2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

මට්න් ඊටිං ක්‍රෝටන්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 290

 

සූප ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි ආචාර්ය පබිලිස් ද සිල්වා මහතා මීට කලකට පෙර පැවති පුවත්පත් සංවාදයකදී, කෑමට සුදුසු තණකොළ විශේෂයක් සම්බන්ධයෙන් තමන් පර්යේෂණ පවත්වාගෙන යන බව කියා සිටියේය. ලංකාවේ මිනිසුන්ට තණකොළ කෑමට රෙසිපියක් අවශ්‍ය නොවන බව පෙනී ගිය හෙයින්දෝ එතුමා තම පර්යේෂණ අතහැර දමන්නට ඇත.

කරතොත් කරපන් හරියට - බැරිනම් පලයන් අහකට නමැති ජන කියුම පැහැදිලි කිරීමට දැක්විය හැකි කදිම නිදසුනක් වන ආචාර්ය පබිලිසුන්ගේ ඉහත සිද්ධිය මගේ මතකයට නැඟුණේ මෑතකදී අසන්නට ලැබුණු ක්‍රෝටන් කොළ කතාබහත් සමඟය.

කොහේදෝ පළාත් සභාවක දෙතුන් දෙනෙක් ක්‍රෝටන් කොළ, කොස් කොළ මාලාදාම වශයෙන් පැළඳ පැමිණි වගක්ද වාර්තා වුණි. පාර්ලිමේන්තුවේදීද තේක්ක අත්තක් සභාගත කිරීමක් ගැන අසන්නට ලැබුණි. මේ කතා ඇසූ අපේ අසල්වැසි දේශපාලන විචාරකයෙකු වන මල්දෙණියේ මාමා කටකොනකින් සිනාසී කියා සිටියේ දේශපාලන ජෝකර්ලාට දැන් දිය යුත්තේ ගොක් කොළ බවය!

නියඟයක් ළඟ එයි. මිනිසුන්ට කැලෑ කොළ කෑමට සූදානම් වන්නැයි කියන්නේ ඒ නිසාය. අලුත් උපදේශ නොදුන්නාට, බැමිණිටියා කොළ හෝ කා දිවි රැකගන්නා අයුරු අපේ මිනිසුන් නොදන්නවා නොවේ.

ක්‍රෝටන් යනු මිනිස් සිරුරට විස සහිතවූද, පිළිකාකාරකවූද කොළ වර්ගයක් බව කෘෂි විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. ක්‍රෝටන් නොකෑවාට, කෑමට සුදුසු ගහ කොළ වැල මේ රටේ ඕනෑතරම් තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත.
මීට කලකට ඉහත මා සේවය කළ ආයතනයකට නුදුරින් පිහිටා තිබූ මැදපංතික නිවසකින්, අපට දිවා භෝජනය සැපයුණි. එම නිවසේ සේවය කළ කොලුවෙක් මාළු, මස්, බිත්තර යනුවෙන් ලියා ඇති බත් පාර්සල් ගෙනැවිත් අපට බෙදාදෙයි.

මෙම බත් පාර්සලයට පොදු ලක්ෂණයක් විය. එනම්, සතියට දෙතුන් වතාවක්ම කෝප්ප කොළ මැල්ලුමක් තිබීමය. අනෙක් දිනවලට ගෝවා කොළ හෝ කංකුං ය. දිගින් දිගටම කෝප්ප කොළ කෑම අපට තිත්ත වී තිබුණි. එක් දිනක්, මගේ මිතුරෙක්, කැම ගෙනෙන කොලුවාගෙන් මෙසේ ඇසීය.

අද තමුසෙලගෙ නෝනා වැට කපලද? මගේ බත් එකේ කෝප්ප කොළ අස්සේ ක්‍රෝටන් කොළේකුත් තිබුණා. එදායින් පසු, කෝප්ප කොළ මැල්ලුම ලැබුණේ ඉඳහිටය.

රත්නපුර ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගිය අවස්ථාවක අපට මියන කොළ මැල්ලුමක් කන්නට ලැබුණි. මා සමඟ ගිය මිතුරෙකුගේ පිඟානේ, මියන කොළ මැල්ලුම පසෙකට කර තිබෙනු දුටු මම ඒ ගැන විමසුවෙමි.

මියෙනවා කියල කියද්දිත්, දැන දැනම ඒක කන්නෙ මොකටද? ඒ වනවිටත් කාලක්‍රියා කර සිටි මගේ මිතුරා සිනාමුසුව පැවසීය. එහෙත්, මියන කොළ රසවත් හා ජනප්‍රිය මැල්ලුමක් බව දන්නෝ දනිති.

පල නොකියා පලා බෙදීමද අපේ ජනවහරේ එන රසවත් කියුමකි. බත් පිඟානේ දෙතුන් පළකටම පලා වර්ග බෙදන්නේ නොරුස්නාකමටය. වෑත්තෑවේ හිමියන්ගේ ගුරු හාමුදුරුවෝ, ගෝල හිමි සමඟ අමනාපයෙන් දන්පතේ දෙතුන්පළකටම පලා බෙදවූ බවද, එය වටහාගත් උන්වහන්සේ පන්සල අතැර ගිය බවටද කතාවක් ඇත.

පිස්සිගේ පලා මල්ල වගෙයි යනු, අපේ සමාජයේ ප්‍රකට තවත් පිරුළකි. පිස්සිගේ පලා මල්ලෙහි කෑමට සුදුසු පලාවර්ග පමණක් නොව වෙනත් වල් කොළද පුරවාගෙන ඇත. අවුල් සහගත කටයුතු ගැන කියන විට මෙම පිරුළද යොදා ගැනේ.

කා ඉවත විසිකරන අඹ ඇටයද පැළවෙනා, සරු පසක් ඇති මේ දිවයින, භූගෝලීය වශයෙන් ඉතා පින්බර වාසනාවන්ත භූමියක් බව ලෝකයම දනී. එහෙත් කරුමය වී ඇත්තේ, දේශපාලනික වශයෙන් මෙය කාලකණ්නි අඳුරු දූපතක් බවට පත්ව තිබීමය. බැමිණිටියා සායටත් එහා යන ක්‍රෝටන් සාය කට මුහුණ දෙන්නට මේ රටට සිදුව තිබෙන්නේ ඒ නිසාය.
පලක් ඇති වැඩට කාලය හා ධනය නාස්ති කිරීම නිදහස ලැබූදා සිටම මේ සිරිලංකාවේ දක්නට ලැබෙන සිරිතකි. අපේ නිදහස හැට පිරුණු මහල්ලෙකුව සිටියදීත්, නිදහසින් අපට පලක් වී ඇතිදැයි කෙරෙන කතිකාවත් තවමත් ඇසෙන්නේ එහෙයිනි. ආර්ථික විශේෂඥයින් නොවුණත්. ජන කවියාට පවා අපේ ජාතියේ ඇති ඒ දුබලකම වැටහී තිබුණු බව, මේ කවියෙන්ද වටහාගත හැකිය.

අඳුරු කරුවලේ පඳුරට මුවා    වෙලා
විදුලි එළිය දැක ගිනිහුල දියේ    ගලා
අනුන් ලියන් දැක තම ලියට තල    තලා
දුවන මුවන් දැක නොදමවු නෙලූ    පලා

කලින් කලට එක් එක් පලා වර්ගවලටද ජාතික තලයක් හිමිවෙයි.

ගමින් ගමට චීන හෝටල් බිහිවන්නට වූ කාලයේ, කංකුං ද එසේ උසස් තලයකට පත් විය. (ලංකාවේ චීන හෝටල් අභාවයට ගියේ, කොලෙස්ටරෝල් ව්‍යාප්තියට පින්සිදුවන්නටය. චීන මකරා පලාගොස් ඒ වෙනුවට ගමේ රහට පිසූ ගමේ කෑම, නෙළුම් කොළ, කෙසෙල් කොළවල එතෙන්නට ගත්තේය.)

අප ගමේ මිතුරෙක්, අඩියක් ගසන්නට ගිය තැන්වලදී කංකුං බයිට් එකට පුරුදුව සිටියේය. කංකුං රසවත් සේම, ලාභදායී කෑමකි. අප මිතුරා කංකුං කන්නේ රසටම නොව ලාබය තකාගෙන බව කාටත් රහසක් නොවූයේ, ඔහු ධනවත් මසුරෙකු ද වූ බැවිනි.

කොළඹ, කැලණි ගං වතුර උවදුරට මුහුණ පා සිටි කාලයක අපි අපේ කංකුං මිතුරා සමඟ ‍සෙට් වීමකට ගියෙමු. සුපුරුදු පරිදි අප මිතුරා කංකුං බයිට් එක ඕඩර් කළේය. මා සමඟ සිටි අනෙක් මිතුරා ඊට එරෙහි විය.

හාපෝ, මේ දවස්වල කංකුං කන්ඩ එපා. කැලණිය පැත්තෙ පළා කොටු සේරම ගංවතුරට යටවෙලා.

ඉතින් මොකද වෙන්නෙ?

ඒ වුණාට, කංකුං බටේ ඇතුළෙ විෂබීජ රැඳෙනවා කියලා ඊයේ පත්තරේකත් තිබුණා. සෙංගමාලේ පාචනේ වගේ ලෙඩ බෝවෙන්න කංකුංවලින්ලු.

අප මිත්‍රයා, වහාම වේටර් කැඳවා කංකුං වෙනුවට චිකන් ගෙනෙන මෙන් පැවසුවේය. මගේ මිතුරා මා දෙස බලා ඇසක් ඉඟි මැරුවෝය.

පලා ගැන මෙවැනි කතා බොහෝ කිව හැකිය. එහෙත් ඉන් කවර ඵලක්ද? ක්‍රෝටන් වැටක් කමින් සිටි එළුවෙකු දුටු ඇම්ඩන් මෙසේ කීවේලු.

මට්න් ඊට්න් ක්‍රෝට්න්!

දැන් රටේ සිදුවන්නේද එයමය. උන් කනවා මදිවාට අපිටද කවන්න හදති. ඇයි අපි මට්න්ද?

♦ කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00