2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

සභාග ආණ්ඩුවක් හැදෙයිද?

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 1046

සභාගයක් පිළිබඳව වූ සාකච්ඡා ගෙවුණු සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ තේමාව විය. ඒ නමුත් ශ්‍රීල.නි.ප.-ඒකාබද්ධ සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධ උත්සාහය කරළියට පැමිණියේ අද ඊයේ නොවේ. එම තේමාව වඩා උණුසුම් මුහුණුවරක් ගෙන ජනගත වූයේ ගෙවුණු සතියක දෙකක කාලයේදී බව සැබෑවකි. අද අපේ සංවාදය ද සභාග ආණ්ඩු ගැන කියවුණු කියවෙන මතිමතාන්තර පිළිබඳවය.

පසුගිය සතියේ දේශපාලනයේ උණුසුම්ම පුවත මෛත්‍රී මහින්ද එස්.බී. ගේ නිවසේ හමුවූ කතාවයි. එවන් හමුවක් නොවූ බවට පසුව අදාළ පාර්ශ්වයන් විවිධ ප්‍රකාශ කළ නමුත් හමුවේ අරමුණ යැයි කියවුණු සභාග ආණ්ඩු කතාව සෘජුව ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙක් පෙළඹුණේ නැත. එසේනම් සාකච්ඡාවට කවරෙකු සහභාගී වූවද නොවූවද සභාග ආණ්ඩුවක් පිළිබඳ වන සාකච්ඡා කතාව සත්‍ය බව අවබෝධ කර ගැනීමට අපට අපහසු නැත.

එහෙත් මෙම කරුණ සම්බන්ධයෙන් ඊට සම්බන්ධ පාර්ශ්වයන් තුළ වන අභ්‍යන්තර  එකඟතාවයේ ඒකමතික බවක් පසුගිය සතියේ දිස් නොවීය. සභාග හා භාරකාර ආණ්ඩු ගැන වූ කතාවේ ව්‍යවස්ථානුකූල නෛතික පදනම මෙන්ම ප්‍රායෝගිකව තත්ත්වයන් සම්බන්ධයෙන් ද සංවාද ඇති වූයේ මේ අනුවය.

ලාංකීය දේශපාලනයේ සභාග ආණ්ඩුව පිළිබඳව කරුණු කිහිපයක් අපි මතුකරමු. ඒ නව දේශපාලන තේමාව අවබෝධ කර ගැනීමට ඔබට පහසු වනු පිණිසය. න්‍යායාත්මකව සභාග ආණ්ඩු යනු එකින් එකට විරුද්ධ පරස්පර මත ඇති විටකදී එකිනෙකාට විරුද්ධව පවා තරග වදින දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් එක්ව ගිවිසුම්ගත වී පිහිටුවා ගන්නා ආණ්ඩුය. එහි කණ්ඩායම් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් විය හැකිය. එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහසෙන් පසුව තට්ටු මාරු ක්‍රමයට මෙරට ආණ්ඩු කළද එම බොහෝ ආණ්ඩු සභාග ආණ්ඩු බව මෙම දේශපාලන න්‍යායට අනුව තහවුරු වේ. මුල්කාලීනව පනහ සහ හැටේ දශකවල එජාපය තනි පක්ෂ ආණ්ඩු පිහිටුවා ඇත. එහෙත් පසුව සෑම අවස්ථාවකදීම ප්‍රධාන පක්ෂ දෙක පාර්ලිමේන්තු බහුතරයක් දිනාගත් අවස්ථාවලදී පවා සුළු පක්ෂ හවුලේ සභාග ආණ්ඩු පිහිටුවා තිබේ.

අද වනවිට මෙරට පවතින්නේ ජාතික ආණ්ඩුවක් බව කියවෙයි. එය සභාග ආණ්ඩුවේ එක් ස්වරෑපයක් යැයි කිව හැකිය. වෙනස ප්‍රධාන පක්ෂ ද්විත්වයම මෙහි හවුල්කාරීත්වය දැරීමයි. ජාතික යන වචන ඊට එකතුවන්නේ එවිටය. කෙසේ නමුත් දැන් කතාබහට ලක්වෙන සභාග ආණ්ඩුව පිහිටුවන්නට යන්නේ වර්තමාන ජාතික ආණ්ඩුව මෙවර අයවැය ඡන්දයේදී පරාජය කිරීමෙන් බව කියවේ.

එස්.බී. දිසානායක යනු සභාග කතාවේ ප්‍රබල චරිතයක් රඟදක්වන්නෙක් වෙයි. ජනපති- හිටපු ජනපති හමු වූ බවට පළවන පුවතට ඔහු ඈඳෙන්නේද ඒ නිසාවෙනි. කෙසේ නමුත් එවන් හමුවක් තම නිවසේ නොවූ බව දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. අපි මන්ත්‍රී එස්.බී. ඇමතුවෙමු. ඒ මේ සභාග කතාවේ අගමුල දැනගන්නටය. එහෙත් ලැබුණේ කෙටි පිළිතුරකි.

“ඒක මේ පරණ කතාවක්. අපි එළියට බැහැලා කීවේ වමේ ප්‍රගතිශීලී බලවේග එකතු කරලා සභාග ආණ්ඩුවක් හදනවා කියලා. මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ.”

ශ්‍රීලනිපයෙන් ඒකාබද්ධයට පැමිණි දහසයේ කණ්ඩායමේ මතය වූයේ එස්.බී. දිසානායක මහතා පවසන සභාග ආණ්ඩු කතාව බව සැබෑවකි. එහෙත් ඊට ඒකාබද්ධ අභ්‍යන්තරයේ වන එකඟතාව කුමක්ද? ඒ අනුව පසුගිය සතියකට අධික කාලය තුළ මාධ්‍ය වාර්තා අනුව ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ගෙන් සභාග ආණ්ඩුව පිළිබඳව පළකළ අදහස් කිහිපයක් මෙලෙස මතු කරමු.

“එක සභාග ආණ්ඩුවක් හදලා රටටම කෙළවලා දැම්මා නේද? ඉතින් දැන් හදන්නේ තවත් කෙළවන්නද?” මේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මාධ්‍යයට කියා තිබූ කතාවකි. “ජනාධිපතිතුමාට වැඩිය වුවමනාව තියෙන්නේ එස්.බී. දිසානායක මහත්තයටයි තවත් දෙතුන් දෙනෙකුටයි. හැරෙන හැරෙන පැත්ත හැරිලා ආත්මය පාවාදෙන දේශපාලකයන් ගැන රටේ ජනතාව තවදුරටත් විශ්වාස තියන්නේ නෑ. ආණ්ඩු විරෝධී යූ.එන්.පී විරෝධී සැබෑ දේශපාලන බලවේගයක් අපි ගොඩනගලා තියෙනවා” ඒ කතාව කියා තිබුණේ ඒකාබද්ධයේ රංජිත් සොයිසා මන්ත්‍රීවරයාය. සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධය තීරණය කර නොමැති බව සතියකට පමණ ඉහතදී මහින්ද යාපා මන්ත්‍රීවරයාද කියා තිබුණි. මේ අතර ඒකාබද්ධයේ ප්‍රබලයෙක් වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පසුගිය 8 වැනිදා ප්‍රකාශ කර තිබුණේ ඉදිරි සති කිහිපයේදී විශාල දේශපාලන වෙනසක් වන බවත් මෛත්‍රී-මහින්ද සභාග ආණ්ඩුවක් බිහිවනු ඇති බවත්ය. මේ පිළිබඳව ඒකාබද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්ද පවත්වා ඇත. නමුත් විවිධ දෑ ප්‍රකාශයට පත්වෙයි. සභාග ආණ්ඩු කතාව පිළිබඳව ඒකාබද්ධයේ පොදු එකඟතාව කුමක්දැයි තවම රට පැහැදිලි නැත.

සභාග කතාවට එජාපයේ ප්‍රතිචාර කුමක්ද? පසුගිය සතියේ එජාපයේ පසුපෙළ මෙන්ම ඉදිරිපෙළ පිරිසද සභාග කතාව පිළිබඳව තම මත ප්‍රාකාශයට පත්කර තිබුණි. සභාග ආණ්ඩුවක් හැදුවොත් ඊට පෙර එජාපයෙන් තනි ආණ්ඩුවක් නිර්මාණය කරන බව සිරිකොතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රකාශය කර තිබිණි. තමන්ට හිමිවූ විශිෂ්ට ජනවරම භාරකාර ආණ්ඩුවකට කිසිවිටක සිල්ලරට අලෙවි කරන්නට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නැතැයි පවසා තිබුණේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාය. මේ ආදී වූ විවිධ අදහස් එජාපය පාර්ශවයෙන් මතුවූ අතර එම මතවලද ඒකමතික බවක් නොවීය. ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාස යම් පමණකට තබාගෙන සිදුකළ ප්‍රකාශය හා ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසයක් නොමැති සේ සිදුකළ ප්‍රකාශද ඒ අතර වීම ඊට හේතුවයි. සභාග, භාරකාර ආණ්ඩුව කතාව සමඟ යම් නීතිමය ගැටලුවක්ද නිර්මාණය විය. ඒ සඳහා මූලික වූයේ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකි.
“භාරකාර ආණ්ඩු හදන්න අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නෑ. එහෙම එකක් හදන්න වෙන්නේ පාර්ලිමේන්තුව විසුරවපු වෙලාවක විතරයි. ආණ්ක්‍රම ව්‍යවස්ථාවට පිටින් දේවල් කිව්වාට ඒවායේ කිසි පලක් නෑ.” මේ ප්‍රකාශ හේතුවෙන් භාරකාර ආණ්ඩුව හැදීමේ හැකියාව පිළිබඳව නෛතික ගැටලුවක් මතුවිය. මෙහිදී සැලකිය යුතු දෙයක් වෙනුයේ සභාග හා භාරකාර යන වචන ද්විත්වයම ගෙවී ගිය සතියේ දේශපාලන සංවාදවල සඳහන් වූ බවයි.

ඒකාබද්ධය පසුගිය වසරකට අධික කාලය තුළ ආණ්ඩු බලය ලබාගැනීමේ උපක්‍රමික උත්සාහයන් කිහිපයක නිරත වූ බව සිහිපත් කළ යුතුය.

පළාත් පාලන මැතිවරණයක හා එහි ප්‍රතිඵල ඉන් එක් අවස්ථාවකි. අගමැතිට එරෙහි විශ්වාසභංගය තවත් අවස්ථාවකි. ජනබලය කොළඹට ආසන්නතම සිදුවීමයි. මේ සියලු උත්සාහ තුළ ආණ්ඩු පෙරළියක් පිළිබඳ යම් හැඟීමක් ඒකාබද්ධ තුළ මෙන්ම ඊට හිතවත් පාක්ෂිකයන් තුළද වූ බව නොරහසකි. එහෙත් එම බලාපොරොත්තු සාධනය කරගැනීම ඒකාබද්ධයට නොහැකි විය. නමුත් යම් සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීමට ඔවුනට හැකියාව ලැබුණු අතර ඉන් ප්‍රමුඛතම සිදුවීම දහසය දෙනාගේ කණ්ඩායමේ ආගමනයයි.

සභාග ආණ්ඩුවක් පිහිටුවීමේදී උතුරේ දේශපාලන පක්ෂ පිළිබඳවද යම් අවබෝධයක් ලබා ගැනීම වටී. ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන් දකුණේ ආණ්ඩු සමඟ සන්ධානගත නොවන බව පොදු පිළිගැනීමයි. එහෙත් දකුණේ එජාපය ප්‍රමුඛ බලවේග සමඟ ඉතා සමීප ගනුදෙනුවක් ඔවුනට ඇති බව අමතක නොකළ යුතුය. තවද රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාගේ කණ්ඩායම නව සභාගයකට සහායදීමේ අවකාශයක් ඇති බවට දේශපාලන කසුකුසුවක්ද ඇත. ඒ පිළිබඳව විවේචනද තිබේ. එමෙන්ම වතුකරයේ ඇතැම් නායකයන්ද නව සභාගයකට පක්ෂ වෙතැයි අපේක්ෂා කළ හැකි සිදුවීම් පසුගිය කාලයේදී සිදුව ඇති බව සිහිපත් කළ යුතුය. ජනතා විමුක්ති පෙරමුණ සභාග ආණ්ඩු පිළිබඳ සිය මතය ප්‍රකාශ කර ඇත. ඊට අනුව ඉදිරි දේශපාලන අර්බුදයකදී ප්‍රධන පක්ෂ කණ්ඩායම් දෙකෙන් එකකට සහාය දෙතැයි අපේක්ෂා කළ නොහැක. කෙසේ නමුත් මෙම තත්ත්වය පිළිබඳව නිශ්චිත අනාවැකි පළකිරීමට කල් වැඩිබව ඉතා පැහැදිලිය.

නවතම සභාග ආණ්ඩු කතාව පිළිබඳව ඒකාබද්ධට සම්බන්ධ පාක්ෂිකයන් තුළ වන මතය කුමක්දැයි දැනගැනීමට සමාජ ජාල අධ්‍යනයක්ද අපි සිදුකළෙමු. ඊට අනුව පැහැදිලි වනුයේ ප්‍රධාන මත දෙකක් වන බවයි. පිරිසක් දැඩි ලෙස සභාග විරෝධී වන අතර තවත් පිරිසක් කෙසේ හෝ ආණ්ඩු බලය ලබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

විරෝධය දක්වන්නන් තුළ වන මතය වන්නේ මෙවන් සභාගයක් තුළින් ආණ්ඩුවට සම්බන්ධ ද්‍රෝහී පිරිස්වලට නැවත බලය ලබාගැනීමට අවකාශ සැලසෙන බවයි. තවද මේ වනවිට ගොඩනැගී ඇති ජනබලය හවුල් ආණ්ඩුවක් හරහා බිඳි යා හැකියැයිද අදහස් පළවෙමින් තිබේ. සහාගයට පාර්ශවික මතුවන අදහස්ද තිබේ. ඒ අනුව වර්තමාන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය මත තවත් ඉදිරියට ගියහොත් රට නැවත ගොඩගැනීමට නොහැකිවේ යැයි යන මතය ප්‍රධාන වේ. එමෙන්ම ජාතික ආරක්ෂා විදෙස් ප්‍රතිපත්තිය අදිය සලකා කඩිනමින් මොනයම් හෝ ක්‍රමයකින් ආණ්ඩු බලය ලබා ගතයුතු යැයි මෙම පාර්ශ්වය තර්ක කරයි. 

සභාව ආණ්ඩුව කතාව පිළිබඳව අවසාන විග්‍රයේදී අපට කිව හැකි යමක් වෙයි. ආණ්ඩුව යනු දේශපාලන බලය මත ගොඩනැගෙන දෙයකි. ජනතාව දේශපාලකයන්ට මැතිවරණයකදී බලය පවරා දීමෙන් පසු ඔවුන් විසින් සිදුකරනු ලබන්නේ බල දේශපාලන තුළ තම බලයේ ප්‍රමාණය වැඩිකර ගැනීමේ අරගලයකි. සභාග ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ පාර්ලිමේන්තුවේ 225න් 113ක කැමැත්ත මතය. එම කැමැත්ත ලබාගැනීම වෙනුවෙන් විවිධ බල අවශ්‍යතා කවරෙකුට වුවත් සැපිරීමට සිදුවෙයි. වර්තමාන ආණ්ඩුවද තමා වටා සභාගත වී සිටින පිරිස්වල බල අවශ්‍යතා ඉටුකරමින් සිටියි. අනාගතයේදීත් එය එසේම වනු ඇත. එහෙත් අවසානයේ අපට ඇතිවන පැනය නම් දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම්වල බල අවශ්‍යතාවයන් යනු සැබෑ මහජන අවශ්‍යතාවන්ද යන්නයි.

 


 චමිඳු නිසල් ද සිල්වා

කැබිනට්ටුෙව් සංයුතිය ජනපතිට ඕනෑ වෙලාවක වෙනස් කළ හැකියි
- ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

“සභාග ආණ්ඩුවක් හෝ වෙන තාවකාලික ආණ්ඩුවක් හදන්න පුළුවන් ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ලා රජය පරාජය කළ අවස්ථාවකයි. එවිට කැබිනට්ටුව විසුරැවලා විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයකුට ජනාධිපතිවරයාට පුළුවන් ආරාධනා කරන්න නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට. ඒ සඳහා විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි. එසේ නැතිනම් පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකක ඡන්දයකින් ඉල්ලීමක් කළ යුතුයි පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා. එහෙම ඉල්ලීමක් කළොත් පුළුවන් අලුත් ඡන්දයකට යන්න. මීට අමතරව ආණ්ඩුව ව්‍යවස්ථාවේ 43.3 වගන්තියට අනුව ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා ඕනෑම අවස්ථාවක කැබිනට්ටුවේ සංයුතිය වෙනස් කරන්න. මේ වගන්තියේ කියවෙන්නේ නෑ අගමැතිගේ උපදෙස් පිටයි එය සිදුකළ යුත්තේ කියලා. ඒක විශේෂත්වයක්. සාමාන්‍යයෙන් කැබිනට්ටුවක් පත් කිරීමේදී අගමැති උපදෙස් පිටයි පත් කරන්නේ. නමුත් කැබිනට්ටුවේ සංයුතිය වෙනස් කරන්න තියෙන 43.3 වගන්තියේ එහෙම එකක් නෑ.”

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා දක්වන පරිදි ජනාධිපතිවරයාට කැබිනට්ටුව වෙනස් කිරීමේ හැකියාවක් පවතී. එය භාවිතයෙන් සභාගයක් වෙනුවෙන් ඒකාබද්ධය කටයුතු කරනු ඇද්ද නැතිනම් වෙනත් උපක්‍රමයක් ඔවුන් සතු ද යන්න පැහැදිලි නැත. එහෙත් මනෝහර ද සිල්වා මහතා දැක්වූ පරිදි අමාත්‍ය මණ්ඩලය ඉදිරි සභාගයක් තුළ දී සීමා වනු ඇත. දැනට පවතින අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථාවට පටහැනිය.

ප්‍රායෝගික ප්‍රබල අභියෝගයක්
- නීතීඥ අජිත් පතිරණ

“සභාග ආණ්ඩුවක් පිහිටුවන්න බාධාවක් නෑ. නමුත් බහුතරය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. සභාග ආණ්ඩුවකට 113ක් ඕනා. එහෙම ගන්න පුළුවන් කෙනෙකුට සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තියනවා. එකමදේ තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ජාතික ආණ්ඩුවක් කරගෙන යනවා නම් විතරයි ඇමතිකම් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඇමැති ධූර ප්‍රමාණය සීමාවෙනවා. ඇමැති ධූර නොදී කොහොමද සභාග ආණ්ඩුව පිහිටුවන්නේ. ඇමතිකම් දෙන්න වෙයි 113ටම.”

අජිත් පතිරණ මහතා මතුකර කරුණට අනුව සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමේදී මතුවන්නේ නෛතික බාධාවන් ඉක්මවා ගිය ප්‍රායෝගික ගැටලුවකි. 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට අනුව කැබිනට් ඇමති ධූර සංඛ්‍යාව සීමාකර තිබුණද ප්‍රධාන පක්ෂ දෙක එක්ව පිහිටුවන ජාතික ආණ්ඩුවක් තුළ දී එම ඇමැති ධූර ප්‍රමාණය ඉහළ දැමීමේ අවස්ථාව සලසා දී තිබේ. නමුත් සභාග ආණ්ඩුවක් බිහිවීමේදී එම ඇමති ධූරය ප්‍රමාණය සීමා වනු ඇත. සභාගයකට එක්වන පුද්ගලයා හා පක්ෂ කණ්ඩායම්වල ප්‍රධාන බලාපොරොත්තු ඇමැතිකම්ය. එසේනම් සභාග ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රායෝගිකව ප්‍රබල අභියෝගයකි.