2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

දරුවන් ඉහළට ඔසවා තබන ග්‍රහයෝග

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 325

දරුවකුට අධ්‍යාපනය ලබා දෙන්නට අද දෙමාපියන් දක්වන්නේ දැඩි උනන්දුවකි. තමන් නොකා නොබී හෝ දරුවන්ට උගන්වන්නට ඔවුහු දැඩි ලෙස මහන්සි වෙති. උගත් දරුවකු පවුලකට ඇති වුවහොත් ඔහු පවුල ගොඩ ගන්නවා ඇතැයි සලකන අය බොහෝය. අධ්‍යාපනයට වියදම් කරන මුදල අපතේ නොයන අතර එය අනාගත ආයෝජනයක් ලෙස සලකා කටයුතු කරන අය ද එමටය. එසේම අද සමාජයේ කොතරම් මුදල් තිබුණත් වැඩියෙන් සලකන්නේ උගත්කමටය. තැනකට ගිය විට උගත් අය කැපී පෙනේ. මේ නිසා උගතා සැමවිටම කාගෙත් පිළිගැනීමට පාත්‍ර වේ. තම දරුවාට උසස් අධ්‍යාපනයක් ලබාදීම සඳහා දෙමාපියන් නොකරන දෙයක් නැති තරම්ය.

එසේ වුවද උපදින සෑම දරුවාටම ඉහළට ඉගෙන ගන්න බැරිය. මාපියන් කොතරම් උත්සාහ කළත්, මුදල් වියදම් කළත් සියල්ල වතුරේ යයි. අන්තිමට ඔවුන්ට සිද්ධ වෙන්නේ සියලු බලාපොරොත්තු ඉවත දමා සුසුම්ලන්නටය. ඇතැම් දරුවන්ට ඉගෙන ගන්නට හැකිවන්නේ ද තවත් කෙනකුට කොතරම් උත්සාහ කළත් එය කළ නොහැකි වන්නේ ඇයි ද යන්න සලකා බැලිය යුතුය.

මේ පිළිබඳ දරුවාගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන් පිහිටා තිබෙන අයුරු නිරීක්ෂණය කිරීම වැදගත් වේ. එවිට හේතුව අනාවරණය වෙයි. ඔබේ දරුවාගේ ජන්ම පත්‍රයේ සඳහන්ව ඇති ලග්නයට අධිපතියා මෙන්ම ලග්නයේ සිටින ග්‍රහයා පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. එසේම ලග්නයේ කිසිම ග්‍රහයකු නැතිනම් ලග්නාධිපතියා සිටින භාවය ගැන ද සැලකිලිමත් වීම වැදගත්ය.

එසේම දරුවාගේ කේන්ද්‍රයේ පස්වැන්නේ අධිපතියා එම භාවයෙහිම හෝ වෙනත් භාවයක තැන්පත් වී දුර්වලයන් ද බල සහිත වීද රහිත වීද යන්න ද සොයා බැලීම අවශ්‍ය වේ. ඒ අතරම පස්වැන්නේ වෙනත් ග්‍රහයෙක් හෝ ග්‍රහ සංයෝගයක් යෙදී තිබේ නම් එය අධ්‍යාපනයට කෙසේ බලපායිද යන්න විශේෂයෙන් සොයා බැලීම වැදගත්ය. ග්‍රහ මණ්ඩලයේ සෞම්‍ය ග්‍රහයෙක් නොසිට වෙනත් පාපී දුෂ්ඨ, කෘෘර ග්‍රහයන් පෙර කරැමයකට හෝ පස්වැන්නේ යෙදේ නම් දරුවාගේ අධ්‍යාපනයට කණකොකා හැඬීම සිදුවනු ඇත. දරුවාගේ අධ්‍යාපනය මෙන්ම ලෞකික ජීවිතය ද අකාලයේ විනාශ වී යාමට ඉඩ ඇති නිසා ඊට පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. දරුවා ගැන නිරතුරුවම දෙමාපිය අවධානය යොමු විය යුතු අතර ඔහුගේ හැසිරීම ඔහු ඇසුරු කරන මිත්‍රයන් ආදීන් ගැන ද සොයා බැලීම වැදගත් වේ.

ජන්ම පත්‍රයේ නවවැන්න අධ්‍යාපන ගැන සැලකීමේදී ඉතාම වැදගත් වෙයි. නවවැන්න යනු පෙර පින් මහිමය නිසා දරුවාගේ අධ්‍යාපන කටයුතු සහ ඉදිරි ජීවිතය හසුරුවන භාවය වේ. මෙය හොඳ පිහිටීමක් වන අතර ඒ අනුව ඔහුගේ අධ්‍යාපනය දියුණුවට පාත්‍ර වේ. අත ගසන දේ හරියයි. විභාග සමත් වෙයි. නවවැන්න සෞම්‍ය ඥානකාරක ග්‍රහයකුට හිමිව එම භාවයේම යෙදුණේ නම් ඉතා උසස් ලෙස අධ්‍යාපනය නිමකර ජීවිතය යහපත් තත්ත්වයට පත්කර ගනී. උසස් රැකියා ලාභ ලබයි. සමාජයේ ගෞරවයට පාත්‍ර වනු ඇත.

නවවැන්න අධිපතියා ගුරු, බුධ යන ග්‍රහ දෙපළගෙන් එක් අයකු වූයේ නම් හෝ නවවැන්නේ හෝ පස්වැන්නේ උපතින් යෙදුණේ නම් උසස් අධ්‍යාපනයට පය තබන දරුවකු වනවා ඇත. නවවැන්න අධිපතියා සෙනසුරැ වී බුධ සමඟ පස්වැන්නේ උපතින් යෙදුණේනම් වෛද්‍ය වෘත්තියට අදාළ අධ්‍යාපනයක් ලබාගැනීමට වාසනාව ලබයි. පස්වැන්න අධිපතියා ගුරැ බවට පත්ව නවවැන්නේදී බුධ සමඟ සංයෝග වූයේ නම් උසස් තාක්ෂණය, ඉංජිනේරැ විද්‍යාව ආදියට යොමු කරන දරුවකු වේ.

නවවැන්න අධිපතියා ගුරු, බුධ හෝ සිකුරු යන ග්‍රහයකු වී දොළොස්වැන්නේ දුර්වලව යෙදී රාහු නවවැන්නේ උපතින් යෙදුණේ නම් එම දරුවාගේ අධ්‍යාපනයට බාධා එල්ල වේ. කොතරම් උත්සාහ කළද අපේක්ෂා ඉටුකර ගත නොහැකි වේ. මාපියන් සතු මිල මුල් අධික වශයෙන් වියදම් කරන නමුත් නියම ප්‍රතිඵල ලබාගැනීමට දුෂ්කර වෙයි.

නවවැන්න අධිපතියා කුජ වී ගුරු සමඟ නවවැන්නේ යෙදුණේ ද ඒ දරුවා ළමා කාලයේ සිටම අධ්‍යාපනයට හපන්කම් දක්වයි. තර්කානුකූල අදහස්වලින් යුක්ත ඔහු අධ්‍යාපනයේ ඉදිරියට ගොස් මතු ප්‍රකට නීතිඥයකු, නීතිවේදියකු වනවා ඇත. එයින් උපරිමයට යයි. පස්වැන්නේ රවි, බුධ ග්‍රහ සංයෝගය උපතින් ලද කෙනකු නම් ඔහු උසස් අධ්‍යාපනය අවසන් කර නීතීඥ, ඉංජිනේරු, වෛද්‍ය ආදී ප්‍රකට වෘත්තීන්වල නිපුනයකු වී ඉහළම ස්ථානයක වැජඹේ.

දරුවකුගේ ජන්ම පත්‍රයේ තුන්වැන්න ද ඉතා වැදගත් වේ. තුන්වැන්න බලවත් වීම දියුණුවට හේතුවනවා ඇත. දරුවාගේ උනන්දුව, හැකියාව, වික්‍රමය කියාපාන තුන්වැන්නට රාහු, සෙනසුරු, රවි, බුධ යන ග්‍රහයන් පැමිණීම උසස් ප්‍රතිඵල ගෙනදෙන්නකි. යම් ජන්ම පත්‍රයට ලග්නයේ පස්වැන්න හා නවවැන්න සුබ ග්‍රහයන් නිසා බලවත් වී තුන්වැන්නේ රාහු, සෙනසුරු, රවි, බුධ ග්‍රහයන් යෙදුණේ නම් ඔහු අධ්‍යාපනයෙන් ඉතා උසස් ප්‍රතිඵල හිමිකරගෙන ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසිද්ධියක් ලැබීමට හේතුවන බව පැවසිය යුතුය. එවැනි සුබ යෝගයක් ලැබෙන්නේ බොහෝ කලාතුරකින් විය හැකිය.

අධ්‍යාපනය ගැන සැලකීමේදී කේන්ද්‍රයේ දසවැන්න ගැන ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. මෙහි රවි, බුධ යෝගයක් යෙදුණු විට ඔහු සාර්ථක අධ්‍යාපනයක් අවසන් කර පිළිගත් ඉහළ රැකියාවකට යනු ඇත. රවි, කුජ, බුධ දසවැන්නේ යෙදී ගුරු පස්වැන්නේ යෙදුණේ නම් ඒ දරුවා සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා පිරිසක් පාලනය කරන බලවත් ආරක්ෂක නිලධාරියකු වෙයි. යුද හමුදාව, පොලීසිය ආදී ක්ෂේත්‍රවලට අවතීර්ණ වන හෝ ප්‍රායෝගික නිපුණතාවයෙන් ප්‍රවීණ බවට පත්ව ඉහළ තනතුරැවලට යාමට ඇති ඉඩ වැඩි කරගනී.

මේ අනුව පෙනී යන්නේ අධ්‍යාපනය සඳහා ජන්ම කේන්ද්‍රයේ යහපත් ග්‍රහයන් පිහිටීම ඉතාම වැදගත් වන බවය. යම් දරුවකුගේ කේන්ද්‍රය සකස් කරන විටම ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකුට ඔහුගේ අනාගතය පිළිබඳ අනාවැකි පැවසීමට අපහසු නොවේ.

 සුරගුරු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00