2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

සිම්සන්ගේ කැලෑවේ පරණ බංගලා හෝටලේ

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

සිම්සන් වනාන්තරය කියන්නේ හුන්නස්ගිරිය කඳුපන්තියේ ඉඳන් වත්තේගම ඇල්කඩුව පාර දක්වා විහිදුණු කුඩා උප වනාන්තරයක්. මුහුදු මට්ටමේ සිට අඩි 3900 ක් තරම් උසින් පිහිටි මේ වනාන්තරය මීනවත්ත වතුයායට යාබදව පිහිටා තිබෙනවා. ත්‍රිකෝණාකාර හැඩයකින් යුත් මේ වනාන්තරය මේ විදිහට ආරක්ෂා කරලා තියෙන්නේ අතීතයේ හිටපු ඊ. සිම්සන් කියන ස්කොට්ලන්ත ජාතික වතු පාලකයායි. 

හුන්නස්ගිරිය සහ මීනවත්ත කඳු වළල්ලෙන් වටවෙලා ඉතාමත් සුන්දර දර්ශන තලයක පිහිටා තිබෙන මේ වනාන්තරයට යාබද හෝටලයක් ගැනයි අපි අද කතාකරන්නේ. ඒ තමා Simpson’s Forest Hotel. මහනුවර ඉඳන් වත්තේගම පාරේ පැය භාගයක දුරින් තමයි මේ හෝටලය පිහිටා තිබෙන්නේ. 

මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේදී විවෘත වුණු මේ හෝටලයේ මුළු කාමර සංඛ්‍යාව 23ක්. ඊට සිම්සන් කැලෑව මුදුනේ පිහිටි පැරැණි වතු බංගලාවත් අයත්. වැඩිහිටියන් නමදෙනකුට පහසුවෙන් නවාතැන් ගත හැකි මෙය පැරැණි බංගලාවක් වුණත් Infinity පිහිනුම් තටාකයත්, කඳු වළල්ල දෙසට හැරුණු ව්‍යායාම් කාමරයත් නිසා නවීන පෙනුමකුත් ලැබිලා තියෙනවා. 

අවට සුන්දර පරිසරය නිසාම මෙතැන මධුසමය සඳහා පිටත් වන තරුණ යුවලවලට ගොඩක් හොඳින් ගැලපෙනවා. ඒ වගේම ඇවිදින්න, කඳු නගින්න, කුරුල්ලන් නරඹන්න ආශා කරන අයටත් පවුල් වශයෙන් ඇවිත් විනෝද වෙන්න, නිදහස් සුවය විඳින්න මෙතැන කදිම තෝරාගැනීමක්.

කාමරවල නවීන හෝටල් පහසුකම් සියල්ලක්ම පාහේ දැකිය හැකියි. තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, කේබල් ටීවී, අල්මාරියක්, සේප්පුවක් වගේම නවීන තාලේ නාන කාමරයකුත් ඊට ඇතුළත්. කොහොම නමුත් වඩාත්ම වැදගත් විශේෂාංගය වන්නේ සෑම කාමරයකම වනාන්තරය හෝ කඳු වළල්ල දෙසට හැරුණු විවෘත බැල්කනියක් පිහිටා තිබීමයි.

හෝටලයේ ආහාර අත්දැකීම ගැන කතා කරන විට හෝටල් උද්‍යානයේදී වගේම ප්‍රධාන අවන්හලේදීත් ආහාර රස විඳීමේ අවස්ථාව තිබෙනවා. ඒ ස්ථාන දෙකේදීම තේ වතු යායේත් සිම්සන් වනයේත් අලංකාර දර්ශනයක් විඳගන්නා අතරේදී ආහාර ගැනීමට හැකියි. ප්‍රධාන අවන්හලේදී දේශීය ආහාරපාන වගේම ආසියානු සහ බටහිර ආහාරපානත් පිළිගැන්වෙනවා. කොහොම නමුත් ‘ගමගෙදර’ නමින් නම්කරලා තිබෙන ස්ථානයේදී ලබාදෙන සැබෑ දේශීය රස රටාවන්ගෙන් යුත් ආහාරපානවලට මෙහි විශේෂ තැනක් හිමිවෙනවා.

හෝටලයේ වටිනාකම තවත් වැඩි කරන්න හේතුවක් තමයි එහි ඇති ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය. ආදිකාලීන ප්‍රතිකර්ම භාවිතා කරමින් ශාරීරික වගේම මානසික සුවයත් පිරිනැමීමට මේ සම්බාහන මධ්‍යස්ථානයට පුළුවන්. 

ඊට අමතරව සෙම්බුවත්ත, නකල්ස්, හුළුගඟ, බඹරැල්ල, අලගල්ල වැනි තවත් සුන්දර ස්ථාන රැසකටම මෙතැන සිට බොහොම කෙටි කාලයකින් ළඟාවෙන්න පුළුවන්. 

♦ සනත් වීරසූරිය
   ඡායාරූප - ශාන් බන්දු වීරසිංහ