2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

රජයේ බැංකු දෙකේ පහෙන් එකක් කොටස් වෙළෙඳපොළේ!

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 306

ප්‍රධානතම රාජ්‍ය වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුව සතු කොටස්වලින් සියයට 20ක ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළේ අලෙවි කිරීම සඳහා පසුගිය 09දා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බව දැනගන්නට තිබේ. මෙම බැංකුවල කොටස් අලෙවිකර ප්‍රාග්ධනය වැඩිකර ගැනීමට මෙමගින් උත්සාහ කරන බව ප්‍රකාශිතය. මෙහිදී යම් කොටස් ප්‍රමාණයක් එම රාජ්‍ය බැංකුවල සේවකයන්ටද අලෙවිකරන අතර, එම කොටස් කිසිදු හේතුවක් නිසා පිටතට අලෙවි කිරීමද තහනම් කර තිබේ. ඒ අතර පසුගිය 17දා ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර ඇති අතර එයට නිශ්චිත හේතුවක් මේ ලියන මොහොත දක්වා දැනගැනීමට ලැබී නැත.

රාජ්‍ය බැංකු විවිධ ක්‍රම මගින් පෞද්ගලීකරණය කිරීමට මෙයට පෙර පැවැති ආණ්ඩු කිහිපවරක් උත්සාහ ගත්තද, වෘත්තීය සමිතිවල සහ විවිධ සංවිධානවල විරෝධතාව හමුවේ එම යෝජනා අකුලා ගැනිමට ඔවුන්ට සිදුවූ බව රහසක් නොවේ. එහෙත් මෙවර කොටස් වෙළෙඳ පොළේ බැංකු කොටස් අලෙවි කිරීමෙන් සිදුවන්නේ ඒවා පෞද්ගලීකරණය කර එම අරමුදල් දියකර හැරීමක ආරම්භය බවට චෝදනා නැගේ. සේවක අර්ථසාධක අරමුදලද මේ වනවිට විවිධ පෞද්ගලික ආයතනවල ආයෝජනය කර විශාල වශයෙන් පාඩු සිදුව ඇති බවටද වාර්තා වේ. එවැනි පසුබිමක් තුළ බැංකු කොටස් පෞද්ගලික අංශයට විවෘත වීමෙන් එම ප්‍රතිඵලයම ලැබෙනු ඇති බවට සමහරු සැක පහළ කරති.

එසේම ප්‍රතිපත්තියක් වශයෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයට විවෘත කිරිම එක අතකට වරදක් නොවුණත් විශාල වශයෙන් ලාබ ලබන රටේ හදවත් වැනි මේ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පවරාදීමට දොර විවෘත කිරීම කුමන හේතුවක් නිසා සිදුවූවාද යන්න අවිනිශ්චිතය. වෘත්තීය සමිති චෝදනා කරන්නේ මුලින් සියයට 20ක් අලෙවි කිරීමෙන් පටන්ගෙන ක්‍රමයෙන් සම්පූර්ණ ආයතනම පෞද්ගලික අංශයට පවරා දෙනු ඇති බවය.

මෙම රාජ්‍ය බැංකු දෙකට අනුබද්ධ සේවක සංඛ්‍යාව 18,000ක් පමණ වේ. යම් විදියකින් මෙම ආයතන කඩා වැටුණහොත් එය එහි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයට අනතුරුදායක වේ. ඒ සමගම ලක්ෂ සංඛ්‍යාත ඔවුන්ගේ පවුල්වල යැපෙන අයටද අහිතකර වේ. සේවකයන්ගේ පාර්ශ්වයෙන් පමණක් නොව මෙම බැංකුවලට හානි සිදුවුවහොත් එය රටේ සමස්ත ආර්ථිකයටද සුබදායක නොවනු ඇත. දේශීය ණය වශයෙන් විශාල මුදලක් මෙම රාජ්‍ය බැංකු විටින් විට මහ බැංකුවට සපයයි. මෙලෙස ණය දෙන්නේ ඉතාම අඩු පොලියට වන අතර එම ණය මුදල් පියවීමද ක්‍රමානුකූලව සිදු නොවේ. එසේම මහා භාණ්ඩාගාර අරමුදලටද බැංකු ලබන ලාභයෙන් කොටසක් නිරායාසයෙන් හිමිවේ.

අතීතයේ මෙන් නොව මේ වනවිට බැංකු ක්ෂේත්‍රය තුළ ඇත්තේ දැඩි තරඟකාරී බවකි.  පෞද්ගලික බැංකු විවිධ උපක්‍රම යොදමින් පාරිභෝගිකයන් තමන් වෙත ඇද ගැනීමේ උත්සාහයක නිරත වී සිටී. පෞද්ගලික බැංකුවලට කිසිම සීමා කිරීමකින් තොරව අධ්‍යක්ෂ මණ්ඩලවල අනුමැතිය මත ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළ හැකි අතර පාරිභෝගිකයන්ට විවිධ අනුග්‍රහද පිරිනැමිය හැකිය. එසේම මේ වනවිටද පෞද්ගලික අංශ පාරිභෝගිකයන්ට  කාර්යක්ෂමව සේවා සැලසීම අතින් ඉදිරියෙන් සිටී. බැංකුවලට පැමිණෙන පාරිභෝගියන්ට අතීතයේ මෙන් බැංකු පෝලිම්වල වරු ගණන් ගත කළ නොහැකිය. ඔවුන්ට තම අවශ්‍යතාව වහා ඉටුකරගෙන වෙනත් දේ සඳහා ඉක්ම යා යුතුය. ඒ අතින් කඩිනම් සේවා සැපයීමේදී පෞද්ගලික බැංකු ඉදිරියෙන් සිටී.

කෙසේ වුවද ආණ්ඩුව සූදානම් වන රාජ්‍ය බැංකු කොටස් පෞද්ගලික අංශයට මිලදී ගැනීමට අවස්ථාව සැලසීමේ ප්‍රතිවිපාක පිළිබඳ ආර්ථික හා මූල්‍ය විශේෂඥයකු වන මහාචාර්ය සුමනසිරි ලියනගේගෙන් අපි විමසුවෙමු.

මෙම යෝජනාව ආවේ පසුගිය වසරේ අයවැය ලේඛනයත් සමගයි. රාජ්‍ය බැංකුවල ප්‍රාග්ධන කොටස්වල යම් ප්‍රතිශතයක් පෞද්ගලිකකරණය කිරීමයි එම යෝජනාව. පසුගිය පෙබරවාරි මාසයේ ප්‍රාදේශීය සභා මැතිවරණයට කලින් ලංකා බැංකු සේවක සංගමය මෙයට දැඩි විරෝධයක් පළකළා. ඇතැම් වෙලාවට මෙම තත්ත්වය ප්‍රාදේශීය සභා ඡන්දවලට අහිතකර ලෙස බලපාන බව සලකලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා මෙම යෝජනාව ක්‍රියාත්මක නොකරන බවට.

එහෙත් පුදුමයට කරුණ වන්නේ මෙම යෝජනාව ඒ ජනාධිපතිවරයාම මූලාසනය දරන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමත වීමයි. මේ නිසා රටට අහිතකර ආර්ථික බලපෑමක් ඇතිවන බව හා බරපතළ සමාජ ගැටුමක් නිර්මාණය වන බව ජනාධිපතිවරයාට හා ඇමැති මණ්ඩලයට නොවැටහෙන බවක් පෙනෙනවා. එහෙම වැටහුණත් එසේ නොවුණ සේ සිටින බවයි කිවයුතු වන්නේ.

ලංකා බැංකුව පිහිටවූයේ දේශීය ව්‍යාපාරිකයන් විදේශීය බැංකුවලට යොමු නොවී ණය ලබාගැනීමට සහ ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනයට දේශීය බැංකු කෙරේ යොමු කිරීමේ පරමාර්ථය ඇතිවයි. මහජන බැංකුව තුළින් බැංකු ක්ෂේත්‍රය ගමට රැගෙන යාමට කටයුතු කළා. එසේම සමුපකාර ක්ෂේත්‍රයට, ග්‍රාමීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ණය පහසුකම් සැලසීමත් මහජන බැංකුව පිහිටුවීමේ පරමාර්ථයි. එහෙත් එම වැදගත් පරමාර්ථ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළේ විවෘතව අලෙවි කරන්න සූදානම් වෙනවා. මෙම තත්ත්වය නිසා අනාගතයේදී අපේ රාජ්‍ය බැංකුවලින් රටේ ආර්ථිකයට සහ ප්‍රජාවට සිදුවන සේවාව තවදුරටත් ඒ හැටියට කරගෙන යන්න පුළුවන් වේද යන්න සැකසහිතයි.

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුතලය සකස් කිරීම සඳහා බලධරයන් කියන්නේ බැංකුවල ප්‍රාග්ධනය වර්ධනය කිරීමට මෙමගින් හැකිවෙයි කියලයි. අඩු දියුණු රටවල සහ දියුණුවෙමින් පවතින රටවල තැන්පතු හා ප්‍රාග්ධනය අතර තිබිය යුතු අනුපාතය නිසි ලෙස නොතිබීම නිසා එම බැංකු කඩා වැටීමට ඉඩ ඇතැයි ඔවුන් කියනවා. එහෙත් අප හිතන්නේ එසේ ප්‍රාග්ධනය වැඩි කිරීමට පෞද්ගලිකරණය කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබේය යන්නයි. අවශ්‍ය නම් මේ තත්ත්වයේම තබාගෙන ආණ්ඩුවේ මැදිහත්වීමෙන් එය කිරීම අපහසු නැහැ.

මේ රටේ අයවැය ලේඛන මගින් ඉදිරිපත් කෙරෙන රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා මෙම බැංකුවලින් ලැබෙන සහය අපමණයි. එසේම බදු ආදායම ඉහළ නංවා ගැනීමටද මෙම බැංකු උපකාර වෙනවා. ඕනෑම රටක බැංකු පද්ධතිය ශක්තිමත් නම් ඒ රටේ ආර්ථිකය යම් පමණකට හෝ ස්ථාවර බව කිවයුතුයි. රජයේ මුදල් දුෂ්කරතාවලදී පිහිටට එන්නේ මෙම රාජ්‍ය බැංකුයි. බැංකුවල ලාභයෙන් විශාල කොටසක් රජය ණය ලෙස හා ප්‍රදාන ලෙස ගන්නවා. බැංකු ලාභ ලබනවා නම් ඒවා අකාර්යක්ෂම යැයි කියන්න කිසිවකුටවත් බැහැ. බැංකු අකාර්යක්ෂම යැයි ආණ්ඩුව කියනවා නම් එයට එකම හේතුව මේවාට ඍජුව සහ වක්‍රව සිදුකරන දේශපාලන බලපෑම් නිසා යැයි කිව හැකියි. දේශපාලන බලපෑම් නිසා ඇතැම් බැංකුවලට නුසුදුසු අයට ප්‍රමාණවත් ඇප නොමැතිව ණයදෙන්න සිදුවෙලා තියෙනවා. ණය ගත් අය ඒවා නොගෙවා දේශපාලනඥයන්ට මුවා වී කට්ටි පනිනවා.

එපමණක් නොවෙයි බැංකු අධ්‍යක්ෂ මණ්ඩලවලට නුසුදුසු පුද්ගලයන් පත් කිරීම ඒවායේ කාර්යක්ෂමතාවට බාධාවක් වෙලා තියෙනවා. බැංකු අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ යුත්තේ ක්ෂේත්‍රය පිළිබඳ වෘත්තීය සුදුසුකම් තිබෙන අය. ඒ සියල්ල නොසලකා දේශපාලන ගැත්තන් පත් කරනවා. උදාහරණයක් ලෙස පැවසුවොත් පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ සුදුසුකම් නැති අයපවා බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබුණා අපට මතකයි. අදද ඒ තත්ත්වය වෙනස් වී නැහැ.

රටේ ආර්ථික පර්යේෂණ කටයුතුවලට බැංකු විශාල ලෙස මැදිහත් වෙනවා. ඒවා සිද්ධ වෙන්නේ කිසිදු බලපෑමකින් තොරව නිසා රටේ නියම ආර්ථික තත්ත්වය මැනීමේ මිණුම් දඬු වෙනවා. මෙමගින් ආර්ථික සංවර්ධනයට සිදුවන මෙහෙය විශාලයි. අවශ්‍ය තීරණ ගන්න පහසු වෙනවා. නැගෙනහිර ආසියානු රටවල ආර්ථික දියුණුව මුළුමනින්ම පදනම් වී ඇත්තේ බැංකු මතයි. චීනය වැනි දැඩි සමාජවාදී රටවල පවා බැංකු හසුරුවන්නේ රජයයි. එම ක්‍රියාදාමයට රජය කිසිවිටෙක මැදිහත් වන්නේ නැහැ. ඒ නිසා අපේ රාජ්‍ය බැංකු යම් පමණකට හෝ පෞද්ගලීකරණයක් සිදුවුවහොත් එය ආපස්සට ගමන් කිරීමක් වෙනවා. එය නිවැරදි කිරීමට තවත් සෑහෙන කාලයක් ගතවේවි. ඒ නිසා රජය රාජ්‍ය බැංකුවලට පවතින තත්ත්වයට තවදුරටත් ඉදිරියට යාමට ඉඩදිය යුතුයි. පටු දේශපාලන වුවමනා එපාකම් සඳහා රාජ්‍ය බැංකු යොදා නොගැනීමට කටයුතු කිරීම තමා වැදගත් වන්නේ.

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක ආණ්ඩුවේ මෙම අවස්ථාවාදී අමනෝඥ පියවර පරාජය කිරීමට සියලුම බැංකු සේවකයන් සමග අත්වැල් බැඳගන්නා බව කියයි. එසේම ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන විදේශීය ආයතනවල අවශ්‍යතාව ඉටුකිරීම සඳහා උපක්‍රමශීලීව වර්තමාන යහපාලන ආණ්ඩුව රාජ්‍ය බැංකු ක්‍රමයෙන් පෞද්ගලීකරණය කිරීමට යොමුව ඇති බවය.

“මෙතෙක් කල් සියලුම රාජ්‍ය බැංකු තිබුණේ මුදල් අමාත්‍යංශය යටතේයි. ඒවා සියයට සියයක්ම රජයට අයිති ආයතනයි. භාණ්ඩාගාර ලේකම්ගේ පාලනය යටතේ තමා ඒවා මෙතෙක් කල් පැවතුණේ. එහෙත් 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු මුදල් අමාත්‍යංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු 8ට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යනුවෙන් අලුත් අමාත්‍යංශයක් හදලා ඒ යටතට ගත්තා. මෙහි ඇමැති වුණේ ලක්ෂ්මන් කිරිඇල්ලයි. ජනාධිපතිවරයා ගැසට් මගින් මෙම බැංකු සහ තවත් විවිධ ආයතන එම අමාත්‍යංශයට පැවරුවේ වඩාත් විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යංශ වෙන්කරන බව පවසමින්. එහෙත් බැංකු සමග ඇල්කඩුව වැවිලි සමාගමද එම අමාත්‍යංශයට පවරලා. ඉතින් මෙවැනි නොගැලපෙන ආයතන එකට එක් කිරීම කුමන විද්‍යාත්මක පදනමක් යටතේද කියලා සිතාගන්න බැහැ.මේ ආයතන සියල්ල එකම අමාත්‍යංශයකට පැවරුවේ සියල්ල පෞද්ගලික අංශවලට අලෙවි කිරීමට බවයි අපගේ අදහස. ඔවුන් දරන නව ලිබරල්වාදී සංකල්පය අනුව මේ සියලු ආයතන පෞද්ගලීකරණය කිරීමයි ඔවුන්ගේ එකම බලාපොරොත්තුව. දැන් එය ටිකින් ටික ප්‍රයෝගකාරී ලෙස ඉටුකරමින් පවතිනවා.

මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ඔක්තෝබර් මස 9 වනදායි. ඒත් තවම ඒ බව ප්‍රසිද්ධ කරලා නැහැ. සියල්ල රහසිගතව කර ඇති බවයි පෙනී යන්නේ.

පසුගිය අයවැය ලේඛනයේ අංක 239 දරණ යෝජනාව අනුව බැංකුවල සියයට 10ක් සේවකයන්ට හා තැන්පත්කරුවන්ට පවරන බවයි පැවසුණේ. දැන් එම යෝජනාව එතැනින් එහාට ගොස් සියයට 20ක ප්‍රමාණයක කොටස් වෙළෙඳපොළ හරහා අලෙවි කිරීමටයි සූදානම් වෙන්නේ. මෙහිදි ඇතිවිය හැකි සේවක විරෝධය මර්දනය කිරීම සඳහා උපක්‍රමයක් ලෙස යම් කොටස් ප්‍රමාණයක් සේවකයන්ට දීමටද යෝජනා වී තිබෙනවා. එය අලෙවි කිරීමට නොහැකි කොන්දේසියට යටත් කරලයි. අනාගතයේ සේවකයන් රැවටීමට මෙය යොදාගැනීමට බලාපොරොත්තු වන බවට අප සැක කරනවා.

රාජ්‍ය බැංකු විශාල ලෙස ලාභ ලබනවා. ඉතින් එහෙම ලාභ ලබන ආයතන අකාර්යක්ෂමයි කියලා පෞද්ගලික අංශයට පැවරීමට යන්නේ ඇයිද යන්නයි ගැටලුව. 2017 වසරේදී ලංකා බැංකුව බිලියන 32ක් හා මහජන බැංකුව බිලියන 25ක් ආදී වශයෙන් ලාභ උපයා තියෙනවා. එහෙත් මෙහෙම ලබන ලාභ බැංකුවලට තබාගන්න ඉඩ දෙන්නේ නැහැ. අතිවිශාල මුදලක් මහා භාණ්ඩාගාරය ගන්නවා. අපි එයට එරෙහි වෙන්නේ නැහැ. අපි එය ජාතික මෙහෙවරක් ලෙස සලකනවා. අපේ රටේ බොහෝ රාජ්‍ය ආයතන භාණ්ඩාගාරයෙන් තමා යැපෙන්නේ. මෙම තත්ත්වය මුළු රටටම බරක්. ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනය මෙයට හොඳ උදාහරණයක්. එහෙත් රාජ්‍ය බැංකු මෙහි අනිත් පැත්ත. මහා භාණ්ඩාගාරය බැංකුවලින් යැපෙනවා මිස බැංකු මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්න යන්නේ නැහැ.

අද රටේ බැංකු ක්ෂේත්‍රයේ විශාල තරගකාරි ස්වරූපයක් තියෙනවා. රාජ්‍ය බැංකු 8ක්, පුද්ගලික බැංකු 17ක් සහ මූල්‍ය සමාගම් 30ක් පමණ තියෙනවා. ලංකා බැංකුව සහ මහජන බැංකුව ඒවා අතර තරග කරලා පිළිවෙළින් අංක 1ට සහ 2ට පැමිණ තිබෙනවා.

මේ දිනවල කොටස් වෙළෙඳපොළ කඩාවැටීම ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් වෙලා. මෙසේ වෙළෙඳපොළේ ව්‍යාපාර වස්තු අලෙවි කිරීම ගැටලු සහගතයි. ඒ නිසා ආණ්ඩුව හිතනවා ඇත්තේ එසේ කඩාවැටුණු කොටස් වෙළෙඳපොළට මේ රාජ්‍ය බැංකු දෙක දමලා ඒවා උණුකැවුම් මෙන් අලෙවි කර වැටුණු වළෙන් ගොඩ ඒමටයි. මෙය හරියට අටුව කඩා පුටුව හදනවා වැනි අසාර්ථක ප්‍රයත්නයක්. මේ නිසා සිදුවන්නේ කොටස් වෙළෙඳපොළේ යම් තාවකාලික ප්‍රසාරණයක් වුණත් ප්‍රධානතම රාජ්‍ය බැංකු දෙක කඩා වැටීමයි.

ප්‍රබලම රටක් වන අමෙරිකාවේ පවා පසුගිය කාලයේ බැංකු පද්ධතිය කඩා වැටිමේ අවදානමක් ඇතිවුණා. එය මුළු ලෝකයේම ආර්ථිකයට අහිතකරව බලපෑවා. එම අවස්ථාවේ ජනාධිපති බැරක් ඔබාමා පැවසුවේ රාජ්‍ය අයිතිය සහිත බැංකු රටකට තිබිය යුතු බවයි. බැංකු පෞද්ගලික වීමේ ආනිශංස ඒ රට පවා වින්දා. එදා ඒ රටේ බැංකු කඩා වැටීමේදී අපේ රටේ බැංකුවලට අඩු තරමින් සුළඟක්වත් හැමුවේ නැහැ. ඒ අපේ රාජ්‍ය බැංකුවල ශක්තිමත් කම නිසයි.

ඒ නිසා බැංකු විනාශ කිරීමේ ආණ්ඩුවේ ආත්මාර්ථකාමී ප්‍රයත්නය පරාජය කිරීමට අපි වෘත්තීය සමිති වශයෙන් හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. දැනට මාස හතරකට පමණ පෙර අපි ජනාධිපතිතුමා සමග කතා කළා මේ ගැන. එදා ඔහු පැවසුවේ තමා ජනාධිපති පුටුවේ සිටිනතාක් කල් පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බවයි. මෙහිදී අපට පෙනීයන්නේ ජනාධිපතිවරයා පවා නොමග යවා තම පටු පරමාර්ථ ඉෂ්ට කර ගැනීමට අතැමුන් උත්සාහ දරන බවයි.

පසුගිය 14දා අප විරෝධතා රැස්වීමක් කුරුණෑගල පැවැත්වූවා. එය ඉතාම සාර්ථකයි. 27දා මාතර රැස්වීමක් තැබීමට යෝජිතයි. පළාත් නවයේම මෙවැනි රැස්වීම් සංවිධානය කරනවා. එසේම බැංකු සේවක සංගමය සමග පමණක් නොව පෞද්ගලීකරණයට එරෙහි සියලුම වෘත්තීය සමිති හා සංවිධාන සමග සම්බන්ධ වී මෙම ප්‍රයත්නය පරාජය කිරීමට කටයුතු කරනවා. අප මේ පිළිබඳ ජනාධිපතිතුමා, අගමැති, ඇමැති මණ්ඩලය හා සියලුම මහජන නියෝජිතයන් දැනුවත් කිරීමට කටයුතු කරනවා. සාමාජිකයන්ට පත්‍රිකා බෙදනවා. ළඟදී විධායක සභාව කැඳවලා ඉදිරි තීරණවලට එළඹෙනවා. ඊනියා ප්‍රයත්නය අකුලාගන්නා තුරු වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම නතර කරන්නේ නැහැ.

 

♦ යසවර්ධන රැද්රිගු