2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

මනසට - භාවනාවට කදිමට ගැලපෙන සීගිරිය අසබඩ Kaveri Ayurveda Resort

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

සීගිරියට සහ පිදුරංගලට පෙනෙන මානයට එකතුවුණු අලුත්ම සංචාරක හෝටලය විදිහට ‘Kaveri Ayurveda Resort’ හඳුන්වන්න පුළුවන්. කිඹිස්ස ගමේ පිහිටලා තියෙන මේ හෝටලය විවෘත කෙරුණේ මීට මාස කිහිපයකට පෙරාතුවයි. මෙතැන මානසික සුවතාවයට, භාවනාවට වගේ ළැදියාවක් දක්වන කෙනෙක්ට කදිමට ගැලපෙන තැනක් විදිහටත් නම් කරන්න පුළුවන්. 

යෝගා සත්කාර, නියම ආයුර්වේද ප්‍රතිකර්ම, සුවතා, භාවනා ආදිය තුළින් මේ හෝටලයට වැඩි විශේෂත්වයක් හිමිවෙනවා. මේ අපූරු හෝටල් භූමියේ හිමිකරු වන සරත් කුමාර  මහතා පවසන ආකාරයට සාමාන්‍ය සංචාරකයන්ට වඩා නිශ්ශබ්දතාවයට, නිස්කලංක බවට පෙම් බඳින සංචාරකයන් තමයි මේ නවාතැන්පොළේ ප්‍රධාන ආකර්ෂණය. මෙතැන ආයුර්වේද ප්‍රතිකර්මවල උසස් බව නිසාම සම්මාන කිහිපයක්ම හිමිකරගන්නත් සමත් වෙලා තිබෙනවා. 

ආදි කාලීන ශාස්ත්‍ර ලෙස සැලකෙන ආයුර්වේදය සහ යෝගා වර්තමානයේදී ප්‍රමුඛ පෙළේ ජීවන විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. එවන් පසුබිමක කාවේරි හෝටලය සංචාරකයන්ට හැබෑම ආයුර්වේද සත්කාරය හිතේ හැටියට විඳගැනීමට ලබාදෙන්නේ අසමසම අවස්ථාවක්!

මෙහි මුළු කාමර සංඛ්‍යාව විස්සක්. මේ සියලු පහසුකම් හරහා නැවත කිසිදා අමතක නොවන සුන්දර අත්දැකීමක් අත්විඳීමේ අවස්ථාව සංචාරකයන්ට හිමිවෙනවා. මේ සෑම කාමරයකටම පිහිනුම් තටාකයේ දර්ශනය හිමියි. මේ කාමරවලත් වයිෆයි, කේබල් ටීවී, ඩීවීඩී වගේ පහසුකම් අඩංගුයි.

හෝටල් ගෙවත්තේම සරුසාර කාබනික වගාවක් පවත්වාගෙන යන්නේ අවන්හල සඳහා එළවළු සහ පළතුරු ලබාගැනීමටත් ආයුර්වේද සම්බාහන කටයුතු සඳහා ඖෂධීය පැළෑටි ලබාගැනීමටත් පහසුව සලසමිනුයි. 

මෙතැනදී පාපැදි සවාරි, ගම්මානයේ ඇවිදීම, කඳු නැගීම වගේ ක්‍රියාකාරකම් රැසකම නිරත වෙන්න පුළුවන්. ඒ වගේම පොළොන්නරුව, දඹුල්ල, රිටිගල, මින්නේරිය, කවුඩුල්ල සහ හුරුළු වැව වගේ තැන් බොහෝමයකට පහසුවෙන් ළඟාවෙන්න හැකියාව තිබෙනවා. 

♦ සනත් වීරසූරිය