2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

කනවැද්දුම් යෝගයක් හඳහන්වල නැහැ

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 1005

ඇතැම් ජ්‍යොතිෂවේදීන් විවාහපේක්ෂක යුවළකගේ කේන්ද්‍ර පරීක්ෂාකර කනවැද්දුම් යෝග ඇතැයි පවසා විවාහයට නුසුදුසු බව ප්‍රකාශ කරන අවස්ථා ඇත. මෙහිදී සිදුවන්නේ ඒ දෙදෙනා විවාහයට බියවීමය. සමහර වෙලාවට මෙවැනි යෝග ඇති බව පැවසූ විට අනිත් මොන සුදුසුකම් තිබුණත් විවාහය සිදු නොකිරීමට පෙළඹෙන බව දක්නට ඇත. එලෙසම මෙවැනි අනතුරු ඇඟවීම් නිසා යම් විධියකින් එවැනි විවාහ සිදුවුවද මතුවට අහිතකර ප්‍රතිඵල උද්ගත වී ඒවා කඩාකප්පල් වීමටද ඇති ඉඩ වැඩිය. ඒ නිසා මෙලෙස බිය කිරීම අසාධාරණය.

ඇත්ත වශයෙන්ම කනවැද්දුම් යෝග කියා යෝගයක් තිබේද? එසේ තිබේනම් ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීම වැදගත් වේ.

විවාහය සාර්ථකවීමට නම් පෙර ආත්මභවවල එකට ජීවත් වූ අයට අවශ්‍ය පොරොන්දම් ගැලපීම සිදුවිය යුතුය. එවැනි අය දුටු සැනින් දෙදෙනාට දෙදෙනා කෙරෙහි ආකර්ෂණයක් සිදුවේ. ඒ හැර ශාරීරික හා මානසික ගැලපීමද තිබිය යුතුය.

විවාහයක් සඳහා පොරොන්දම් ගැලපීමේදී විශේෂයෙන් ආයුෂ පොරොන්දම් සලකා බැලේ. ස්ත්‍රියගේ නැකතේ සිට පුරුෂයාගේ නැකත දක්වා නැකත් අනුපිළිවෙළ ගැන ලැබෙන උත්තරය 27න් වැඩිකර 28න් බෙදා ලැබෙන සංඛ්‍යාව පිරිමියාගේ උපන් නැකතේ සිට කාන්තාවගේ නැකත දක්වා ගැන 27න් වැඩිකර එය 28න් බෙදූ කළ ලැබෙන උත්තරයේ ස්ත්‍රියකගේ ලැබුණු ශේෂය පිරිමියාගේ ශේෂයට වඩා අඩු නම් ශුභ වන අතර වැඩි නම් අශුභ යැයි සැලකේ. මෙයින් කියැවෙන්නේ මෙම ශේෂ දෙකෙන් වැඩි අය වැඩිකල් ජීවත්වන බවය. අඩු ශේෂය ඇති අය අඩු කලකින් මියයයි. එහෙත් මෙසේ කියා තිබුණ පලියටම එසේ සිදුවන්නේ නැත. තමාගේ ජන්ම ශක්තිය අනුව ග්‍රහ පොරොන්දමේද මෙය වැඩිදුර විග්‍රහ කර බැලිය හැකිය.

විවාහයක් සිදුවූ විට දෙදෙනා අතර විශ්වාසය වැඩිවේ. දෙදෙනා එකතු වී ජීවත්වීමේදී තනි තීරණ නොගෙන සාකච්ඡා කර ඇති තත්ත්වයට මුහුණ දීම දෛදනාගේම යුතුකම හා වගකීම වන්නේය. විශ්වාසය පලුදු නොවන ලෙස අවශ්‍ය කටයුතු කිරීමට දෙදෙනාම බැඳී සිටිති. එවන් යුවළක් සාමයෙන්, සහයෝගයෙන්, කටයුතු කරනු ඇත. මේ හැර කනවැද්දුම් යෝගයයි කියා යෝගයක් කේන්ද්‍රවල නැති බව පැවසිය යුතුය. එය සමාජයේ පිළිගැනීමක් පමණකි. එහෙත් ආයුෂ පොරොන්දම හා ග්‍රහ පොරොන්දම්ද සලකා බැලිමෙන් අඩු වයසින් ස්ත්‍රිය හෝ පුරැෂයා මියගියහොත් අනෙකා කනවැද්දුම් ලෙස සැලකේ. මෙහිදී පිරිමියා කනවැද්දුම් වීමට වඩා ස්ත්‍රිය කනවැද්දුම්වීම සමාජයේ පුරාණයේ සිට නිග්‍රහයට කරුණක් ලෙස සැලකේ.

තවද මේ තත්ත්වය ඇතිවීමට ගණ පොරොන්දමද සලකා බැලිය යුතුය. මනුෂ්‍ය හා රාක්ෂ ගණවල දෙදෙනකු විවාහ වුවහොත් එකට එක ගෙයි ජීවත්වීමට නොහැකි වේ. මෙහි අවසානය එක් අයකුගේ මරණය ගෙනදීමට හේතුවේ.
තවද රාශි පොරොන්දමෙන් ස්ත්‍රියගේ රාශියේ සිට 2,5,6 වැනි රාශියන් පුරුෂයාට ලැබේ නම් එය අශුභ ලෙස සැලකේ.

දෙදෙනාම එකම නාඩි වූ විට දෙදෙනාගෙන් කෙනෙකුට අකල් මරණයක් ගෙන දෙන බව ජ්‍යොතිෂයේ දැක්වේ. ඒ නිසා දෙදෙනාම නාඩි දෙකක් වීම ශුභ ලෙස සඳහන් වේ.

රවි 3 වැන්නේ සිට මාරක ස්ථානාධිපති සමග 8 වැන්නේ සිටීමත් මරණයට හේතුවකි.

චන්ද්‍රයා 6,8,12 වැන්නේ නම් සඳුගේ දශාව නම් බොහෝවිට ජලය මුල් වී මරණය සිදුවේ යැයි පැවසේ.

තවද කුජ ග්‍රහයා දෙදෙනාගේම කේන්ද්‍රවල 7 වැන්නේ සිටී නම් බොහෝවිට ස්ත්‍රිය පළමුව මියයන බව පැවසේ. කුජ 5 වැන්නේ සිටීමද නොගැලපේ. පොරොන්දම් බැලීමේදී කුජ, රාහු, ශනි, කේතු යන ග්‍රහයින්ගේ තත්ත්වය විශේෂයෙන්ම බැලිය යුතුය.

කුජ 8 වැන්නේ මාරක ස්ථානාධිපති සමග සිටී නම් ඒ අය හදිසි අනතුරකට මුහුණදී මරණයට පත්වෙන බව සඳහන්ය. කුජ 10 වැන්නේ නම් මුලදී හොඳට සැප සම්පත් ලබාදී අවසානයේදී ජීවිතය පවා නැති කරයි.

ගුරැ 3,6,12 සිටින කාලවලදී බොහෝවිට බෝවෙන රෝගවලින් මරණය සිදුවේ. එවැනි අයට ලෙඩ රෝග පහසුවෙන් බෝ වෙයි. ගුරු 8 වැන්නේ සිටියදී කිසිවකුට නොතේරී මරණය සිදුවේ. බුධ 12 වැන්නේ නම් සියලු දේ පිළිබඳව කලකිරී සියදිවි නසා ගැනීමට බලයි.

මිනිස් ජීවිතයක් දින 9, මාස 9න් අවු.9න්, අවු. 19න්, අවු. 29, අවු. 39, අවු. 49න්, අවු. 59, අවු. 69, අවු. 79, අවු. 89, අවු. 99 ආදී වශයෙන් අවුරුදු ගෙවෙද්දී යම්කිසි පාපී දශාවක 8 වැන්නේ හා 12 වැන්නේ ගමන් කරයි නම් කිසිවකුට නොදැනී මරණය සිදුවේ.

යම් පුරුෂයකුගේ 6 වැන්නේ කුජද, 7 වැන්නේ රාහුද, අට වැන්නේ ශනිද සිටී නම් ඔහුගේ භාර්යාව වැඩිකල් නොගොස්ම මරණයට පත්වේ. රාහු ලග්නයේ හෝ හතේ නම් ඒ පුරැෂයාගේ භාර්යාව පළමුව මියයයි.

තවද කුජ, ශනි යෝගය තුළින්ද මරණය පිළිබඳව සොයා බලයි. මීට අමතරව 22 හෝ දෙකර්ණාධිපතියාගෙන්ද පුද්ගල මරණය පිළිබඳව විමසා බැලේ.

පොරොන්දම් ගැලපීමේදී නොගැලපෙන විවාහ සිදු නොකර සිටීමෙන් කනවැන්දුම් වීම වළක්වා ගත හැකිය. එසේම පොරොන්දම් නොගැලපෙන අය විවාහය සිදුකර ගතහොත් ආගමානුකූලව ජීවත්වීමෙන් අපල අඩුකර ගතහැක.

 

ජ්‍යොතීර්විද්‍යාවේදී, 
දේශීය වෛද්‍ය කීර්ති පී. චන්ද්‍රසිරි
චන්ද්‍රකිරණ ජ්‍යොතිෂ සේවය - කඩුවෙල