2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ඒ කාලේ ඉඳන් රට ගිය ඇත්තෝ

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 287

කිසිවකුට හෝ මෙරට හැර යාම ගැන මුලින්ම අදහසක් හිතට ආවේ කුඩා කාලයේ අප සමඟ සෙල්ලම් කළ ජෙරමිලා, රොඩ්නිගා, රොයිස්ටන්ලා, ඕලාෆ්ලා අපෙන් ඒ කාලයේදීම වෙන්වී ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවිටදීය. වෙන්ව යද්දී ඕ සමහරු අප හා එකතු වී සෙල්ලම් කළ ළමයින් කැඳවා කුඩා සාදයක් පැවැත්වූවෝය. එසේ සෙල්ලම් වයසේදීම අප හැරගිය ළමෝ බර්ගර් ජාතිකයෝ වූහ. හැට ගණන්වල අග භාගයේදී සහ හැත්තෑ ගණන්වල මුලදී කොළඹ අවට ප්‍රදේශවල වාසය කළ බොහෝ බර්ගර් පවුල්වල උදවිය ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා ලැබූ අවසරයෙන් ප්‍රයෝජන ගෙන එහි ගියෝය.

බර්ගර් නොවන සිංහල දමිළ අය අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යන්නට ගත්තේ පසු කාලීනවය.

කෙසේ වුව ද 2016 වනවිට ඕස්ට්‍රේලියාවේ නිත්‍ය ලෙස පදිංචිව ඉන්නා ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 109853ක් ලෙස වාර්තාවල සඳහන් වේ. 

ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාව බලා යනවා අපට පෙනෙන්නට ගත්තේ 1966 පමණ පටන් වුවද ශ්‍රී ලාංකිකයන් එරටට සංක්‍රමණය වීමේ ඉතිහාසය 1816 දක්වා දිවෙන බව පෙනී යයි.

රෙජිමේන්තුවක පාගමන් යන බෑන්ඩ් කණ්ඩායමක ප්‍රධානියකු වූ (Drum Major) විලියම් ඔඩීන් (William O’Dean) යන මැලේ ජාතිකයා ඔහුගේ සිංහල භාර්යාව වන (Eve) (ඊව්) සමඟ එම වසරේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව වාර්තා වේ.

තවත් අයකු උක් වගා කම්කරුවකු ලෙස 1870 දකුණු ඕස්ට්‍රේලියාවට යාමෙන් අනතුරුව 1882 ක්වීන්ස්ලන්ඩ්හි මැකේ වෙත 500 දෙනෙක් කොළඹින් පිටත්ව ගිය බව සඳහන්ය. මේ අය ගොස් ඇත්තේ ඇබොරිජින් ජනයා අතරටයි. ඒ උක් වගා කම්කරුවන් ලෙසය.

අප කුඩා කාලයේදී බර්ගර් ජාතිකයන් පමණක් ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ ඒ වනවිට එරටේ බලපැවැත්වුණු ධවල ප්‍රතිපත්තිය නිසා බව පසුව අපි දැනගතිමු. ඕස්ට්‍රේලියාවේ ධවල ප්‍රතිපත්තිය අනුගමනය කොට ඇත්තේ දෙවැනි ලෝක මහා යුද්ධයෙන් අනතුරුවයි. බර්ගර් ජාතිකයන් යුරෝපීය සම්භවයක් ඇති අය ලෙස පිළිගැනීම නිසා ඔවුනට එකලම ඕස්ට්‍රේලියාවේ දොරටු විවර විය. බර්ගර් ජනයාගේ යුරෝපා සම්භවය විවිධය. ඇතැම්හු ප්‍රංශ සම්භවයක් ඇත්තෝය. ඇතැම්හු ඕලන්ද සම්භවයක් ඇත්තෝ වූහ. එසේ වී ඇත්තේ විවිධ ශිල්පීය කටයුතු සඳහා විවිධ සම්භව ඇති කාර්මිකයන් යටත් විජිත සමයේ මෙරටට ගෙන්වූ නිසාය. පොදුවේ ඔවුන් හැඳින්වූයේ බර්ගර් ජාතිකයන් ලෙසයි. ඒ අය ඉංග්‍රීසි බස භාවිතා කළේ ද විවිධ ආකාරයටයි. ඇතැම් බර්ගර් පවුල්වල උදවිය ඉංග්‍රීසි කතා කළේ ව්‍යාකරණානුකූලව නොවේ. සිංහල උෟරුවටය. ඔවුන් ඒ තරමටම හොඳින් සිංහල ජනයා සමඟ මිශ්‍රව දිවි ගෙවූහ.

මේ ඊට උදාහරණයකි. “ඇල්මයිනා ටොප් ජෑම් බොට්ල් හෑව්. මමා ආස්ක් ටු ටේක් හාෆ් හාෆ්”

ඉංග්‍රීසි භාෂාව අමතක වන තරමටම සිංහල කතා කරන බර්ගර් මිත්‍රයෝ ද එදා අප අතර සිටියහ.

සංක්‍රමණ සඳහා පැනවූ නීති ඕස්ට්‍රේලියාවේ ලිහිල් වෙද්දී ධවල ප්‍රතිපත්තිය ද කෙමෙන් දුරුවී ගොස්ය. 1970දී කොළඹ ක්‍රමය ව්‍යාපෘතිය යටතේ සිංහල, බෞද්ධ හා ක්‍රිස්තියානි ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා මෙරටින් පිටව ගියහ. ශ්‍රී ලාංකිකයන් බහුල වශයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ 1973න් පසුවයි.

දැන් දැන් බහුල ලෙස අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යයන් ලෙස ඕස්ට්‍රේලියාවට තරුණ පිරිස් පිටත්ව යති. මෑත කාලයේ එහි ගිය අපේ හිතවත් උදවිය සන්නිවේදන තාක්ෂණයේ පිහිටෙන් මනා ලෙස අප සමඟ සම්බන්ධතා පවත්වති. ඔවුන් එහි ජීවත් වන ආකාරය පිළිබඳ තතු නිතර ඕස්ට්‍රේලියා යන එන අයගෙන් දැන් අපට දැනගන්නට හැකිවේ. එහෙත් අප සමඟ කෙළිදෙලින් ගත කළ බර්ගර් මිතුරන් කොතැන කොහේ හෝ සිටී දැයි දැන් අපි නොදනිමු. ඒ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන්නට තරම් සන්නිවේදන පහසුකම් එවකට නොතිබීම හේතුවෙනි. සිංහල කතා කළ ද එහි ගිය බර්ගර් ළමුන්ට සිංහලෙන් ලිපි ලිවීමේ පුරුද්දක් නොතිබුණි. ඉංග්‍රීසියෙන් ලිපියක් ලිවීමේ හැකියාවක් හෝ නිපුණතාවක් කුඩා වියේදී අපට නොතිබුණි. එම නිසා ඔවුන් හා ලිපි ගනුදෙනුවක් නොවීය. දැන් ඔවුන් කොහේ ඇත්තේ දැයි වරෙක සිතේ.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන්ගේ උද්‍යෝගය අපට දැනෙන්නේ අපේ ක්‍රිකට් පිල එරටේදී ජාත්‍යන්තර තරගයක ක්‍රීඩා කරනු රූපවාහිනියෙන් දකින විටයි. ඔවුන් හදවත මෙහි තබා ඕස්ට්‍රේලියාවට ශරීරය පමණක් රැගෙන ගොස් ඇති සෙයක් අපට දැනේ. එහි ඉන්න ශ්‍රී ලාංකිකයන් “ඔසී රටේ අපේ කතා” යනුවෙන් පොතක් එළිදක්වා තිබීම සතුටට කරුණකි. එහෙත් අප රටේ සිටි දක්ෂ නාට්‍ය ශිල්පීන්, ගායන ශිල්පීන් මෙරට කලාව අතහැර දමා එරට පදිංචියට ගොස් සිටීම සිතට කනගාටුව දනවන්නකි. අපේ ප්‍රජාවක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටීම නිසා මෙරට නාට්‍ය කණ්ඩායම්වලට එරට නාට්‍ය දර්ශන පවත්වන්නට ලැබීම, ගායක ගායිකාවන්ට එරට සංදර්ශනවලට සහභාගී වන්නට ඉඩ ලැබීම නම් සතුටට කරුණකි.

අපේ ජීවිත කාලය තුළ මෙරට සමාජ ජීවිතයට බල පෑ විශාලතම සංක්‍රමණය වූයේ මැදපෙරදිග රැකියා සඳහා ශ්‍රී ලාංකික ජනයා එහි යාමය. ඕස්ට්‍රේලියාවට යන අය ගියේ අධ්‍යාපනය ලැබීම සඳහා හෝ පදිංචි වීම සඳහාය. එසේ නැතහොත් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පදිංචි වීමටය. මෙරටින් ජනයා මැදපෙරදිග ගියේ රැකියාව සඳහා මිස පදිංචිය සඳහා නොවේ.

නවසිය හැත්තෑ හයේ පමණ ඇරැඹි මෙම මැදපෙරදිග රැකියා සඳහා සංක්‍රමණය වීමේ ප්‍රතිඵල මුලින්ම අපට දැනෙන්නට ගත්තේ ඒ අයගේ තිබුණු ගෙවල් නවීකරණයට ලක් වෙද්දීය. හැත්තෑ හතේ විවෘත ආර්ථිකය පැමිණි පසු සිමෙන්ති අලෙවිය සඳහා පැවති සීමාකරණයන් ඉවත් වූයේය. මැදපෙරදිග ගිය අය ඉඩම් මිලදී ගත්තේය. ඇතැම්හු තමන් ඉන්නා නිවස අලුත්වැඩියා කළෝය. ඒ අයගේ නිවෙස්වලින් එවකට අලුත් රේඩියෝ මෝස්තරයක් වූ ස්පීකර් දෙකේ කැසට් යන්ත්‍රවල හඬ මතුවන්නට විය.

මුල් කාලයේදී පෙදරේරුවන්, කාර්මික ශිල්පීන්, වඩු කාර්මිකයන් බොහෝ සෙයින් මැදපෙරදිගට සංක්‍රමණය වූයේ ඔවුන්ට මෙරටදී උපයා ගන්නවාට වඩා බොහෝ සෙයින් වැඩි වැටුපක් එහිදී ලැබුණු නිසාය. ඒ හේතුවෙන් ඔවුන් හට මෙරටදී ගෙවිය යුතු ගාස්තුව ද බොහෝ සෙයින් ඉහළ ගියේය. ගෘහ සේවිකාවන් මැදපෙරදිග යාම ගැන වෙනම කතා කළ යුතු දෑ බොහෝය. මැදපෙරදිග ඇඳුම් මෝස්තර වැඩිපුරම මෙරටට ගෙන ආවේ කාන්තාවන්ය.

මැදපෙරදිග සංක්‍රමණය වීමේ ප්‍රතිඵල නාගරික, අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලට නොයෙක් ආකාරයෙන් දැනෙන්නට විය. මෙරට ආර්ථික ජීවිතයට එක් ආකාරයකිනුත් සමාජ ජීවිතයට තවත් ආකාරයකිනුත් මැදපෙරදිගට රැකියා සඳහා සංක්‍රමණය වීම බලපෑවේය.

සමාජ ආගමනයටත්, සමාජ ව්‍යසනයටත් බලපෑම් කරමින් එය නගර ගම් දනව් පුරා පැතිර යනු පෙනුණේය.
මේ වනවිට මිලියන 1.7කට ආසන්න ජන සංඛ්‍යාවක් මැදපෙරදිග රැකියාවල යෙදී සිටිති. එයින් හය ලක්ෂයක් ඉන්නේ ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන්ය. මේ නිසාම සෞදි අරාබි ජනයා අප රටට “ගෘහ සේවිකාවන් ඉන්නා රට” යැයි කියනා බව අන්තර්ජාලයේ ද සඳහන් වේ.

ගෘහ සේවයේ යෙදී ඉන්නා කාන්තාවන්ගෙන් 15 – 20% (120,000ක් පමණ) වාර්ෂිකව සිය සේවා කාලය සම්පූර්ණ වන්නට පෙර ආපසු එති. එසේ හැරී පැමිණීම්වලට හේතු වී ඇත්තේ අපචාරවලට මුහුණ පෑම, වැටුප් නොගෙවීම, නීති විරෝධී මානව ගනුදෙනු හා ගණිකා වෘත්තියයි. දූෂණය වීම නිසා සිය ගණනක් ගර්භනීභාවයට පත්ව සිටියහ. රටේ ව්‍යවස්ථාමය වෙනස්කම් මෑතකදී ඇතිවනතුරුම එසේ ගර්භනීභාවයට පත් කාන්තාවන් ඇතමකුගේ දරුවන් රටක් නැති දරුවන් ලෙස ගණන් ගන්නට සිදුවිය.

මැදපෙරදිග රැකියා සඳහා සංක්‍රමණය වීම නිසා සිදු වූ සමාජ විපර්යාසවල එක් එක් පැතිකඩ අපේ රටේ ටෙලි නාට්‍ය රචකයෝ, ගීත රචකයෝ, නාට්‍ය රචකයෝ මැනවින් වටහාගෙන සිය නිර්මාණ ඉදිරිපත් කළෝය. මෙරට රසිකයෝ එම නිර්මාණ වඩාත් හොඳින් රස වින්දේ ඒවාගේ එන මානව අත්දැකීම් අපට ඒ වනවිට බෙහෙවින් සමීප වී තිබුණ නිසාය.
සෝමවීර සේනානයක ශූරීන් රචනා කළ (පළිඟු මැණිකේ) ටෙලි නාට්‍යය මේ අතරින් ජනාදරයට පත් වූ එකකි. ඩුබායිවල රැකියාව කර පැමිණෙන සූරසේනගේ චරිතය ගමේ හුරුපුරුදු චර්යාවට මුදලෙන් සහ ඔහුගේ හැසිරීම් රටාවෙන් කරන බලපෑම එහි මනාව නිරූපණය විය. මෙහිදී විශේෂත්වය වූයේ සූරසේනගේ චරිතය කෙරේ වෛරයක් ගොඩනැගෙන අයුරින් එය රචනා නොකිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේක්ෂකයෝ සූරසේනගේ චරිතයට උපේක්ෂාවෙන් සහ උපහාසයෙන් ආදරය කළහ.

ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන්ගේ පවුල්වල මෙරට ජීවිතය අවුල් සහගත වීම සුලභව දක්නට ලැබුණේය. බොහෝ පිරිමින් සිය භාර්යාවන් එවන මුදල්වලින් කා බී ප්‍රීති වූවෝය. අම්මා නැති ගෙවල්වල මත්පැන්වලට ඇබ්බැහි වූ තාත්තලා නිසා දරුවන් දූෂණය වූ අවස්ථා ද විය. ඇතැම් විට බීමත් තාත්තලාගේ යහළුවන් අතින් දැරියෝ දූෂණය වූහ.

1985 හොඳම නාට්‍ය ලෙස යෞවන සම්මානය දිනාගත් මංගල සේනානායකගේ “කිරට අඬන සප්පයෝ” නාට්‍යයේ ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන්ගේ පවුල්වලට සිදු වූ හදිය සරලව විග්‍රහ කොට තිබිණි. මැදපෙරදිග ගිය කාන්තාව සිතා සිටියේ ස්වාමියා තමා එවන මුදල්වලින් ගේ හදනවා කියාය. එහෙත් ඔහු කළේ එම මුදලින් මත්පැන් බොන එකය. කිරට අඬන සප්පයෝ නාට්‍යයේ පියා තම නාස්තිකාර ජීවිතය ගීයකින් කීවේ මෙසේය.

“මාගරට් මගේ ඩුබායි ගියා
හිත මගෙ වාවන්න කියා
ඒකයි මං බොන්නෙ මෙයා
බඩු මුට්ටුත් ඉහළ ගියා
ඉඩමුත් ගණන් ගියා
ඒකයි මං බොන්නෙ මෙයා”

සෞදි, කටාර්, ලෙබනන්, කුවේට්, එක්සත් අරාබි එමීර්.. මේ කොහේ ගියත් මැදපෙරදිග යෑමට පොදු ජනයා කීවේ ඩුබායි යනවා කියාය. 2009 වසරේ උපයා තිබූ මුළු විදේශ විනිමය ප්‍රමාණයන් 47%ක් පමණ උපයා තිබුණේ ඔවුන්ය. එයින් 51%ක් කාන්තාවන්ය. එයිනුත් 89%ක් කර තිබුණේ ගෘහ සේවා රැකියාවයි.

මැදපෙරදිග රැකියාවල නිරත වී ජීවිත සාර්ථක කරගත් අය බහුලය. වෙහෙස මහන්සි වී හරි හම්බකරගත් මුදල් ප්‍රඥාවන්ත ලෙස යෙදවූ අය ජය ගත්තෝය. ඇතැම් විට අතමිට සරු කරගෙන මෙරටට පැමිණියේ අතමිට හිඟව තැන් තැන්වල රස්තියාදු වෙමින් සිටි පුද්ගලයා නොවේ. හොඳ පෞරුෂයෙන් හෙබි අයෙකි. නෑ හිත මිතුරන් ද ඔවුන් වෙත හෙළුවේ ගෞරවනීය බැල්මකි. මේ බව අපූරුවට එම්. එස්. ප්‍රනාන්දු “මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා” ගීයෙන් කීවේය. එහි මැද එන ගී ඛණ්ඩයෙන් මෙරට සමාජයේ එක් අතකින් අලුතෙන් මුදල් හම්බකරගෙන පැමිණි තරුණයා දෙස බැලූ අයුරු නිරූපිතය.

“එරන්දතිය මට කැමැත්ත දුන්නෑ
අම්ම තාත්තලා මූණ බැලුවෙ නෑ
දැන්නම් බලනවා දුක සැප අහනවා
මොකද්ද වෙනසක් සිදුවෙල තියෙනවා”

ඉතාලිය වෙත සංක්‍රමණය වූ අයගේ පවුල් ජීවිතවල සිදුවී තිබුණේ ඉහත කී ඕස්ට්‍රේලියා හා මැදපෙරදිග සංක්‍රමණවලට වඩා වෙනස් ස්වරූපයේ වෙනසකි. මීගමුවේ සිට හලාවත දක්වා අලුතෙන් ඉදිවී ඇති මන්දිරවලින් ඉතාලිය වෙත සංක්‍රමණය වීමේ කතාවේ සොඳුරු පැතිකඩක් නිරෑපණය වේ.

♦ සමන් පුෂ්ප ලියනගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00