වසංගතයක් ලෙස පැතිරමින් පවතී. මෙම රෝග තත්ත්වය හටගන්නා ආකාරය හා වළක්වා ගැනීම පිළිබඳ නිසි අවබෝධය ලබාගැනීම අත්‍යාවශ්‍යයි. මන්ද එමගින් මෙම කලින් කලට හිස ඔසවන ව්‍යසනය යම්තාක්දුරට පාලනය කරගත හැකි බැවිනි. මෙය අප සියලු දෙනාගේම වගකීමක් ලෙස සැලකිය යුතුය. එබැවින් රෝගය වැළඳීමට පෙර එයින් ආරක්ෂා වන්නේ කෙසේ දැයි මනා අවබෝධයක් ලබාගත යුතුය. ඒ අනුව ක්‍රියාකළ යුතුය.

ඩෙංගු උණ රෝගය වෛරසයක් මගින් ඇතිකරනු ලබන රෝගයකි. ඩෙංගු රෝගය ඇතිකරන වෛරසය “ඊඩ්ස්” වර්ගයේ ගෑනු මදුරැවන් මගින් පතුරුවයි. 

මෙසේ වෛරසය ගෙන එන වාහකයන් ලෙස මදුරු විශේෂ දෙකක් වන Aedes aegypti සහ Aedes albopictus යන මදුරු විශේෂ දෙක දක්වයි.

ඩෙංගු වෛරසය ශරීරගතවූ විට බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතුවුවහොත්, සාමාන්‍ය සුළු උණ තත්ත්වය, ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත, අසාමාන්‍ය ඩෙංගු උණ යන අවස්ථාවලට වර්ධනය වියහැකිය. සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සාංකූලතා ඇතිවීමේ අවදානම අවම වෙයි. ඩෙංගු රක්තපාත උණ සහ අසාමාන්‍ය ඩෙංගු උණ වැනි අවදානම් අවස්ථාවලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම, මොළයට සිදුවන බලපෑම් වැනි සාංකූලතා ඇතිවී මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කරගත හැක.

ඩෙංගු වාහක මදුරුවා වැඩි වශයෙන් උදෑසන හා සන්ධ්‍යා කාලයේ සැරිසරන බව පැවසුව ද නවතම සොයාගැනීම් අනුව දවසේ ඕනෑම කාලයක ගැවසිය හැකි බව සොයාගෙන ඇත.

දෂ්ඨයෙන් පසුව වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි. දින 3-4කට පසුව උණ අවධිය ඇති වන අතර එය දින 2ත් 10ත් අතර කාලයක් පවතී. මේ කාලය තුළ මදුරැවකු දෂ්ඨ කළහොත් වෛරසය මදුරැවා තුළට ඇතුල්වන අතර එමගින් වෙනත් පුද්ගලයන් තුළට වෛරසය ඇතුල් වී රෝගය පැතිරිය හැක.

උණ පවතින මුල් අවස්ථාවලදී වෙහෙසකර කටයුතුවලින් බැහැර වී හොඳින් විවේකය ලබාගැනීම, තැම්බූ සහලින් සාදන ලද ලුණු කැඳ (අඩු ලුණු), බාර්ලි තැම්බූ වතුර, පත්පාඩගම්, කොත්තමල්ලී, රසකිඳ තැම්බූ වතුර ආදී පාන වශයෙන් ලබාදිය හැකිය. දින තුනකට වඩා උණ තත්ත්වයක් පවතී නම් වහාම රජයේ රෝහලක් වෙත යොමුවිය යුතුය.

සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමත්, ආහාර ලබාදීමේදී රතු, දුඹුරැ පැහැ ආහාර හා දියර වර්ග දීමෙන් වැළකිය යුතුය. උණ සමඟ හිසරදය හා ඇස් යට වේදනාව, මස් පිඬු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම, රැධිර වහනයක් ඇත්නම් ඩෙංගු උණ රෝගය ලෙස සැක කළහැකි බැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍ය වේ.

ගර්භනී මව්වරුන්, අවුරුදු එකකට අඩු දරුවන්, නිදන්ගත රෝග සහ පුද්ගලයින් වැඩිහිටි පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය.

ඩෙංගු වළක්වා ගැනීමේදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම හා මදුරු දෂ්ඨයෙන් වැළකීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. 

මිනිස් ක්‍රියාකාරකම්වලින් ඇතිවන ඉවතලන ප්ලාස්ටික්, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහිපිහිලි වැනි ජලය රුඳෙන ස්ථානවල මෙම මදුරැවන් බිත්තර දමයි. අන්නාසි පත්‍ර වැනි ජලය රුඳෙන පත්‍ර මතද මදුරැවා බිත්තර දමයි. මේ නිසා මෙවැනි විනාශ කිරීම් අප සැමගේ වගකීමයි. නිරන්තරයෙන්ම සතියකට වරක් හෝ ගේ තුළ සහ ගෙවත්ත හොඳින් පරීක්ෂා කර මදුරුවන් බෝ වියහැකි ස්ථාන ඉවත් කළ යුතුය.

ඩෙංගු මදුරු පළවාහැරීම සඳහා විවිධ ක්‍රම සිදුකළ හැක. ආයුර්වේදයට අනුව ඖෂධීය දුම, ආලේපන, තෛල වර්ග හා ඖෂධ ශාක වැවීම මගින් මදුරැවන් විනාශ කළහැක.

• මදුරුතලා කොළ, වදකහ අල/ පත්‍ර, කජු ලෙලි යන සියල්ල වියළා කුඩු කර දුම් ඇල්ලීම කළ හැක.

• කොහොඹ කොළ, දුම්මල, කුරුඳු කොළ වියළා කුඩුකර දුම් ඇල්ලීම.

• පැඟිරි තෙල්, කුරැඳු තෙල්, නිවස තුළට ඉසීම.

• අප භාවිතා කරන ඇඳුම්වල පැඟිරි තෙල් ආලේප කිරීම.

• මදුරු තලා, කොහොඹ, දාස්පෙතියා වැනි ශාක වැවීම ද කළහැකිය.

මෙවැනි දේ කිරීම මගින් ඩෙංගු මදුරුවාගෙන් ජීවිතය බේරාගැනීමට හැකියාව පවතී.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය 
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල