2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

බස් කන්දොස් ගී

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 126

“ඔයාගෙ රසිකත්වය හොඳටම පහළ වැටිලා.”

මගේ බිරිඳ චෝදනා කළේ මා මවිතයට පත් කරමිනි.

“ඇයි එහෙම කියන්නේ?”

මම නොරිස්සුම් හඬින් ඇසුවෙමි.

“මේ ටිකේම ඔයා මුමුණන්නේ අලුත් පරම්පරාවෙ බොළඳ අ‍ඬෝවැඩියාව සින්දු”

එය බරපතළ චෝදනාවකි. මම මොහොතක් කල්පනා කළෙමි. මගේ කලා රසිකත්වය ගැන මා තුළ ඇත්තේ අභිමානයකි. එය මෙසේ ගර්භාවට ලක්කිරීම යුතු නැත. ගීත රසවින්දනය පිළිබඳ වැඩමුළුවලට පවා සහභාගී වන මම පෙර - අපර දෙදිග සංගීතය මෙන්ම සිරිලංකාවේ නව පරපුරේ ගායක ගායිකාවන්ගේ ගීත ද රස විඳිමි. උමාරියා, කසුන්, ඉන්ද්‍රචාපා, චිත්‍රාල් හා රවීන් කණිෂ්ක ආදීහු ඒ ලැයිස්තුවේ සිටිති. ඔවුන්ගේ ගීත බොළඳ නැත. බාල නැත. එසේ නම් මා බිරිඳ පවසන්නේ කුමක්ද?

මට විසඳුම ලැබුණි. පසුගිය දින කීපයේම මම ‍පෞද්ගලික බස් රථවලින් කෙටි හා දුර ගමන් කීපයකම යෙදුණෙමි. ඒවායේදී මට අසන්නට ලැබෙන අංජ බජල් සින්දු දෙක තුනක් මගේ මනසට බලෙන් රිංගා ඇත්තා සේය. මා නොදැනුවත්වම මෙන් මුමුණන්නට ඇත්තේ එම දහජරා සින්දු කෑලිය. මට හීන් දාඩිය දැමුවේය. මා මේ සින්දු තව තවත් තැන්වලදී මුමුණන්නට ඇතුවාට, ඒ ඇසුණු සැම මගේ රසිකත්වය අවතක්සේරු කළාට සැක නැත.

“බස් සින්දු” යනු මගී ජනයාට කරන සාහසික අපරාධයක් බව මම මීට පෙර ද ලියා කියා ඇත්තේය. දැන් මාද ඊට ගොදුරුව ඇත.

නුවර සිට කොළඹ වැඩට යනෙන මගේ මිත්‍රයෙකු ඔහුගේ ගමන් මල්ලේ පුළුන් රෝලක්ද ගෙන යාමට පුරුදුව සිටියේය. ඒ බස් සින්දු ඇසීමෙන් වළකිනු පිණිස කණේ ඔබා ගැනීමටය. මට ද එබඳු ශ්‍රවන ආරක්ෂක ක්‍රියාවක් අනුගමනය කිරීමට තිබුණි.

බස් රියැදුරන් පවසන අන්දමට ඉන්ධන මෙන්ම සින්දු ද බසයකට නැතිවම බැරිය. රියැදුරාගේ නිදිමත නැතිවී නව පණක් දෙන්නේ සින්දු සහ බුලත් විටය. සින්දුවෙන් සින්දුවට ඔහු පාර පුරා බුලත් කෙළ ගසන්නේ ඒ සින්දු පිළිබඳ අප්පිරියාවට නම් නොවේ.

මෙම බුලත් කෙළ ගැසීම පිළිබඳ නියම කතාවක් ළඟදී අසන්නට ලැබුණි.

‍පෞද්ගලික බසයෙන් පසුපසින් ආ රථයක සිටි විදේශීය කාන්තාවක් විටින් විට රතු පැහැති කෙළ ගසන රියැදුරා දැක බියට පත්ව, “අර මනුස්සයා ලේ වමනය කරනවා නේ” දැයි මාර්ගෝපදේශකයාගෙන් ඇසුවේලු!”

ගීත ඇසිය යුත්තේ රස විඳීමටය. එහෙත් බස්වලදී ඇසෙන්නේ ගීත නොව කරච්චලයකි. “ඩිෂුම් ඩිෂුම්” හඬින් බේස් වැඩි කර දෙන ගීතවල ඇත්තේ මොනවාදැයි තෝරා ගැනීමට සක්කරයාගේ පුතා වයිමාටත් බැරුවාට සැක නැත.

මට අසන්නට ලැබුණු එක බස් සින්දුවක් නම් තාත්තාගේ මළගම දා මිනිය පසුපසින් යන පුතෙකුගේ වැළපීමකි. ඔහු මහ හඬින් “අනේ බුදු තාත්තේ” යයි බෙරිහන් දෙයි. මිනී කනත්තකට සුදුසු වැළපීමක් බස් මගියාට අසන්නට සැලසීම කනගාටුදායකය. මිය ගිය පියාට එම ගීතය අසන්නට ලැබුණේ නම් ඔහු වහා පෙට්ටියෙන් නැගිට “අනේ ඔය විලාපය නවත්තහං” යයි කියනු නිසැකය.

බස් සින්දුවලින් වැඩිපුරම “ආතල්” ගන්නේ ඩ්‍රයිවර් සහ කොන්දොස්තරය. කොන්දොස්තරට මේ සින්දුවල කිසිම කන්දොස්කිරියාවක් නැති හෙයින් ඔහු බසයේ ඒ මේ අත ඇවිදිමින් කෑ කෝ ගසමින් ටිකට් කඩන අතර සින්දුවේ කෑලි ද අල්ලයි. එසේත් නැති නම් පාපුරුවේ එල්ලී සිටින අතර පාදයකින් හෝ අතකින් බසයට තට්ටු දමමින් ගීතය හා “ඒකාත්මික” වේ.

කන පැලෙන්නට ගියත් කිසිම මගියෙක් බස් සින්දුවලට එරෙහිවීමට නොයන්නේ එවිට බස් රියැදුරාගෙන් හෝ කොන්දොස්තර ළමයාගෙන් කන පළාගැනීමට සිදුවන නිසාය.

FM නාලිකා තරගය ආරම්භ වීමත් සමඟම බස් ගීයට ද නව පණක් ලැබුණි. ගුවන් විදුලි නාලිකාවන්හි “චරපුරුෂයෝ” බස්වල ගමන් කරමින් එම බසයේ විකාශනය වන්නේ තම නාලිකාව නම් ඒ බව මූලස්ථානයේ මැදිරියේ නිවේදකට දන්වයි. එවිට එම නිවේදක මෙසේ පවසයි.

“ඔව් දැන් නිට්ටඹුවේ සිට කොළඹ බලා ගමන් කරන ....... අංකය දරන බස් රථයේ රියැදුරු මහතා අපේ (චැනලයේ නම) ගීත ඔහුගේ බස් රථයේ මගීන්ට ඇසීමට සලස්වා තිබෙනවා. ඒ නිසා රියැදුරාටත්, කොන්දොස්තරටත් විශේෂ ස්ටිකර් දෙකක් සහ ටී ෂර්ට් දෙකක් පිරි නැමෙන බව ඉතා සතුටින් දන්වමි.”

මේ අසන රියැදුරා සහ කොන්දොස්තර එතැන් සිට එම නාලිකාවේ භක්තිමත් ශ්‍රාවකයින් දෙදෙනකු බවට පත්වෙති. එම බසයේ ගමන් කරන සෑම දෙනාද අර නාලිකාවේ ගොදුරු බවට පත්වෙති.

බස් රියැදුරන් බිලි බා ගන්නා චැනල් උපක්‍රම බොහෝය. කලකට පෙර ගම් කැසට් ගායකයෝ සහ නිෂ්පාදකයෝ ද තමන්ට ප්‍රචාරය ලබා ගැනීම සඳහා කැසට් පටි රියැදුරන්ට තෑගි කරති. එසේත් නැත්නම් මුදල් හෝ මත්පැන් සංග්‍රහද පිරිනමති. එහෙත් වර්තමානයේ සිදුව වී තිබෙන්නේ සෑම පෞද්ගලික බසයකටම පොදු බස් ගීත සම්ප්‍රදායක් ගොඩනැගී තිබීමය. හැම බසයකදීම වාගේ අසන්නට ලැබෙන්නේ එකම ජාතියේ ගීතය. මීට මඳ කලකට පෙර බසයේ ඉදිරිපෙළ අසුනක හිඳ කොළඹ බලා ගමන් කරමින් සිටි එක් මහතෙක් බසයේ ප්‍රචාරය වන කැසට් පටයේ ගීත දරාගත නොහැකිව ළඟ සිටින මගියා දෙසට හැරුණේය.

“බලන්න මිස්ටර් මොනවද මේ දාන සින්දු.”

“ඒ ඇසූ මගියා මඳ සිනාවක් පා මෙසේ ඇසුවේය.”

“ඇයි මේ සින්දුව ගැන ඔයාට මොකද හිතෙන්නේ?”

“මම නම් හිතන්නේ මේක ඩ්‍රයිවර්ගේ පවුලේ කාගේ හරි සින්දුවක්. නැත්නම් මේවා දායිද බස්වල.”

ඒ ඇසු මගියා යළිත් සිනාහවක් පෑවේය.

“නෑ... නෑ... එහෙම දෙයක් නෙවෙයි. මමයි මේ සින්දුව කියන්නේ.”

ඒ ඇසු පළමු මගියා පුදුමයට පත්විය. ඔහුට වැඩි විස්තර දැනගන්නට ලැබුණේ පසුවය. ගීතයට හිමිකම් කියූ මගියා ගීත එකතුවක් කළ නමුත් ඒවාගේ තිබූ නීරස බව නිසාම කිසිදු නාලිකාවකින් ප්‍රචාරය කරගත නොහැකි විය. එසේ හෙයින් ඔහු කළේ රියැදුරාට කිසියම් මුදලක් දෙමින් තමන්ගේ ගීත ඔහුගේ බසයේ ප්‍රචාරය කරවීමය. නිතර එම බසයේ ගමන් කරන ඔහු ඒවා අසමින් සතුටක් ලබයි. බස් සින්දු සහ ගායකයෝ ගැන මෙවැනි අරුම පුදුම කතා බොහෝ ඇත. ඒවා පසු දිනක කතා කරමු.

මෑතකදී අපගේ නීතිඥ මිතුරකු පැවසූ අන්දමට බස් රථ තුළ ප්‍රවෘත්ති ප්‍රචාරය කළ යුතුමය. මෙය සම්මත වුණේ සුනාමියෙන් පසුවය. කෙසේ වෙතත් මේ කාලයේ ද බස් රථ තුළ ප්‍රවෘත්ති ප්‍රචාරණය කිරීම අනිවාර්ය කිරීම ඉතා වැදගත්ය. එවිට බසයකට නගින මගියෙකුට රටේ අලුත්ම අගමැතිගේ සහ ඇමැති මණ්ඩලයේ නම් ගම් දැනගෙන බැසගිය හැකිය.

කපිල කුමාර කාලිංග

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00