2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

වාජීකරණ බෙහෙත්වලට බයවෙන්නෙ මොකටද?

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 987

වර්තමානයේදී අප රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් මඳසරු බවින් පෙළෙන බව වාර්තා වී ඇත. මෙම තත්ත්වය මත ඔවුන් විවාහ වූ විටදී දරුඵල නොලැබීම සහ ලිංගික ජීවිතයේ පවතින අතෘප්තිමත් බව නිසා නොයෙකුත් ගැටලු මතු වී තිබේ. මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇති වාජීකරණ ඖෂධ මඟින් ලබාගත හැකි ප්‍රතිඵල මහත්ය.
වාජීකරණ ඖෂධ පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ වැරදි මතයි. මෙමඟින් ලබාගත හැක්කේ ලිංගික උත්තේජනයක් බව සමහරු පවසති. ඒ නිසා වාජීකරණ ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට බොහෝ දෙනා තුළ ලජ්ජාවක් පවතී.
ආයුර්වේදයේ වසර තුන්දහසකට පමණ පෙර සිට පැවත එන මෙම වාජිකරණ ඖෂධ මඟින් සිදුකරන්නේ කාන්තාවක සහ පිරිමියකු කායික නිරෝගී බව ඇති කිරීමට අවශ්‍ය ශක්තිය ඇති කිරීමයි. මෙම කායික නිරෝගී බව නිසා ඔවුන් ක්‍රියාශීලීව හා ශරීරය පැහැපත් වීම සිදුවේ. අන් අයගේ ආකර්ෂණය ඇතිකර ගැනීමට සමත් වේ.

වර්තමානයේදී තරුණ තරුණියන් විශාල පිරිසක් විවිධ කායික රෝගවලින් පෙළෙති. ඒ නිසා ඔවුන්ගේ ලිංගික ක්‍රියාවලියෙහි දුර්වලතා පවතී. යුග දිවියට පත් බොහෝ අඹු සැ‍මියෝ දරුඵල පමාවීම ගැන පමණක් නොව තම ලිංගික ජීවිතයේ අතෘප්තිමත් බව පිළිබඳව පසුතැවෙති. ඔවුහු මෙම ගැටලුව සඟවාගෙන මානසික පිඩාවන්ගෙන් පෙළෙති. 
ඕනෑම සැමියකු හෝ බිරියකගේ ලිංගික ශක්තිය සඳහා කායික නිරෝගි බව මෙන්ම මානසික නිරෝගී බව බලපායි. කායික රෝගීබවකින් හෝ මානසික ගැටලුවකින් පෙළෙන විට ලිංගික ශක්තිය දුර්වල වේ.

කායික රෝග අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ප්‍රධාන තැනක් ගනී. මෙවැනි රෝගවලින් දීර්ඝකාලයක් පෙළෙන විට එහි සංකූලතා ලෙස ලිංගික ශක්තිය ද දුර්වල වේ. ඒ අතර හෝමෝන ගැටලු මතුවීම නිසා පවතින දුර්වලතාවය දෙගුණ තෙගුණ විය හැක. මේ සඳහා අප ගනු ලබන ආහාර පාන ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබේ. කෘතිම රසකාරක සහිත පෝෂ්‍ය ගුණයට වඩා රස ගුණයට මුල්තැන දුන් ආහාර පාන ගැනීම බරපතළම ගැටලුවක් වී තිබේ.
තමාගේ එදිනෙදා ජීවිත චර්යාවන් ද ලිංගික දුර්වලතා ඇති කිරීමට හේතු වේ. මත්පැන්, මත්ද්‍රව්‍ය පානයට අධික ලෙස ඇබ්බැහි වීම, අධික උෂ්ණත්වය සහිත පරිසරවල රුකියා කිරීම වැනි හේතු මත පුරැෂයන්ගේ ශුක්‍රාණු නිපදවීම දුර්වල වීමට බලපායි. එම නිසා යම් පුද්ගලයකු ලිංගික දුබලතාවයකින් පෙළෙන්නේනම් පළමුව එම පුද්ගලයාගේ ජීවන රටාව පිළිබඳව විමසා බැලිය යුතුය. ඒ අනුව රෝගයට හේතුව හඳුනාගෙන ප්‍රතිකාර හා උපදෙස් ලබා දීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගත හැකිය. වාජීකරණ ඖෂධ මඟින් පමණක් මතුව ඇති ලිංගික දුර්වලතාවයන් මඟහරවා ගත නොහැක. පවතින රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් වාජීකරණ ඖෂධ භාවිතා කිරීම තුළින් ලිංගික ශක්තිය වර්ධනය කරගත හැක.
නිරෝගී පුද්ගලයන්ට ද වාජීකරණ ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමෙන් තමාගේ ලිංගික ශක්තිය පමණක් නොව කායික නිරෝගීතාවය ද වර්ධනය කරගත හැකිය.

එබැවින් වාජීකරණ ඖෂධ යනු ලිංගික උත්තේජන ඖෂධයක් පමණක් නොව නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා උපකාරී වන පෝෂණීය අතිරේකයක් ලෙස ද හැඳින්විය හැක.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය 
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල