2018 ජුලි 21 වන සෙනසුරාදා

2020

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

2020 කවුද එන්නෙ කියල එක එක විදිහෙ කතා ඇහෙනවා. ගෝටාද, බැසිල්ද, රනිල්ද නැත්තම් චම්පිකද කියල පවා සැක පළවෙනවා. තව කට්ටියක් කොයිතරම් පසුගාමී වුණත් ජවිපෙ පැත්තට හැරෙනවා. පෙරටුගාමී වගේ සුළුතරයක් ඡන්ද ප්‍රතික්‍ෂේප කිරීමකින් සෑහෙන්න ඉඩ තියෙනවා. මේ හැම කතාවක්ම ඒ තරම් බලාපොරොත්තු සහගත ඒවා නෙමෙයි. වෙන විකල්පයක් නැති තැනදි තියෙන ඒවයින් වඩා හොඳ වගේ පේන එකක් අකමැත්තෙන් හරි තෝරාගැනීමක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.

ඒත් විකල්ප නෑ කියන්නෙ ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරන්න කාලය ඇවිත් කියන එකයි. අලුත් තාක්‍ෂණය සහ සන්නිවේදනය විසින් යෝජනා කරන අලුත් වටපිටාවට පවතින මොනම දේශපාලනයක් වුණත් නොගැලපෙන වග සහතිකයි. නිසි දිශානතියක් නොවෙන තැන අනන්‍යතා අර්බුදයකට මුහුණ දෙන අලුතෙන් ඡන්ද හිමිවෙන පරම්පරාව ආයිමත් හම්පඩ ජාතිවාදී ප්‍රවණතා පැත්තට හැරෙන්නෙ මේ නොගැලපීම නිසාමයි.

කට්ටියක් විවෘත වීම ඉදිරියේ නැවත ගුහා ඇතුළට රිංගීම තෝරා ගන්නා අතරෙ තවත් වැඩි පිරිසක් දේශපාලනය නොතකා හරිමින් ඉන්නවා. පොලිටික්ස් කියන එක ගොඩේ මාතෘකාවක් වෙන අතරෙ ඡන්දය දානවා කියන එකම තේරුමක් නැති සම්ප්‍රදායක් වෙමින් තියෙනවා. මේ පාර ඡන්දෙදි ඡන්දෙ දාන්න කියලා පවා වෙනම ප්‍රචාරයක් ගෙනියන්න ආණ්ඩුවට සිද්ද වුණෙත් මේ නිසාමයි. මේ තත්ත්වය ඉදිරියෙදි තව තවත් වැඩිවෙන්න නියමිතයි. ඒකෙන් වෙන්නෙ රටේ තීරණ වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දිය හැකි බුද්ධිමත් තරුණ පිරිස් දේශපාලනයෙන් අයින් වෙන එක. තව තවත් මෝඩයන් අතටම තීරණ ගැනීමේ ඉඩකඩ ලබාදෙන එක. රට ඇතුළෙම වෙනස් විදිහක ඩයස්පෝරාවක් නිර්මාණය වෙන එක. මේ කොයි එකක් වුණත් ඒක ඒ තරම් සුබදායී තත්ත්වයක් වෙන්නෙ නෑ.

2020 කියන්නෙ අලුත් දේශපාලනයක ආරම්භයක් විදිහටයි මම දකින්නෙ. මානව අයිතිවාසිකම් සහ නිදහස අවධාරණය කරන, මිත්‍යාව වෙනුවට විද්‍යාව හොයාගෙන යන, ආගම්වාද ජාතිවාද වෙනුවට ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන, නව ආර්ථික ක්‍රමෝපායන් සහ සැලසුම් වෙනුවෙන් උනන්දු වෙන, විශේෂයෙන්ම ඔන්ලයින් ලෝකය එක්ක බැඳුණු නව දේශපාලන සංස්කෘතියක යෝජනාවක් 2020ට අවශ්‍ය වෙනවා. ග්‍රාමීය දේශපාලන මතවාද ගැටුම් වෙනුවට ශිෂ්ට නාගරික දේශපාලනයක ලොකු හිඩැසක් මේ වෙද්දි ඇති වෙමින් තියෙනවා. ඒ හිඩැස පුරවන්න පවතින කිසිම දේශපාලන පක්ෂයක මතවාදය අසමත් වෙලා තියෙනවා.

මේක එක්තරා විදිහක හීනයක්. හීන පැත්තෙන් ගත්තත් අතිශය බොළඳ හීනයක්. එහෙම පුළුවන්ද අලුත් පක්ෂ පටන්ගන්න? එහෙම පක්ෂයකට බිම් මට්ටමේ මිනිස් සමූහයක් එකතු වෙයිද? කොහෙන්ද අරමුදල් එන්නෙ? ඔය විදිහට ඒකෙ අතාර්කිකත්වය පෙන්නන්න දහසකුත් එකක් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්නවලට සංයුක්ත විසඳුම් හොයන්න ට්‍රයි කරනවා කියන්නෙම අපි පරණ දේශපාලනයටම ආපහු යනවා කියන එකයි. මොකද මේ ප්‍රශ්න කිරීම් සියල්ල නිර්මාණය වෙන්නෙ පරණ දේශපාලන අත්දැකීම් උඩ. අලුත් දෙයක් පටන්ගන්න ඕන අලුත් තැනකින්. පරණ ප්‍රශ්න පත්තරවලට උත්තර ලියන එකෙන් අලුත් දැනුමක් නිර්මාණය වෙන්නෙ නෑ.

අදාළ වෙන්නෙ එක කාරණයයි. ඒ අපේ ජීවිතයට අවශ්‍ය දේශපාලනය රටේ පවතින දේශපාලනය කියන එක ඇතුළේ නියෝජනය නොවීම. ඩීල් දාන, පරණ බලප්‍රයෝගයන්  උඩම පවතින, දැක්මක් නැති, ගෝත්‍රික බහුතරයක උවමනාවන් නියෝජනය කරන දේශපාලනයක් කියන්නෙ අපේ ජීවිතෙන් බැහැර කරන ක්‍රියාවලියක් වීම. ඒ වෙනුවට වෙනස් අරමුණු කරා යන, වෙනස් දැක්මන් සහිත, වෙනස් පුරවැසි ජීවිතයක් යෝජනා කරන දේශපාලනයක් අපිට අවශ්‍ය වීම.

ඒක අවශ්‍ය වෙන්නෙ කීයෙන් කී දෙනාටද?

අඩුම තරමෙ මට එහෙම එකක් අවශ්‍යයි. මම දේශපාලනය කියලා විශ්වාස කරන්නෙ එහෙම එකක්. ඒක මාක්ස්වත්, වෙබර්වත්, මැකියාවෙලි, හොබ්ස්, ලොක්, රූසොවත් කියපු එකක් නෙමෙයි. අලුත් අන්තර්ජාල අවකාශය ඇතුළේ අපේ ජීවිතාලෝකයත් එක්ක සම්බන්ධ වීමෙන් ඇතිවුණු නව පුරවැසි සවිඥානකත්වයෙන් ඉල්ලා සිටින හැඩයක්.

ඒක පක්ෂයක්ද, කණ්ඩායමක්ද, නැත්තම් අදහසක්ද කියන එක වැදගත් නෑ. වැදගත් වෙන්නෙ ඒ අලුත් හැඩය නිර්මාණය කිරීම වෙනුවෙන් එකතු වීම විතරයි. 2020 දි මේ අලුත් පුරවැසියා වෙනුවෙන් සංවිධානය වීම සහ හඬනැගීම කියන්නෙම ජයග්‍රහණයක්. අනිත් හැම තෝරාගැනීමක්ම  අවසානයේදී  පරාජයක්.

ව්‍යාධදේව