2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

බලාගාරයකට බිලිවෙන මුතුරාජවෙල අක්කර 100

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 193

වනාන්තර ආරක්ෂා කිරීම සඳහා අණ පනත් පනවා තිබුණද ඒවා කුණු කූඩයට ඇද දමමින් බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් මෙරට වනාන්තර දිනෙන් දින විනාශයට පත් වී කොන්ක්‍රීට් වනාන්තර නිර්මාණය වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ පිළිබඳ පසු විපරම් කර බැලීමේදී මහාවංසය රාජරත්නාකරය වැනි ඓතිහාසික ග්‍රන්ථ සාක්ෂි දරයි. ක්‍රිස්තු පූර්ව 543 විජය රජුගේ සමයේ පටන් ක්‍රිස්තු වර්ෂ 1406 බුවනෙකබාහු රජ සමය දක්වා කැපී පෙනෙයි. පසුකාලීනව මෙරට යටත් විජිතයක් බවට පත්වූ පසු අන්‍ය ජාතිකයන් උග්‍රවන විනාශයක් සිදුකර ඇත. 1811 කැලෑ අධිකාරි තනතුරැ දැරූ සැමුවෙල් ඩැනියෙල් ඉදිකිරීම් හා අපනයන සඳහා දැව සපයා ගැනීමට ඉවක් බවක් නොමැතිව වන විනාශයක් සිදුකර ඇති බව විද්වත්හු පෙන්වා දෙති.


එවන් තත්වයක් තුළ වර්තමානය වනවිට උද්ගතවී ඇති තත්වයන් පිළිබඳ සැලකීමේදී පොදු කටයුතු සඳහා යොදා ගැනීමට අවශ්‍ය ඉඩම් සපයා ගැනීම ගැටලුවක් බවට පත්වී ඇත. අතීතයේ සිට රජය යටතේ පැවති වනාන්තර ඉඩම් විවිධ ක්‍රම ඔස්සේ පෞද්ගලීකකරණය කිරීම තුළින් රටේ අත්‍යවශ්‍ය කටයුතු වලදී ඒ සදහා ඉඩම් නොමැතිකමින් විවිධ වූ ගැටලුවලට මුහුණදීමට සිදුවේ. රටේ පවතින විදුලි අර්බූදයට විසඳුම් ලෙස මුතුරාජවෙල ඉදිකිරීමට සැලසුම් කරමින් පවතින වායු බලාගාරයට පරිසරවේදීන්ගේ විරෝධය එල්ල වෙමින් පවතින්නේ එවන් තත්ත්වයක් තුළයි. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ රජයන්වල අවිධිමත් ක්‍රියා පටිපාටිය සහ නීති විරෝධී ගොඩකිරීම් නිසා මුතුරාජවෙල ක්‍රමක්‍රමයෙන් ක්ෂය වී යන බවයි.

වැසි වනාන්තර සුරකින්නන්ගේ සංගමයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා:

ශ්‍රී ලංකාවේ සුවිශේෂම පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල තෙත් බිම ඉතා ඉහළ ජෛව විවිධත්වයකට උරැමකම් කියන පරිසර පද්ධතියක්. ඒ තෙත්බිම හෙක්ටෙයාර 6300 ක පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව තිබෙනවා. ස්වභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN) ආයතනය මගින් සිදුකළ අධ්‍යනයකින් සත්ත්ව විශේෂ 209ක්, ශාක විශේෂ 194ක්, මත්ස්‍ය වර්ග 40ක්, උභයජීවී විශේෂ 14ක්, උරග විශේෂ 31 ක්, කුරුළු විශේෂ 102ක් හා සමනල් විශේෂ 48 ක් මෙහිදී හඳුනාගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ වාර්තා වන කඩොලාන විශේෂ 22න් 18ක්ම මෙහි තිබෙන බවද හඳුනාගෙන තිබෙනවා. එහෙම වටිනාකමක් සහිත මෙම තෙත් බිමෙහි වර්තමාන ප‍්‍රමාණය හෙක්ටෙයාර 3068ක් දක්වා අඩුවෙලා. ඒකට මූලික හේතුව තමයි අවිධිමත් සංවර්ධන කටයුතු සඳහා රජයේ දෙපාර්තමේන්තු මගින් තෙත් බිම ගොඩකිරීමත් විවිධ පුද්ගලයින් විසින් අනවසරයෙන් මෙම තෙත් බිම අත්පත් කරගැනීමත්. ඒ තත්ත්වය තුළ තමයි දැනට අභයභූමියක් ලෙස ගැසට් කර ඇති හෙක්ටෙයාර 1777 වහා පුළුල් කර සමස්ත මුතුරාජවෙල තෙත් බිම නිත්‍යනුකූලව ආරක්ෂා කිරීමට වහා පියවර ගත යුතු වුවත් මේ වනවිට විශාල වශයෙන් හානිකර ව්‍යාපෘති මෙම භූමිය තුළ ඉදිකිරීමට පිඹුරැපත් සකස් වෙමින් පවතින බවට වාර්තාවෙලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සුවිශේෂම පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල තෙත්බිමට එල්ල වන විවිධ තර්ජන හමුවේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉන්දියාවේ එන්.ටී.පී.සී. සමාගම සමඟ එක්ව ඉදිකිරීමට සූදානම් වන ස්වාභාවික ද්‍රව වායු බලාගාරයකට (LNG) අක්කර 100 ක භූමියක් මුතුරාජවෙලින් වෙන්කර ගන්න අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා පසුගිය 18 වැනිදා කැබිනට් හමුවේදි යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම LNG ව්‍යාපෘතිය මෙරට විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය එකක් වුණත් සඳහා මුතුරාජවෙල වැනි වටිනා පාරිසරික පද්ධතියක අක්කර 100ක් වැනි විශාල භූමියක් විනාශ කිරීම සාධාරණ නැහැ.

මොකද එමගින් සෘජුවම මුතුරාජවෙල මත යැපෙන දහස් ගණනක් ධීවර ප්‍රජාව අසරණ තත්වයකට පත්වීම මේ ආශ්‍රිතව බැඳුණු සංචාරක කර්මාන්තය අඩාල වීම වැනි තත්වයන් තුළ දස දහස් ජනයාගේ ජීවනෝපාය මාර්ග බිඳ වැටීම සිදුවෙනවා. ඒ වගේම කොළඹ හා අවට ප‍්‍රදේශ තුළ ගංවතුර පාලනයට හා නගරයේ උෂ්ණත්වය පාලනය කිරීමටද මුතුරාජවෙල මහත් පිටුවහලක් වෙනවා. 

ඒ තරම් වටිනා සම්පතක් වන මුතුරාජවෙල තෙත් බිම තුළ රාජ්‍ය හෝ පෞද්ගලික කිසිදු ව්‍යාපෘතියක් කිරීමට අවසර දීම නොකර එය අධිරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස නම් කළ යුතුයි. මෙම ව්‍යාපෘතිය සඳහා මුතුරාජවෙල තෙත් බිමෙන් ඉඩම් ලබා නොදෙන ලෙසත්, ඒ සඳහා පරිසර පද්ධතියට අවම බලපෑමක් එල්ල වන විකල්ප භූමි ප‍්‍රදේශයක් භාවිත කිරීමට කටයුතු කරන ලෙසත් දැනුවත් කරමින් වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විදිහට අපි ජනපති ඇතුළුව වගකිව යුතු ආයතනද ලිපි මගින් දැනුම්වත් කළා.

මුතුරාජවෙල තෙත් බිමේ විශාල ප‍්‍රදේශයක් ගොඩකිරීමට තැත්කිරීම පිළිබඳව පසුගිය මාර්තු මස නොයෙකුත් මාධ්‍ය ආයතන මගින් වාර්තා වූ පසු ඒ පිළිබඳව සොයා බැලීමට 2018 මාර්තු මස 22 දින ජනාධිපතිතුමන් සිදුකළ මුතුරාජවෙල නීරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මුතුරාජවෙල තෙත් බිමේ වටිනාකම පෙන්වා දෙමින් ඉදිරියේදී එය කිසිම හේතුවක් මත ගොඩ නොකරන ලෙස නියෝග කරන කළා. එහෙම තිබෙන කොට මේ පරිසර පද්ධතිය තුළ ව්‍යාපෘති සිදුකිරීමට යෝජනා කරන්නේ රාජ්‍ය නායාකයා වන ජනපතිතුමන්ගේ තීරණයත් හෑල්ලුවට ලක්කරමින්ද කියලා අහන්න වෙනවා. එබැවින් අනාගතය පිළිබඳ සිතා බලා මෙම යෝජනාව වහාම හකුලා ගැනීමට කටයුතු කරන්න කියලා අපි කියනවා.

මුතුරාජවෙල ඉදිකිරීමට සැලසුම් කරමින් පවතින බලාගාරය පිළිබඳ වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී මාධ්‍යයට අදහස් දැක්වීමට අකමැති වූ ඔහු පැවසුවේ තෝරාගෙන ඇති භූමිය වනජීවී කලාපයෙන් පිටත පවතින බවත් බලපෑමක් සිදුවුවත් නැතත් එම භූමිය බාරව සිටින මධ්‍යම පරිසර අධිකාරිය ඒ සඳහා තීරණයක් ගත යුතු බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වනජීවී නිලධාරියා, වායු බලාගාරය ඉල්ලා තිබෙන ඉඩම අයිතිය ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවටයි. මධ්‍යම පරිසර අධිකාරියත් එයට අයිති කියලා ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.

බලාගාරය සඳහා ගැසට් කරලා මායිම් සංශෝධනය කරලා අයින් කරන්න යනවා. ඒකෙන් කොටසක් සංස්කෘතික මධ්‍යස්ථානයකට ගොඩ කරලා තිබෙනවා. අපිට අයිති නැති වුණත් තෙත් බිම් කලාපයකට අයිති භූමියක්. පරිසරයට යම්කිසි බලපෑමක් සිදුවෙනවා. අපිට භූමිය අයිති නැතත් වෙන තැනක් සොයා ගන්න කියලා අපි කියලා තිබෙනවා. යැයි කීය.

මේ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා මෙසේ කීය.

ඔය කියන ප්‍රදේශය මධ්‍යම පරිසර අධිකාරියට අයිති ප්‍රදේශයක් තමයි. අපට තිබෙන ලොකු ගැටලුවක් වන බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස තමයි ඔය ව්‍යපෘතිය පටන් ගන්න යන්නෙ. මේකට පහසුම තැන තමයි මුතු රාජවෙල. වරායටත් කිට්ටුම ඉඩම මේක පාරිසරික තත්ත්වයන් තිබෙනවා ඒවා අවම කරගෙන කරන්න ඕනා.

අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා අවසරයක් දීලා තිබෙනවා. මේකට වෙන විකල්පයක් නැහැ. සංවර්ධනය යන වේගය නිසා ඉන්ධන ප්‍රශ්නය හැමෝටම  බලපානවා. රටේ සෑම කෙනාම විදුලි අර්බුදයට මුහුණ දෙනවා. විදුලි ගැටලුවට විසඳුම් ලෙස සාම්පූර් බලාගාරය හදන්න හැදුවා ඒකටත් ඉඩ ලැබුණේ නැහැ. මේ ව්‍යාපාතියෙන් පරිසර හානියක් සිදුවෙන්නේ නැහැ. නමුත් ඉදිකිරීමේදි යම් ඉඩම් ප්‍රමාණයක් ගොඩකරන්න වෙනවා.

එයට අදාළ වන සියලු ක්‍රියාකාරකම් පරිසර අධිකාරිය විදිහට අපි නිරීක්ෂණය කරනවා. මේ ඉඩම ගොඩකිරීමක් සිදුවන කොට අපි විමසීමෙන් සිටිනවා. කොළඹ, ජා ඇල, මීගමුව ප්‍රදේශවලින් ගලා එන ජලය බැසයාමට ගොඩකිරීම තුළින් බාධාවක් වෙන්නේ නැහැ.

මේ පිළිබඳ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාගෙන් විමසීමක් කිරීමට ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තද ඔහු ප්‍රතිචාර නොදැක්වීය.

එසේම මේ පිළිබඳ විදුලිබල හා පුනර්ජනනීය බලහක්ති අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතාගෙන්ද විමසීමක් කිරීමට ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගනිමින් ගත් උත්සාහයද අසාර්ථක විය.

රෝවන් පෙරේරා - පුත්තලම