2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

කැමති දේ හොයන පාරිභෝගිකයෝ

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

තමන් කැමති දේ අනිකාටත් නිර්දේශ කිරීම මිනිස් ස්වභාවයයි. මම අහවල් කඩේ කෑම ගත්තා, හරිම රසයි. මම අහවල් පන්තිවලට ගියා, ඒ නිසයි විභාගෙ සමත් වුණේ. මම අහවල් දොස්තර ළඟට ගියාට පස්සෙ තමයි මෙච්චර කාලයක් විඳවපු ලෙඩේ හොඳ වුණේ. මෙයාකාරයෙන් අපිට හරි ගිය අනේක විධ දේවල් ගැන අනුන්ට පැවසීම නිරන්තරයෙන් අප අතින් සිද්ධ වෙන්නකි.

සමහර අවස්ථාවකදී ඒ ගැන දැනගන්නට දැඩි වුවමනාවක් ඇති අයෙක් හමුවේ. තවත් අවස්ථාවකදී, අයෙක් එයාගේ විසඳුම පුන පුනා කීම අනෙක් අයට කන්දොස්කිරියාවක් වේ. එසේම සමහර අයට හරි යන ඒත් හැමෝටම හරි නොයන දේ අනිවාර්යයෙන්ම කළ යුතු යැයි කියන අය වහාම මඟහැර යන්නටත් පටන් ගැනේ. ඉතින් තමන් ලැබූ සාර්ථක ප්‍රතිඵල බෙදාගන්නට උවමනා නම් එය කළ යුත්තේ ඊට කැමැත්ත ඇති අය පමණක් අතර බව පැහැදිලියි.

අයෙක් කැමති දෙයක් තමන්ටද සුදුසුදැයි සොයා බැලීමට ද මිනිසා තුළ සහජ වූ හැකියාවක් ඇත. හරියන දේවල් බාරගෙන හරි නොයන දේවල්වලින් ඈත් වීමෙන් පමණක් ජීවිතය පවත්වාගත හැකි වූ බැවින් එය මිනිස් හැදියාවේ ප්‍රධාන ලක්ෂණයකි. කුඩා දරැවා තමන් ඇතිදැඩි කරන වැඩිහිටියන් වෙතින් මෙය මුල්වරට ඉගෙන ගනියි.

අයෙක් තමන් අගය කරන්නක් ගැන වර්ණනා කරද්දී අපි එයට අවධානයක් යොමු කරන්නේ හිතාමතා ගන්නා තීරණයක් නිසා නොවේ. සැබෑ අැගැයුමකට පාත්‍ර වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන නිසා බොහෝ දෙනෙක් අගය කරන්නක් දෙසට ඉබේම මෙන් කෙනකුගේ අවධානය ඇදී යන්නේ වැළැක්විය නොහැකි ලෙසකිනි.

ඒත්, සෙවීමක් බැලීමක් නොකර බහුතරයක් වර්ණනා කරන දෙයක් බාර ගැනීම නම් තමන් හැදුන වැඩුණ පරිසරය අනුව දායාද වූවකි. යමක ඇත්ත නැත්ත ගැන කල්පනා කර බලන්නට හුරැවක් නැතිකම නිසා බොරැ පතුරැවන අයට රැවටෙන හුරැව පුද්ගලයකුට දායාද වේ. වැඩිහිටියන් කියන නිසා, ගුරුවරුන් කියන නිසා, ආගමික නායකයන් කියන නිසා යනාදී වශයෙන් තමන්ට වැඩියෙන් දැන උගත් අයගේ නිර්දේශ එලෙසින්ම බාරගත යුතු යැයි හුරුවකට සමහර පිරිසක් ලක්වී සිටිති.

ඔවුන් තුළ හිතන්නට හැකි ශක්තිය තිබුණ ද එය භාවිතයට ගැනීමේ හුරැවක් නැත. ඉන්ටර්නෙට් තුළින් මහා බොරු විස්මයෙන් බෙදාහරින මේ අය තමන් එය බෙදා හරින ඉන්ටර්නෙට් ප්‍රයෝජනයෙන්ම එහි සාවද්‍යතාවය සොයා බලන්නට වෑයමක් නොගනිති. තායිලන්තයේ නාරිලතා මල් ඊට කදිම උදාහරණයකි.

සමහර අවස්ථාවලදී සිතන්නට හැකියාව මනාව පිහිටා තිබුණ ද, සිත ප්‍රිය කරන අදහසක්, සාවද්‍ය දැයි සොයනවා වෙනුවට එය මුළුමනින් විශ්වාසයට හිත නැමී යයි. ආතර් කොනන් ඩොයිල් සුරංගනාවියන්ට රුවටීම ඊට කදිම උදාහරණයකි.

තනි වෑයමෙන් ලොව සියල්ලම සොයා බලන්නට කාලයක් නොමැති බැවින් අනුන් වෙතින් ලැබෙන නිර්දේශය අප ජීවිතයට අවශ්‍ය වූවකි. කල්පනා කරන්නට සහ සොයා බලන්නට හුරු වූ අයකුට නිරතුරුව සත්‍යය බෙදන්නේ කවුදැයි සහ අසත්‍ය පතුරුවා හරින්නේ කවුදැයි කියා තෝරා බේරාගෙන ජීවිතයට අගයක් එකතු කරන පිරිස හා සමීප විය හැකියි.

ඒත් කල්පනා කරන්නට සහ සොයා බලන්නට නුහුරු වූ හැදියාවෙන් යුතු අයට තමන් ඉදිරියේ ඇත්ත බොරු දෙකම තිබුණත් තෝරාගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා ඔවුන්ගේ ජීවිතවලට අගයක් එකතු නොවේ. ඔවුන් උපන්දා පටන් මිය යනතුරු ලැග්ග තැනම ලැග සිටිති. කල්පනා කරන සහ සොයා බලන අය ඔවුන්ගේ පරිසරයෙන් නික්ම යද්දී ඔවුන්ගේ ජීවිත තවත් පරිහානියට පත්වේ.

පාරිභෝගිකයාට තමන් නොදන්නා අනිකුත් පාරිභෝගිකයන්ගේ කැමැත්ත සහ අකමැත්ත ඍජුව දැන ගන්නට ලෝක මට්ටමින් අවස්ථාවක් ඉන්ටර්නෙට් නිසා පෑදුණි. ට්විටර්, ෆේස්බුක් සහ ට්‍රිප් ඇඩ්වයිසර් වැනි තැන්වලින් යම් ව්‍යාපාරයක්, භාණ්ඩයක් හෝ සේවාවක් ගැන දමා ඇති පාරිභෝගික ප්‍රතිචාර තුළින් යම් හෝඩුවාවක් ලබාගත හැකි වීම නොදන්නා නුහුරු පරිසරයකට යද්දී අයකුට බෙහෙවින් උපකාර වේ.

ප්‍රමිතිය සඳහා රජය විසින් නීති හා විධික්‍රම පවත්වාගෙන ගිය ද, නීතිය අකුරටම පිළිපදින වාතාවරණයකදී පවා ඒවායෙන් ගැනුම්කරැවන් ආරක්ෂා කරන්නට නොහැකියි. මෑත කාලයකදී වෝක්ස්වැගන් කොම්පැනිය අමෙරිකන් ඩීසල් පාරිභෝගිකයන් රවටන්නට සමත් විය.

ඉතින් ගැනුම්කරුවා පරිස්සම් විය යුතුයි යන්න සදා වලංගු වූවක් බව කිසිවිටෙක අමතක කළ නොයුත්තකි.

හුදු විහිළුව පිණිසම මහජනතාව රවටන ප්‍රයෝගයන් ලොව ඉමහත් වෙති. එදා ආතර් කොනන් ඩොයිල් රැවටුණේ ද එවැන්නකටයි. මෑතක දී ඌබාහ් බට්ලර් නැමැත්තා බොහෝ දෙනෙකු රවටන්නට සමත් වූයේ ඉහත කියූ මිනිස් ස්වභාවයන් උපකාරයෙනි.

ඔහු වයිස් මැගසින් නම් සඟරාවට ලිපි ලියන ලද්දෙක් සේම, මුදල්වලට නොයෙකුත් ඉන්ටර්නෙට් සයිට්වලදී ප්‍රතිචාර ලියන ලද මාධ්‍යවේදියෙකි. ඔහුට අවශ්‍ය වූයේ බොරැ අවන්හලක් ඉදිරිපත් කර එය ට්‍රිප් ඇඩ්වයිසර් තුළ අංක 1 තැනට ගෙනෙන්නට හැකිදැයි සොයා බලන්නටයි.

ඔහුගේ අවන්හලේ නම “ද ෂෙඩ් ඇට් ඩලිච්” විය.

කලින් මේසයක් වෙන් කරවාගෙන පමණක් ආ හැකි ඒ අවන්හල සඳහා ඔහු වෙබ් සයිට් එකක් පටන් ගෙන ඊට අඩු මිලට ගත් පිළියෙල කළ ආහාරවලින් ඉහළ මිලක් ගෙවා යන අවන්හලකදී දකින ආහාර බඳුන් ලෙසට ඡායාරෑප සැකසීය.

අවන්හලකදී බුදින කෑම වෙනුවට, මෙතැනදී ලැබෙන්නේ තමන්ගේ “මූඩ්” එකට ගැලපෙන කෑම යැයි සඳහන් කරන ලදී. උදාහරණයක් හැටියට, ආදරය යටතේ ඇත්තේ හද පිරී යන කෑම වේලකි: ආර්ටිචෝක් සමඟ ලැබෙන ඌරැ මස් රහස් සහ රතු වයින් ටැපියෝකා (මංඤොක්කා) ය. ඒ සමඟ පාර්සල් ලෙසට බේක් කරන ලද ලොකු බේකන් පිරිනැමේ.

අනතුරුව සිය සගයන්ට ඒ සයිට් එකේ, එතැන ආහාරවල රස ගැනත්, එය යා යුතුම වූ අනගි තැනක් හැටියටත් ප්‍රතිචාර ලියන්න යැයි ආරාධනා කළේය. විශේෂයෙන් වෙන්කරගත් දුරකතන අංකයක් ඒ සඳහා පාවිච්චි කරමින් සෑම විටෙකම “සම්පූර්ණයෙන්ම ආසන ඉවරයි” කියමින් එහි ආහාර බුදින්නට පොරකන අයට කියන ලදී.

එසේ පසුබිම හදා අවසන ඔහු ට්‍රිප් ඇඩ්වයිසර් තුළ එම අවන්හලේ නම ක්‍රමයෙන් ඉහළට නඟින හැටි බලා සිටියේය. ට්‍රිප් ඇඩ්වයිසර් විසින් එම ප්‍රතිචාර අතරින් ඉවත් කරන ලද එකම ප්‍රතිචාරය වූයේ ඔහුගේ සගයන් නොව වෙනත් තරඟකාරී අවන්හල් අයිතිකරුවෙක් සැබෑවටම දැමූ අඩු ලකුණු සහිත වූ ප්‍රතිචාරයයි.

එය අංක 1 ට පැමිණි පසු ඔහු සිය සගයන් හා එකතු වී 2017 නොවැම්බර් මාසයේ එක් දිනයකට පමණක් අවන්හල විවෘත කළේය. ඒ ඔවුන් ඇමතූ අය අතරින් ආරාධිතයන් කිහිප දෙනෙක් තෝරාගෙනයි. ඒ අය හා සිය සගයන් සමඟ, මුදල් අය නොකර එම දිනයේ පමණක් අවන්හල පැවැත්වුණි. අනතුරැව සිය විහිළුව හේ හෙළිදරව් කළේය.

ඔහු ඉදිරිපත් කළ නුහුරැ තැනක්, ආහාර සංකල්පය අනුව යමින් එවැනි අමුතු අවන්හල් පසුව සැබෑවටම බිහිවීම පෙන්වන්නේ එවැන්නකට පාරිභෝගිකයන්ගේ ප්‍රසාදයක් ඇති බවයි.

අපේ ගමේ ද ට්‍රිප් ඇඩ්වයිසර්හි ඉහළ ස්ථානයක් දරන අවන්හලක් ඇත. වෙනත් අවන්හල් ඉදිරිපිට පෝලිම් තිබෙද්දී එතැන කිසිවිටෙක සෙනඟ ගැවසෙන බවක් දකින්නට නැත.

තමන් ගන්නට යන දැයක් සඳහා තිබෙන්නේ සැබෑ කැමැත්තක් ද නැත්නම් ප්‍රයෝගකාරී ලෙසකින් ඉදිරිපත් කරන කැමැත්තක් දැයි සොයා බැලීම ගැනුම්කරැවාගේ වගකීමයි. ඒ සඳහා අපක්ෂපාතී වූ සෙවිල්ලක් බැලිල්ලක් තමන් විසින්ම කළ යුතුවේ. එකිනෙකා අතර අදහස් බෙදාගැනීමට ඉඩ පාදා ඇති මාර්ගයට බණිනවා වෙනුවට අප විමසිය යුත්තේ ඒවා මාර්ගයෙන් ජීවිතයට වටිනාකමක් එකතු කරගන්නේ කෙසේදැයි කියායි.

 අරුණි ශපීරෝ‍ 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00