2018 ජුලි 21 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

මේ ළඟකදී ෆේස්බුක් එකේ දැක්කා ලස්සන වීඩියෝ එකක්. පුංචි ලස්සන කෙල්ලෙක් නටනවා. විනිශ්‍්චය මණ්ඩලයම පුදුම වෙලා. අන්තිමේදී එයාව හොඳම කෙනා හැටියට තෝරනවා. ඊට පස්සේ එයාගේ ගුරැවරයට එන්න කියනවා. එන්නේ කකුල් දෙකම පණ නැති අත් දෙකෙන් ඇවිදින තරුණයෙක්. මේ තරුණයා ස්ටෙප්ස් කියලා දීලා තියෙන්නෙ අත් දෙකෙන්. අර පුංචි කෙල්ල ඒක අල්ලගෙන හරියටම නැටුවා. ඒක දැක්කම මටත් පුදුමයි. හැබැයි ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ.

මම මේක ශෙයාර් කරලා කිව්වා මේ වීඩියෝ එක ලංකාවේ ගු‍රුවරුන්ටයි ශිෂ්‍යයන්ටයි පෙන්නන්න කියලා. ඒකට හේතුව තමයි ඇත්තටම අපේ රටේ ගුරුගෝල සම්බන්ධය ගැන ලොකූ දුරස්ථ බාවයක් තියෙනවා. හේතුව ඇත්තටම අපේ රටේ ගුරුවරු බහුතරයක් හොඳ ශිෂ්‍යයෝ නෙමෙයි බිහි කරන්න යන්නේ. ඔවුන් යන්නේ ශිෂ්‍ය්යන්ගෙන් තොර ගෝල පරම්පරාවක්. ගෝලයෝ බිහිකරන්න පුළුවන් ඕන යකෙක්ට. හැබැයි ශිෂ්‍යයෙක් බිහිකරන්න අමාරුයි.

මොකක්ද මේ ගෝලයොයි, ශිෂ්‍යයොයි අතර තියෙන වෙනස. මෙහෙමයි ගෝලයෝ කියන්නේ ගුරුවරුන්ගේ එහෙයියෝ. ඔව් සර්, නෑ සර්, හරි සර්, අපි කැමතියි සර්, යන්නම් සර්, කන්නම් සර් වගේ දේවල් කියන්නේ ඔන්න ඔය ගෝලයෝ. ඒ කියන්නේ ගුරුවරයාට ඕනේ තමන්ගෙම එකෙක්. හරියට ගුරුවරයා පාරේ තියෙන ගොන්බෙට්ටක් පෙන්නලා මේක මසුරන් කෑමක් කිව්වොත් ගෝලයා පැනපු ගමන් ඒක කන්න ඕනේ. අන්න ඒක තමයි ගෝලයගේ හැටි. ගෝලයෝ නිතරම කරන්නේ ගුරුවරයාට කේලම් කියනවා. ගුරුවරයාට තෑගි දෙනවා, සතුටු කරනවා වගේ වැඩ. ඇත්තටම ඔහු සම්පූර්ණයෙන් අනුගාමිකයෙක්. ඔහුව හදන්නම බෑ. ඔහු නවලෝකයක් දකින්නේ නෑ ගුරුවරයාගෙන් පිට.

හැබැයි ශිෂ්‍යයා ගන්න, ඔහුට තියෙන්නේ ගුරුවරයා සමඟ අධ්‍යාපනික ගනුදෙනුවක්. ඔහු ගුරුවරයාගෙන් දැනුම ගන්නවා. ඔහු ඒ දැනුම තර්ක බුද්ධිය හරහා නව මාන හොයනවා. ඔහු අලුත් දේවල් සොයා ගන්නවා. ඔහු එක්තරා තැනකදී ගුරුවරයාගේ දැනුමට අභියෝගයක් වෙනවා. ඒකනේ ගුරුවරයා ගුරුවරයා හැටියට විශ්‍රාම යද්දි ගුරුවරයාගේ ගෝලයෝ ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ වෙන්නේ. අන්න ඒ හොඳ ශිෂ්‍යයන් නිසා. ශිෂ්‍යයා කවදාවත් ගුරුවරුන්ගේ එහෙයියෙක් වෙන්නේ නෑ. ගුරු ගෞරවරය තිබ්බත් ගුරුවරයා කරන වැරදි දේත් හරි සර් කියලා පිළිගන්නේ නෑ. ඒ තරම් ශිෂ්‍යයා සම්පූර්ණ තර්කානුකූල මිනිසෙක් වෙන්නේ. ඒ වගේම ගුරුවරයා ශිෂ්‍යයාට මාර්ගය පෙන්නනවා මිසක් ගුරුවරයා ඉස්සරහෙන් ශිෂ්‍යයා පස්සෙන් යන්නේ නෑ. එහෙමයි ශිෂ්‍යයෝ. ශිෂ්‍යයෝ තමයි අනාගතේ ලෝකය ජයගත්තේ.

ලංකාව ඇතුළේ මෙන්න මේ ගුරු ශිෂ්‍ය සහ ගුරු ගෝල සම්බන්ධය පුදුම අවුලක් වෙලා. මේ නිසා පල්වුණු අනාගතයක් ගොඩ නැගෙන්නේ. ඔවුන් නව ලෝකයක් හොයන්නෙම නෑ.

දැන් බලන්න මේ රටේ පසල් ගුරුවරුන්ගෙන් බහුතරයක් පොතේ තියෙන දේ විතරයි උගන්වන්නේ. උදාහරණයක් හැටියට ගත්තම සැළලිහිණිය ලිව්වේ රාහුල හාමුදුරුවෝ. එච්චරයි. හැබැයි රාහුල හාමුදුරුවන්ගේ ඉතිහාසය කවුද හරියට ළමයින්ට කියලා දෙන්නේ? මේ නිසා ළමයි සැළලිහිණියා වටා එකතු වෙන එක විතරයි වෙන්නේ. හැබැයි ඉතිහාසය කියලා දුන්නා නම් කී දෙනෙක් ඉතිහාසයට පෙම් බඳිනවද? අන්න ඒ ඉතිහාසය හොයනවද? හැබැයි ගුරුවරු උගන්වනවා. හරියටම තියෙන දේ උගන්වනවා. මේ නිසා ගෝලයෝ බිහිවෙන ප්‍රමාණය වැඩියි. ශිෂ්‍යයෝ හැදෙන්නම නෑ .හැදුනත් උන්ව මැරෙනව මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ ඒක මහා කරුමයක්. දැන් බලන්න කීයෙන් කී දෙනාද කැම්පස් ගිහින් රජයෙන් රස්සාවක් නොඉල්ලා රස්සාවක් කරන්නේ. ඉල්ලන්නෙම රජයේ රස්සා. යකෝ රජයෙන් නොමිලේ උගන්නලා රජයෙන් රස්සාවක් දෙන්නත් ඕනේ. හේතුව ඇයි? වෙන කිසිදෙයක් නෙමෙයි ඔවුන් නව මානයක් දකින්නේ නෑ. නව දැක්මක් නෑ. මේ නිසා දැන්වත් ඔය ගෝලයෝ හදන එක නවත්තලා ශිෂ්‍යයෝ හදන්න. මොකද ගෝලයෝ ඇති තරම් මේ රටේ ඉන්නවා. දේශපාලන ගෝලයෝ, පාතාල ගෝලයෝ වගේ අය ඉන්නවා. ඒ නිසා අපිට ශිෂ්‍යයෝ දෙන්න.

►මම
බ්‍රෝ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00