2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

ප්‍රේමකීර්ති ගැන රසවත් තොරතුරු පිරි කෘතියක්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

ප්‍රේමකීර්ති ද අල්විස් කෙටි කාලකින් ඝාතනය වී දිවිගමන නිමා කළ මෙරට සිටි විශිෂ්ඨ ගුවන්විදුලි සන්නිවේදකයෙකි. ගීත රචකයෙකි. ඔහු පිළිබඳ අත්දැකීම් විවරණය කරමින් ලියැවුණ “ප්‍රේමකීර්ති ද අල්විස් ගේයපද රචකයා හා අසමසම ගුවන්විදුලි මාධ්‍යවේදියා” කෘතිය පසුගියදා නිකුත් විය. මෙහි කතුවර හිල්ටන් පෙරේරා, ප්‍රේමකීර්ති සමඟ එකට සේවය කළ ගුවන්විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙකි. ඔහු කෘතිය ආරම්භයේදීම ප්‍රේමකීර්ති සමඟ තිබූ සම්බන්ධතාව සඳහන් කරයි.

“මේ සඳහා මා යොමුවුණේ රුහුණු, රජරට හා මහනුවර යන ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන තුනෙහිම අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ එකම තැනැත්තා මා වීම නිසාත්, ප්‍රේමකීර්ති ද මා සමඟ මෙම ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුනෙහිම සේවය කිරීම නිසාත්ය. එමෙන්ම ඉන්පසුව මා කොළඹ ප්‍රධාන කාර්යාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙනුත් පසුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වූ පසුවත් ප්‍රේමකීර්ති ද ස්ථාන මාරැවක් ලැබ ප්‍රවෘත්ති අංශයේ මා සමඟ සේවය කිරීමත් නිසාත්ය.”

මෙම කෘතිය පරිච්ඡේද හතක් ඔස්සේ දිවයයි. ඒ ප්‍රේමකීර්ති සමඟ රැහුණු, රජරට, මහනුවර සේවයේ ගතකළ කාලය සහ කොළඹ ප්‍රවෘත්ති අංශයේ අත්දැකීම් ලෙසත් ගීත සාහිත්‍ය පෝෂණය සහ උතුරේ සංචාරය පදනම් කරගනිමිනුත්ය. හිටල්ටන් පේරේරාට මුලින්ම ප්‍රේමකීර්ති හමුවන්නේ 1980 වර්ෂයේ අගභාගයේ ගුවන්විදුලියේ රුහුණු සේවයේ අධ්‍යක්ෂ ලෙස වැඩ බාරගත් පසුවය. ප්‍රේමකීර්ති ද ස්ථාන මාරැවක් ලැබ එවකට රැහුණු සේවයේ නිෂ්පාදකවරයෙක් ලෙස සේවය කරමින් සිටියේය. ප්‍රේමකීර්ති රුහුණු සේවයෙන් ඉදිරිපත් කළ රසබර වැඩසටහන් ගැන මෙන්ම රසවත් සිද්ධි ගැනද මෙහි විස්තර කර තිබේ. “පෙරහර ගමන් ගන්නා මාර්ගයේ ප්‍රේමකීර්ති විස්තර ගෙන ආ යුතු ස්ථානයට ප්‍රේමකීර්ති ළඟාවන විට පෙරහර එම ස්ථානයෙන් ගොස් තිබිණි. නමුත් පෙරහරේ පෙළගැස්ම හා සංස්කෘතිකාංග පිළිබඳව කලින් ඔහු අධ්‍යයනයක් කරතිබූ නිසා ප්‍රේමකීර්ති පෙරහර පිළිබඳව වූ විස්තර ප්‍රචාරය ඉදිරිපත් කළේ තමන් ඉදිරියෙන් ගමන් ගන්නා පෙරහරක් දෙස බලමින් විස්තර ප්‍රචාරය කරන නිවේදකයකු ලෙසටය.”

අද තාක්ෂණය කෙතරම් දියුණු වී තිබුණත් ඇසූපිරූතැන් ඇති මාධ්‍යවේදීන් හිඟය. ප්‍රේමකීර්ති යමක් ගැන වැඩසටහන් නිෂ්පාදනය කිරීමට ඒ මාතෘකාව ගැන පසුබිම් විස්තර හොඳින් සොයාබැලූ බව හිල්ටන් ලියූ මේ කෘතියෙන් පැහැදිලි වේ. ඒ අතරම ප්‍රේමකීර්තිගේ පෙරළිකාර චරිතය ගැන ද රසවත් සිද්ධි මෙහි ඇතුළත්ය. වරක් හිල්ටන් ප්‍රේමකීර්තිගෙන් ඉල්ලීමක් කර ඇත්තේ පාන්දර 5.00 සිට 8.00 දක්වා උදෑසන සජීවී විකාශය ඉදිරිපත් කරන ලෙසය. “ඔහු සිනහවෙමින් කීවේ රැහුණු සේවය ඉදිරිපිට තමා නවාතැන් ගෙන සිටි නිවසේ සිට රාත්‍රී ඇඳි සරමින් සැරසී හිමිදිරි උදෑසන පහසුවෙන්ම රැහුණු සේවයට පැමිණ නිවේදන කටයුතුවල යෙදීමට ඉඩදෙන්නේ නම් පමණක් තමාට එම කාර්යය කළ හැකි බවය. ප්‍රේමකීර්තිගේ කොන්දේසියට එකඟවීම හැර වෙනත් විකල්පයක් මට නොමැති වූයේ ඔහුගේ නිවේදන කලාව තුළ ශ්‍රාවකයා ඇඳබැඳ ගැනීමට තිබූ සුවිශේෂී හැකියාව නිසාය.” (28 පිට)

මේ ප්‍රේමකීර්තිගේ චාම් චරිතය හෙළිදරව් කරන බවත් සිද්ධියකි. “මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූයේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ඒමන් කාරියකරවන මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් තේවිස් ගුරැගේ මහතාය. ප්‍රේමකීර්ති දහස් සංඛ්‍යාත් පිරිසක් ඉදිරියේ අත්කොට කමිසයක් හැඳ බොත්තම් පවා නිසි ලෙස නොදමාගෙන රබර් සෙරෙප්පු පැළඳ නිවේදන කටයුතු කරන දුටු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ප්‍රේමකීර්ති නිසි ලෙස ඇඳපැළඳ වේදිකාවට ගොඩනොවීම සම්බන්ධයෙන් රැ. 250 දඩයක් ගසා අවවාද ලිපියක් නිකුත් කරන ලෙසය.* (39 පිට) එහෙත් ප්‍රේමකීර්ති චරිත ස්වභාවය දැනසිටි හිල්ටන් එම නියෝගය ක්‍රියාත්මක නොකළ බවද සඳහන් කර තිබේ.

ප්‍රේමකීර්ති රජරට සේවයට ගිය අවස්ථාවේ එහි හේන්වල, ඓතිහාසික ස්ථානවල, වනාන්තරවල ඇවිදිමින් අගනා වැඩසටහන් නිෂ්පාදනය කළ අන්දමද මෙහි විස්තර කෙරේ. ප්‍රේමකීර්තිගේ චරිතයේ සැඟවුණු තැන්ද (වැඩ තහනම් කළ දවස්) ඉදිරිපත් කරයි. “ඔහු ඊට කලින් වැඩ තහනමකට ලක් වූයේ දෙතුන් වතාවක් පමණි. ඒ බව ගුවන්විදුලි සංස්ථාවේ පාලන අධ්‍යක්ෂවරයාව සිටි කොල්වින් ජයවීර මහතාද සාක්ෂි දරනු ඇත.” (62 පිට)

හිල්ටන් පෙරේරාගේ මෙම කෘතිය ප්‍රේමකීර්ති ගැන නොදන්නා අද බහුතරයක් දෙනාට අපූරු තොරතුරු සම්භාරයක් ලබාදීමට සමත් ව්‍යායාමයකි.

 පාඨක