2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

වැලිගම නම ලෝකෙට ගෙන ගිය වැලිගම මැරියට් රෙසෝට් ඇන්ඩ් ස්පා

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 150

රතු පැහැ ගල්පරවලින් පිරුණු, රිටි පන්නවලින් ගැවසුණු වැලිගම මුහුදු තීරය ලොව පුරා සංචාරකයන්ගේ ආදරය ආකර්ෂණය දිනාගත් මුහුදු තීරයක් බවට කිසිම සැකයක් නැහැ. කොහොම නමුත් වැලිගමට ජාත්‍යන්තර මට්ටම උදාවුණේ වැලිගම මැරියට් රෙසෝර්ට් ඇන්ඩ් ස්පා හෝටලය පැමිණීමෙන් පසු යැයි කීම නිවැරදියි.

මේ හෝටලය ඉදිකර තිබෙන්නේ වැලිගම මුහුදු තීරයට කිසිම ආගන්තුක බවකින් තොරව ඒ පරිසරයටම අනුගත වන ආකාරයට වීමත් විශේෂත්වයක්. මීට වසරකට ඉහතදී විවෘත වුණු මැරියට් හෝටලය පසුගියදා තමන්ගේ පළමු සංවත්සරයත් සමරනු ලැබුවා. 

වැලිගම මැරියට් සතුව අලංකාර සුඛෝපභෝගී කාමර 200ක් පවතිනවා. ඒ අතර වැලිගම මුහුදු තීරයේ දැකුම්කලු දර්ශනයක් රැගත් Suites කාමර 10කුත් තිබෙනවා. මේ කාමරවල අභ්‍යන්තර අලංකරණය වුණත් දේශීයත්වයටත් මුහුදුබඩ පරිසරයටත් ඔබින ලෙස ඉදිරිපත් කර තිබීම කැපීපෙනෙනවා. 

හෝටලයේ සෑම කාමරයකටම මුහුදේ දර්ශනය හිමියි. කින්ග් සයිස් නිදන ඇඳන් හෝ ද්විත්ව නිදන ඇඳන් ලෙස පිරිනැමෙන කාමරවල බාත් ටබ්, අඟල් 55 රූපවාහිනියක්, වයි ෆයි, සඳලුතලයක් වගේ පහසුකම් රැසක් අඩංගුයි. 

දවස පුරා විවෘතව තිබෙන Weligama Kitchen අවන්හලේදී ලෝකයේ විවිධ කලාපවලට අයත් ආහාර වර්ග රැසක් එක මොහොතක භුක්ති විඳින්න පුළුවන්. සම්ප්‍රදායික දේශීය ආහාර වට්ටෝරුවක සිට ටස්කන්, කැන්ටනීසියානු, ඉන්දියානු ආහාර වගේ බොහෝ කෑම රටා මෙහිදී රසවිඳිය හැකියි. The Big Fish කියන්නේ යම් විදිහකට පෞද්ගලික මට්ටමේ ආහාර අත්දැකීමක් සමීප කරන තැනක්. ඒ නිසාම ටිකක් මිල ගණන් ඉහළ මේ අවන්හලේදී ප්‍රණීත සහ නැවුම් මුහුදු මාළු වර්ග පිළියෙල කෙරෙනවා. Tides කියන්නේ බීම වර්ග පානයටත් ස්නැක් වෙනුවෙනුත් වෙන්වුණු තැනක්. ‘Mirissa Baking Company’ අවන්හලේදී රසවත් අතුරුපස සහ ස්නැක් වර්ගත්, කෝපි, පලතුරු යුෂ සහ තවත් විශේෂ බීම වර්ගත් පිරිනැමෙනවා. ‘Surf’s Up’ නමින් හැඳින්වෙන පූල් බාර් එකේදී කොක්ටේල් වර්ග සහ වෙනත් පාන ලබාගන්න පුළුවන්. 

වැලිගම් මැරියට් හෝටලයට යන ඔබට kayaking, snorkelling සහ boating වගේ ජලාශ්‍රිත ක්‍රීඩා අත්දැකීම් විඳින්න පුළුවන් වගේම ගාල්ල කොටුව, කොග්ගල ගඟ, කුරුඳු ගම්මානය, හඳුනුගොඩ ලොව එකම සුදු තේ වත්ත වැනි ස්ථාන කරා බොහොම පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්.

♦ සනත් වීරසූරිය
සේයාරූ - නිර්මල ධනංජය