2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

මැති ඇමැති වැටුප වැඩිකරලා දෙමුද?

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 102

ලෝකයේ දියුණු රටවල බොහෝ මහජන නියෝජිතයන් සිය රටවැසියන්ගේ යහපත උදෙසා බොහෝ පරිත්‍යාග කරති. මහජන ව්‍යාපෘතීන් සිය ගණනක් සාර්ථකව ඉටුකර මහජන අයිතියට පත්කරනා අයුරු විවිධ මාධ්‍යයන් ඔස්සේ අපි දැක ඇත්තෙමු. තම වැටුපෙන් කොටසක් මහජන සුභසාධනය සඳහා යොදවන මන්ත්‍රීවරුද එම රටවල කොතෙකුත් සිටිති. දියුණු රටවල දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ ඒ අයුරිනි. එහෙත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය, පාකිස්තානය, නේපාලය වැනි රටවල දේශපාලනය ඊට වඩා වෙනස්ය. මෙම රටවල ඇතැම් මහජන නියෝජිතයන් බලයට පත්වන්නේ තමන්ගේ බඩ, කට සහ පවුල තරකර ගැනීමටය. අප රටෙහිද ඇතැම් මැති ඇමැතිවරුන්ගේ කෙරුවාවන් දෙස බලනවිට එම තත්ත්වය පෙනී යයි.

මේ දිනවල මහජනයා කෝප ගන්වන හා ඔවුන්ගේ රුධිර පීඩනය ඉහළ නංවන මාතෘකාවක් සමාජය තුළ ඇතිවී තිබේ. එනම් මන්ත්‍රී වැටුප් වැඩි කිරීමේ යෝජනාවය. මේ යෝජනාව ගෙන ආවේ කවුද? ඒකට මූලික අනුමැතිය ලැබුණේ කෙසේද යන්න ගැන කොතැනකවත් සඳහන් නැත.

මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව පසුගිය 03 වැනිදා බොහෝ මුද්‍රිත මාධ්‍යයන්හි පළවූ වාර්තා කෙරෙහි අපගේ අවධානය යොමු වූ අතර සම්බන්ධව පළවෙන මාධ්‍ය වාර්තා එ් සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය අංශයද නිවේදනක් නිකුත් කර තිබිණි.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් විය.

මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව 08/03 දින බොහෝ මුද්‍රිත මාධ්‍යයන්හි පළව ඇති වාර්තාවන් කෙරෙහි අපගේ අවධානය යොමුව ඇත.

2006.11.23 දින පාර්ලිමේන්තුවේ සිදුවූ යෝජනා සම්මතයක් අනුව පාර්ලිමේන්තුවේ මැති ඇමැති වැටුප් වැඩි කිරීම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවන අවස්ථාවන්හිද ඊට සමාන්තරව සිදුවිය යුතු බවට තීරණය වී ඇත.

මෙම පසුබිම මත, පසුගියදා අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවූ වැටුප් වැඩිවීම පිළිබඳව සලකා බලා මැති ඇමැති වැටුප්ද ඒ අනුව ගැලපිය යුතු බවට පෙන්වා දෙමින් තමන් වෙත ලැබී ඇති දැනුම්දීම් ගරු කථානායකතුමා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමුකරනු ලැබ ඇත.

කෙසේ නමුත්, මැති ඇමැති වැටුප් වැඩි කිරීමක් පිළිබඳ මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවද අවධාරණය කරමු.

මේ ගැන තීරණයකට එළඹීමේදී 2006.11.23 තීරණය පරිදි කටයුතු කරන්නේද නොඑසේ නම් එය වෙනත් ආකාරයකට කටයුතු කළ යුතුද යන්න පිළිබඳ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී කරුණු විමසීමෙන් අනතුරුව අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත අදහස් විමසීමටද හැකියාව ඇති බව දන්වා සිටිමු.”

රාජ්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් වගකීම දරන පාර්ශ්ව කිහිපයක් තිබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා හා කැබිනට් මණඩලය ඒ අතරින් ප්‍රධාන වෙයි. පසුගිය අඟහරුවාදා (07) කැබිනට් සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම වෙනුවට ඔවුන් සඳහා අතිවිශාල පහසුකම් රැසක් ලබාදීමට කැබිනට් මණ්ඩලය වෙත ගෙන එන යෝජනාව ජනාධිපතිවරයා විසින් නතර කර තිබේ. මීට පෙරද ජනාධිපතිවරයා “පිබිදෙමු පොළොන්නරුව” සංවර්ධන ව්‍යාපෘතියෙහි මහජන වැඩසටහනකට එක් වෙමින් කියා සිටියේ මන්ත්‍රී වැටුප ශත පහකින් හෝ වැඩි කිරීමට තමන් ඉඩ නොදෙන බවය.

 මීට පෙර ජනාධිපති තනතුරේ වැටුප් වැඩි කිරීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ බවත් තමන් ඒවා ප්‍රතික්ෂේප කළ බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය. එම රුස්වීමට සහභාගි වූ මහජනයා එම කතාවට වේගවත් අත්පොළසන් නාදයක් ලබාදෙන අයුරු විද්‍යුත් මාධ්‍ය මගින් බොහෝ දෙනෙක් දැකගත්හ. ඇමැති වැටුප් වැඩිවීම පිළිබඳව මහජනතාව අතර තිබෙන අප්‍රසාදය එයින් පැහැදිලි වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් තමා වෙත හෝ කැබිනට් මණ්ඩලය වෙත හෝ ඉදිරිපත් වී නැති බව අග්‍රාමාත්‍යවරයා පසුගිය සඳුදා (06) එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යාල වියදම වැඩිවී තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් පියවරක් ගතයුතු බවට මීට මාස කිහිපයකට පෙර පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් වූ බවද සාධාරණ යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් භාණ්ඩාගාරයෙන්ද විමසා ඉදිරියේ තීරණයක් ගත හැකි යැයි එහිදී තමන් දැනුම්දුන් බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා මෙම යෝජනාවට විරෝධය පළකර ඇති අතර ඔහු කියා සිටින්නේ මේ අවස්ථාවේදී කිසිදු පාර්ශ්වයකට වැටුප් වැඩිකළ නොහැකි බවයි.

පක්ෂ නායක රැස්වීම්වලදී විවිධ යෝජනා ඉදිරිපත් වීමට පුළුවන. නමුත් ඒවා ආණ්ඩුවේ යෝජනා ලෙස හෝ රජයේ යෝජනා ලෙස සැලකිය නොහැකියි. ලැබී ඇති තොරතුරුවල හැටියට කැබිනට් මණ්ඩලය මෙවැන්නක් යෝජනා කර නැති අතර එබඳු යෝජනාවක් සාකච්ඡාවට ගත් බවක්ද සඳහන් වී නැත. එහෙත් රටේ ඇතැම් ජනමාධ්‍ය ඉහත යෝජනාව තහවුරු කොට රජය ඒ සඳහා වැයකළ යුතු මුදල පවා සඳහන් කර තිබිණි. ඒ සඳහා වැඩිකළ යුතු මුදල රුපියල් කෝටි හාරසිය හතළිස් පහක් බව සඳහන් වී තිබිණි. ඒ එක වර්ෂයක් සඳහාය. මෙය මහජනයා කෝපයට පත්කරවන ආරංචියක් බව අමුතුවෙන් කිවයුතු නැත.

කුමන පාර්ශ්වයක වුවද වැටුප් වැඩිකළ යුත්තේ ආර්ථික උපදේශකයන්ගේ තීරණවලට අනුවය. එසේ නොවුනහොත් රටේ ආර්ථික සමතුලිතභාවය බිඳී ගොස් වෙළඳපොළ විකෘති වී උද්ධමනයක් පවා ඇතිවීමට පුළුවන.

අවසන් වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනා වැඩිවූයේ 2016 වසරේ නොවැම්බර් මාසයේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා සඳහා කාර්යාල දීමනාවක් ලෙස රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව දිනකට රුපියල් 2500ක් දක්වා ඉහළ දැමීමද සිදු කෙරිණි.

♦ හසිත් අංජන
ඡායාරූප: සුමුදු හේවාපතිරණ

අපට බදු ගහලා මන්ත්‍රීවරු පඩි වැඩිකර ගන්නවා
වීරතුංග - මාතර

අපේ මනාප අරගෙන අර පොරොන්දු මේ පොරොන්දු දීලා පාර්ලිමේන්තුවට ගිය ඕනම කෙනෙක් අපේ ළඟට එන්නේ ඡන්ද කාලවලට විතරයි. මොන ආණ්ඩුව ආවත් ඔය ඉන්න මූණු ටිකම තමයි දෙපැත්තට වෙවී ඉන්නවා දකින්න තියෙන්නේ. මිනිස්සුන්ට ගහන්න තියෙන හැම බද්දක්ම ගහලා ඒ අය පඩි වැඩිකරගන්න දඟලනවා. අපි කොහොමත් ඒ යෝජනාව අනුමත කරන්නේ නැහැ. මොකද මේ අයට මේ පඩිය විතරක් නෙමෙයිනේ හම්බවෙන්නේ. වරදාන වරප්‍රසාද ඔක්කොම මේ අයට හම්බවෙනවා. ඒ මදිවාට අපිට තව බදුත් ගහලා ඒ අයගේ පඩිය වැඩිකර ගන්න දඟලනවා. ඡන්ද කාලේ ජනතාවට වෙච්ච පොරොන්දු මොනවත් මතක නැහැ. මේක හරිම අසාධාරණ යෝජනාවක්. එකහෙලාම මම නම් මේකට විරුද්ධයි.

ඒ අය වැඩකරන්නේ තමන්ගෙ වාසියට
ශිවලිංගම් - කිලිනොච්චිය

මේ අය බලන්නේ එයාලගේ වාසිය විතරයි. පොඩි මිනිහා මොන විදියෙන් ජීවත් වුණත් ඒ අයට ලොකු ප්‍රශ්නයක් නැහැ. සියලු දීමනා වරප්‍රසාද එයාලට හම්බවෙනවා. සංවර්ධනය කරා කියලා කියනවා විතරයි. ඒ වුණාට කරපු සංවර්ධනයක් නෑ. අපි බොහොම දුෂ්කර ප්‍රදේශවල ඉන්නේ. ගහන බදු වලින් අපි හොඳටම හෙම්බත්වෙලා ඉන්නේ. අපේ සල්ලිවලින් තමයි වැඩි හරියක් මැති ඇමැතිවරු නඩත්තු වෙන්නේ. ඒ නිසා මිනිස්සු මේ විදියට ජීවත් වෙද්දී මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකරන යෝජනාවට අපි කැමැති නැහැ.

ජනතාවට බර පටවලා සැප ගන්නවා
ධනුෂ්ක - බෙන්තර

රටේ ජනතාව ජීවිතේ බොහොම අසීරුව ගෙනියන කාලෙක මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිවීමක් කෙරෙන එකට අපි කොහොමත් කැමති නැහැ. රටේ ආර්ථිකයේ විසඳන්න මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඔවුන්ගේ සුඛ විහරණය විතරක් බලන එක වැරදියි. අද හැමදේකම මිල වැඩිවෙලා. රාජ්‍ය සේවකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට, මේ හැම දෙනාටම ජීවන බර හොඳින් දැනිලා තියෙන මොහොතක්. රජයක් විදියට මේ අවස්ථාවේ කළ යුත්තේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම. එහෙම නැතුව ජනතාවගේ බදු මුදල්වලින් මොවුන් මේ විදියට තම තමන්ගේ සුඛ විහරණය සඳහා යොදාගන්න එකට මං විතරක් නෙවෙයි ජනතාව කවුරැත් කැමති නැහැ.

අපට ඕවා අනුමත කරන්න බැහැ
සිරිසේන - කුරුණෑගල

රෑට නිදාගෙන උදේ ඇහැරෙද්දි බඩු මිල ඉහළට ගිහිල්ලා. එක්කෝ මොනවට හරි බදු ගහලා. රටේ මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්. එහෙම අමාරුවෙන් එදාවේල හම්බකරගෙන කාලා ජීවත්වෙන මිනිස්සුන්ගෙන් ගහපු බදු මුදල්වලින් මේ ඇමැතිවරු සැපගන්න හදනව නම් අපි ඒකට විරුද්ධයි. එයාලට සෑම පහසුකමක්ම තියෙද්දී තමයි ඒ අය මේ විදියට තවත් පඩි වැඩිකරන්න කියලා ඉල්ලන්නේ. රටක් සංවර්ධනය කරන්න අදහස් ගෙනාවම  ඒකට ඕනතරම් විරුද්ධ වෙන අය ඉන්නවා. කෝ දැන් මේකට විරුද්ධ වෙන්න කවුරුත්ම නැහැ. ඔය කොයි කවුරු අපිට පේන්න ගහ මරා ගත්තත් චෝදනා කර ගත්තත් ඔය වගේ එයාලට වාසිදායක දෙයක් වෙනවා නම් කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. රටේ පුරවැසියෝ විදියට මෙම යෝජනාව අපි අනුමත කරන්නේ නැහැ.

මහ ලජ්ජ නැති යෝජනාවක්
මාලනී - බියගම

රටේ ජනතාව මේ විදියට අන්ත අසරණ තත්ත්වයෙන් සිටින මොහොතක මැති ඇමැතිවරුන්ගේ පඩි වැඩි කරන්න කියලා ගෙනාපු යෝජනාව ගැන අපි ඇත්තටම ලජ්ජ වෙනවා. මේ තරම් රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙද්දි එයාල විතරක් තමන්ගෙ මඩිය තර කරගත්තම හරිද? ගහන්න තියෙන හැම බද්දක්ම ගහලා බඩු මිල ඉහළට නංවලා රටේ සංවර්ධනයට දායක වෙනවා කියලා කිව්වට මොවුන් මේ හැමදේම කරන්නේ ඒ අයගේ යහපතට විතරයි. රටේ ජනතාවට මොනවා වුණත් මේ අයට ගාණක් නැහැ. අද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන කවුරුත් කතා කරනවද? නැහැ? පොඩි මිනිස්සු ගැන කතා කරන්න එයාලට දැන් වෙලාවක් නැහැ. ගන්න තියෙන වරප්‍රසාද ඔක්කොම භුක්ති විඳලා රටේ ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්න වෙලාවක මේ විදියට ජනතාවගේ මනාපෙන් පාර්ලිමේන්තු ගියපු ඒ අය කරන වැඩේ ගැන ලැජ්ජයි. ඉස්සරහට එන ඡන්දයකදී බලාගන්න පුළුවන් මේ කරන දේවල්වලට ප්‍රතිචාර කොහොමද කියලා.

හරිනම් තියෙන පඩියත් අඩුකරන්න ඕනෑ
දයාවතී - පොල්ගහවෙල

අද තියෙන තත්ත්වෙත් එක්ක මිනිස්සු තමන්ගේ බඩවියත රැකගන්නේ බොහොම අමාරුවෙන්. අද අපි කරන වගාවලට වුණත් නිසි මිලක් නෑ. අමාරුවෙන් වවාගන්න අස්වැන්න කුණු කොල්ලෙට විකුණන්න වෙලා. වේලක් කාලා වේලක් තමයි මිනිස්සු අද ජීවත් වෙන්නේ. අපිට බදු ගහලා අපේ සල්ලිවලින් රටේ සල්ලිවලින් ඡන්ද කාලෙට විතරක් ගමට එන මේ මන්ත්‍රීවරුන්ට පඩි වැඩිකරන්න හොඳ නෑ. පුළුවන් නම් කරන්න ඕන ඔය තියෙන පඩියත් අඩු කරන එකයි.

ඔක්කොම මැති ඇමැතිලා වාසියට කටවහගෙන
සිරිනිමල් - තඹුත්තේගම

මම අද පාන්දර කෝච්චියෙන් මේ කොළඹ ආවේ. තාම උදේට කාලත් නෑ. දවල්ටත් ඔය වඩයක් හරි මොනව හරි තමයි කන්න තියෙන්නේ. ඒ තරමට හරි අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වුණාට මැති ඇමැතිවරු කවුරුත් අපි ගැන හිතන්නේ නෑ. ඔක්කොම එන්නේ තමන්ගේ වාසියට විතරයි. අද ගොවියොම මේ වෙනකොට කී දෙනෙක් දිවි නසාගත්තාද? තමන්ගේ අස්වැන්න විකුණගන්න බැරුව. ඒ වගේම රටේ සංවර්ධනය ගැන කතා කරනවා. ඒ වුණාට ආණ්ඩුවෙන් කරපු සංවර්ධනයක් නෑ. පහුගිය ආණ්ඩුවෙන් තමයි රටේ මේ තරම්වත් සංවර්ධන කටයුතු කළේ. පහුගිය යුද්ධය තියෙන කාලෙවත් මිනිස්සුන්ට මේ වගේ ආර්ථික අපහසුතා තිබුණේ නැහැ. අද බලන්න රුපියල් දාහකින් කරන්න පුළුවන් මොනවද කියලා. රටේ ඒ තරමටම ජීවන බර ඉහළ ගිහින්. මැති ඇමැතිවරු කොයි කවුරුත් තමන්ට වාසියක් වෙනකොට කට වහගෙන ඉන්නවා. නැත්නම් මේ වගේ යෝජනාවක් ගෙන ඒමත් ජනතාව එක්ක පාරට බහින්න විපක්ෂයට පුළුවන්නේ. කෝ දැන් එහෙම කරනවද? නැහැ.

 

 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00