2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

කුරුලු පාරාදීසයක් මැද පුංචි හෝටලේ Captain’s Lake Safari Lodge

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 168

පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත්තු ස්ථානය කල්පිටිය බවට සැකයක් නැහැ. නමුත් ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට නුදුරින් පිහිටි මදුරන්කුලියත් මුන්දලම කලපුවත් පුත්තලමට සුන්දරත්වයක් එක් කරන හැබැයි සංචාරකයන්ගේ නෙත නොගැටුණු ඉසව්වක් විදිහට නම් කරන්න පුළුවන්.

ඒ වගේම හලාවත පුත්තලම මාර්ගයේ පිහිටා තිබෙන මහකුඹුක්කඩවල වැව සහ නවදන්කුලම වැව කියන්නේත් කුරුලු පාරාදීසයන්. ආනවිලුන්දාවත් එක්ක ගත්තම ලංකාවේ කුරුල්ලන් නරඹන්න තියෙන හොඳම පරිසර පද්ධතිය විදිහටත් මෙය හඳුන්වන්න පුළුවන්. සර්පකුස්සා, කළුපිය ඉපැල්ලෑවා, සෙත්කර රන් මහ ඔලෙවියා, දිය කැස්තුඩුවා, බමුණු මයිනා, මහ තඹ සේරුවා සහ වන සිලිබිල්ලා වැනි නිතර දකින්න නොලැබෙන කුරුලු වර්ග රාශියක් මෙහිදී දකින්න ලැබෙනවා. 

කුරුලු ජීවිතවල සුන්දරත්වය අපූර්වත්වය විඳින්න වගේම වයඹ පළාතේ උතුරු දිග කොටස දැකබලාගන්න යන සංචාරකයෙක්ට ගැලපෙන හොඳම තැනක් තමයි නවදන්කුලම Captain’s Lake Safari Lodge හෝටලය. මේක ඇත්තටම කඳවුරු බිමක් කිව්වොත් තමයි වඩාත් නිවැරදි.

Captain’s Lake Safari Lodge අලුතින් ඉදිකරපු කාමර තුනක ස්ථීර කඳවුරකින් යුක්තයි. එය ඉදිකර තිබෙන්නේ වැවක් අද්දර වීමත් විශේෂත්වයක්. ඒ වගේම අංග සම්පූර්ණ පෞද්ගලික නාන කාමර දෙකක් වගේම විවෘත නාන ස්ථානයකුත් මෙහි ඉදිකර තිබෙනවා.

“අපි මෙතැනදී උත්සාහ කරන්නේ කෑම්ප් එකක් හෝ ලොජ් එකක් කුලියට දෙන්න නෙමෙයි. අපිට අවශ්‍ය අවට පරිසරය විඳින්න පුළුවන් විදිහේ පැකේජ් එකක් සංචාරකයාට දෙන්නයි. ඒ විදිහට අවට දැකබලා ගෙන හැන්දෑ වරුවේ කඳවුරු බිමට එන විදිහට තමයි අපේ වැඩසටහන් සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා කුරුල්ලන් නැරඹීම, අලි නැරඹීම, මාළු ඇල්ලීම, ගමේ ඇවිදීම වගේ ගොඩක් කටයුතු මෙහි නවාතැන් ගැනීමට අන්තර්ගතයි.“ මේ ස්ථානයේ කළමනාකරු විදිහට ඉන්න පෙට්‍රා රඹුක්වැල්ල එහෙම කියනවා

මෙතැන තියෙන්නේ තරමක කුඩා ආහාර ගැනීමේ ස්ථානයක්. එහිදී පිළිගැන්වෙන ආහාර බොහෝදුරට සාම්ප්‍රදායික දේශීය ආහාරයි. මෙතැන වැවක් අද්දර පිහිටා තිබෙන නිසාම ආහාරවේලට වැව් මාළු නම් වරදින්නේ නැහැ. ඒ වගේම රසවත් ගමේ කෑමත් තිබෙනවා. ඊට අමතරව බාබකිව් පහසුකමත් තිබෙනවා. 

මෙතැන ඉඳන් විල්පත්තුව, කල්පිටිය, අරිප්පු කොටුව, කලා ඔය ඩෙල්ටාව අසල ගඟේ වාඩිය, කුදිරමලේ, කලු ඔය, පලුගහතැන්න වගේ නොයෙක් වැදගත් ස්ථානවලට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. 

සනත් වීරසූරිය
සේයාරු - ශාන් බන්දු වීරසිංහ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00