2018 ජුලි 28 වන සෙනසුරාදා

කොළඹට තායි රස ගේන DAO CRUA THAI

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

දාඕ සිහානම් එහෙමත් නැත්නම් මිස් දාඕ කියන්නේ තායි කාන්තාවක්. ශ්‍රී ලාංකිකයකු සමඟ විවාහ වෙලා ඉන්න ඈ දැන් අවුරුදු 16ක් තිස්සේම ජීවත් වෙන්නේ ලංකාවේ. 

මුලදී පුංචි කේටරින් සේවාවක් පවත්වාගෙන ගියපු ඈ මෑතකදී තමන්ගේම කියා පුංචි අවන්හලක් පටන්ගෙන තිබෙනවා. කොල්ලුපිටියේ පිහිටි මේ අවන්හලේ නම DAO CRUA THAI. 
මෙතැනදී බොහෝවිට පිරිනැමෙන්නේ තායිලන්තයේ ප්‍රසිද්ධ වීථි ආහාරයි. පුංචි මේස හයකින් හැඩවෙලා තියෙන මේ කුඩා අවන්හල මිතුරන් කිහිපදෙනකු සමඟ එහෙමත් නැත්නම් පවුලේ කිහිපදෙනකු සමඟ ආහාරයක් භුක්ති විඳින්න කියාපු තැනක්!
සෑම පුංචි දෙයක් ගැනම ලොකු අවධානයකින් ඈ පිළියෙල කරන ආහාර ගොඩක් රසවත්. මෙතැන ගොඩක් සෝබන තාලේ අවන්හලක් නොවුණට ගෙදර කෑමක රස බලන්න හොඳම තැනක් විදිහට හඳුන්වන්න පුළුවන්. 
මෙතැනදී පිරිනැමෙන ජූස් වර්ග අතරින් සියඹලා සහ ලෙමන්ග්‍රාස් ජූස් දෙකට වැඩි ලකුණු හිමිවෙනවා. 

අපි ආහාර ගැනීම ඇරඹුවේ Prawn on Toast සහ Stuffed Cucumbers  කියන ස්ටාර්ටර් වර්ග දෙකෙනුයි. ඉන්පසුව අපි රස බැලුවේ ඉතාම ප්‍රණීත Tom Yum – Seafood සුප් එකයි. සීෆුඩ්, ලෙමන් ග්‍රාස්, බිම්මල් සහ පොල්කිරි ආදිය යොදාගෙන මේ සුප් එක හදලා තිබුණා.

දාඕගේ යෝජනාවක් පරිදි අපි Glass Noodles with Seafood කියන සැලඩ් එකත් ආහාරයට ගත්තා. ජූසි ගතියෙන් යුක්ත සීෆුඩ් අතරට කොච්චි මුසුවෙලා අමුතු රසක් වගේම සැරකුත් ඒ සැලඩ් එකේ තිබුණා. 

ප්‍රධාන ආහාර වේල විදිහට රස වින්දේ Pad Thai කියන නූඩ්ල්ස් වර්ගයයි. රටකජු සහ පෝක් කැබලි යහමින් යොදාගෙන මේ නූඩ්ල්ස් පිළිගන්වා තිබුණේ ෆ්‍රයි කිරීමෙන් අනතුරුවයි. 

 නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත