2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

තේවත්තක සුවඳ දැනෙන දවුලගල Captain’s Bungalow’

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

පිළිමතලාව ආසන්නයේ පිහිටි දවුලගල සහ හියාරපිටිය කියන්නේ එතරම් ජනප්‍රිය සංචාරක ගමනාන්ත නොවේ. කඩුගන්නාව සහ බලන දුර්ගවලට අමතරව, පිළිමතලාවේ පිත්තල කැටයම්, ගඩලාදෙණිය, ලංකාතිලකය සහ ඇම්බැක්කේ හැරුණුවිට මේ ආසන්න ප්‍රදේශයේ වෙනත් ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ වන විට දවුලගල, හියාරපිටිය ප්‍රදේශය සොබා අසිරිය දකින්න එන සංචාරකයන්ගේ ප්‍රියතම තේරීමක් බවට පත්වෙමින් තිබෙනවා.

මේ අලුත් සංචාරක පිරිසට සේවා සපයන්න හියාරපිටිය තේ වත්ත ආසන්නයේ පිහිටා ඇති කදිම හෝටල් නවාතැනක් විදිහට ‘Captain’s Bungalow’ හඳුන්වන්න පුළුවන්. ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ මේ තේ වත්තේ බංගලාවත් ඒ තරම්ම පැරැණියි. මේ තේ වත්ත අයිති වන්නේ රඹුක්වැල්ල පරම්පරාවටයි. පිළිමතලාව හන්දියේ සිට කිලෝ මීටර පහක් දුරින් තමයි මේ සුන්දර නවාතැන පිහිටා තිබෙන්නේ. 

ලංකාතිලක විහාරය දෙසට හැරුණු අක්කර දෙකක තේ වත්තක් මැද තියෙන මේ බංගලාව මුහුදු මට්ටමේ සිට අඩි 1400ක් උසින් යුතුව ඉදිකර තිබෙනවා. 

අද වෙද්දී මේ හෝටලයේ හිමිකරැවා වන්නේ ශ්‍රීලංකන් ගුවන් නියමු නිමල් රඹුක්වැල්ල මහතාය. මහනුවර අතීත පරම්පරාවක් වන ඔහුගේ පවුල රජ කාලයේදී දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වයත් දරා තිබෙනවා. 

‘Captain’s Bungalow’ විශාල කාමර තුනකින් යුත් එක් නිවස්නයක්. එහි අට දෙනකුට පහසුවෙන් නවාතැන් ගන්න පුළුවන්. ඊට අමතරව කුඩා ආහාර ගැනීමේ ස්ථානයක්, පුස්තකාලයක්, විසිත්ත කාමරයක් වගේම විවේකයෙන් කාලය ගත කළ හැකි විශාල උද්‍යානයක් ඊට අඩංගුයි. මෙම ස්ථානයේ භාරකරුවා විදිහට සිටින තැනැත්තා ඉතාමත් රසවත් විදිහට දේශීය ආහාර පිළියෙල කරදෙනවා. ඒ වගේම බාබකිව් වුණත් පිළියෙල කරදෙන්න හෝටලයේ පිරිස පහසුකම් සපයනවා.

මේ හෝටලයේ මුල් තැනක් ලැබෙන්නේ ලාංකික ගම්බද කොටේජ් අත්දැකීමක් සංචාරකයාට සමීප කරවීමටයි. විශේෂයෙන්ම අවට පරිසරයේ සුන්දරත්වය මෙහි රැඳෙන සංචාරකයන්ව අවට ඇවිද්දවීමටත් සමත්.

ලංකාතිලකය, ගඩලාදෙණිය, ඇම්බැක්කේ හැරුණාම, දුම්රිය කෞතුකාගාරය, කිරිවවුල අත්කම් ගම්මානය, මහනුවර නගරය, උද්භිද උද්‍යානය, ලංකා තේ කෞතුකාගාරය, පින්නවල වගේම බතලේගල කන්දත් බොහොම ආසන්නයෙන් පිහිටා තිබෙනවා. ඒ වගේම භාවනා කරන්නන්ට, ලේඛකයන්ට වගේ අයටත් මේ නවාතැන හරි අපූරුවට ගැලපෙනවා. 

- සනත් වීරසූරිය