2018 ජුලි 21 වන සෙනසුරාදා

මෙන්න අලුත් රථවාහන දඩ

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 10159

ලංකාවේ පවතින හා ක්‍රියාත්මක ඇතැම් නීති යල්පැන ගිය ඒවා බවට වාදයක් නැත. දැනට භාවිත කෙරෙන ඇතැම් නීති සංශෝධනය විය යුතු වන්නේ ඒවායෙන් අනාගතයට කිසිදු ඵලක් නොවන නිසා මෙන්ම රටට ක්‍රමවත් විධිමත් කාලීන නීතියක අවශ්‍යතාවය වැදගත් නිසාය. යල්පැන ගියත් කාලයක් පුරාවට භාවිත කෙරුණු මෝටර් රථ ආඥා පනතේ විසි වසරකට වඩා පැරැණි රථවාහන දඩ සංශෝධන පනත ජූලි 15 දින පටන් ක්‍රියාත්මක වීම වැදගත් වන්නේ එබැවිනි.

මෝටර් රථ ආඥා පනතේ පැවති පැරුණි නීති අදට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේදී අවම දඩ මුදල වශයෙන් පැවති රුපියල් 20 මුදල රුපියල් 500 දක්වාත් වැඩිම මුදල වශයෙන් පැවති රුපියල් 2000 සීමාව රැපියල් 3000 දක්වා ඉහළ නැංවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෝටර් රථ ආඥා පනතේ පවතින සියලුම නීති වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම සඳහා කටයුතු කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කර තිබුණේ වසර කිහිපයකට ඉහතදී විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදීය. එම කමිටුව විසින් සිදුකළ යෝජනා ක්‍රියාත්මක වීම අනුව නව රථවාහන දඩ සංශෝධනය සිදුකර තිබෙන අතර නියෝග 2018 අංක 01 දරන ස්ථානීය දඩ නියෝග වශයෙන්ද හඳුන්වයි.

මෙහිදී සිදුව ඇත්තේ මෙතෙක් ලංකාවේ භාවිතයේ පැවති රථවාහන දඩ 33 ක් පිළිබඳව නව සංශෝධිත දඩ ක්‍රියාත්මක වීමය. ඊට අමතරව ස්ථානීය දඩ නොවන අධිකරණය විසින් පමුණුවන දඩ හා දඬුවම්වලට අයත් වන බීමත්ව රිය පැදවීම, හදිසි අනතුරක් සිදුකිරීම, මරණීය තුවාල සිදුකිරීම, පදික මාරුවේදී පදිකයන් අනතුරට ලක් කිරීම හා වාහන එකිනෙක ගැටී අනතුරට පත්වීම ආදී වැරදි සඳහා වන නීතිය එලෙසින්ම ක්‍රියාත්මක වේ.

යම් හෙයකින් රියැදුරෙක් මාර්ග නීතියක් උල්ලංඝනය කළේ නම් පොලීසියට රියැදුරුගේ රියැදුරු බලපත්‍රය අත්අඩංගු වට ගත හැකිය. පසුව ස්ථානීය දඩ වශයෙන් අත්පිට දඩ අවසර පත්‍රය නිකුත් කරන්නේ තාවකාලික රියැදුරු බලපත්‍රයක් වශයෙනි. එහි සඳහන් දඩ මුදල දින 14 ක් තුළදී ගෙවීම් කළ යුතු අතර එසේ නොවේ නම් රියැදුරු අධිකරණය වෙත යොමුකිරීම සිදුවේ. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන දඩයක් හෝ දඬුවම හෝ ඒ දෙකටම වරදකරුට යටත් වීමට සිදුවේ. මේ අයුරින් ස්ථානීය දඩ වශයෙන් වැරදි 33 ක් සඳහා සං‍ශෝධනය සිදුවී තිබෙන අතර ඊට ඉහතදී අවම දඩය වශයෙන් පැවති රුපියල් 20 නියම වී තිබුණේ අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට වාහනයක් පිටුපසට ධාවනය කිරීමේ වරදටය. එම නීතිය මීට වසර ගණනාවකට පෙර පනවනු ලැබූ එකක් වුවද එවකට මාර්ගයේ ධාවනය වූ රථවාහන ප්‍රමාණයේ අවම මට්ටම සහ එවකට රටේ පැවති වාහනවල අඩු ප්‍රමාණය නිසා ඒ කාලයට අනුව එම දඩ මුදල ප්‍රමාණවත් වන්නට ඇත. එහෙත් වර්තමාන ලංකාවේ භාවිත කෙරෙන රථවාහන ප්‍රමාණය ලක්ෂ 70 ඉක්මවයි. එබැවින්ම නිරතුරුව පවතින මාර්ග තදබදය සහ වාර්තා වන රිය අනතුරු පිළිබඳව සලකා මෝටර් වාහනයක් මාර්ගයක පසුපසට දිගු දුරක් ධාවනය කිරීමේ වරදට නව සංශෝධනය යටතේ රුපියල් 500ක දඩයක් නියම කර ඇත. එය මෝටර් වාහන පනත 154 වගන්තිය යටතේ දක්වා ඇත. 

රුපියල් 3000ක උපරිම දඩ මුදලක් පනවා ඇත්තේ වේගසීමා විධිවිධාන අනුගමනය නොකිරීම වෙනුවෙනි. එය අංක 140 සහ 141 වගන්ති ප්‍රකාරව දක්වා ඇත. මාර්ග නීති උල්ලංඝනය සඳහා රුපියල් 2000 ක් උපදේශක බලපත්‍රයක් රහිතව උපදේශක කටයුතුවල නියැලීම සඳහා රුපියල් 2000 ක්, පොලිස් නිලධාරීන්ගේ විධාන පිළිනොගැනීම වෙනුවෙන් රුපියල් 2000 ක්, මාර්ගයක මෝටර් රථයක් නවත්වා තැබීමේදී හෝ එය ළඟ නොසිටීමේදී හෝ අක්‍රීය වීමකදී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීමේ වරද සඳහාද රුපියල් 2000 ක් වශයෙන් දඩ සංශෝධනය වී තිබේ.

පා පුවරුවේ ගමන් කිරීම හා ඒ සඳහා ඉඩදීම යන වරදට රුපියල් 500ක දඩයක්ද මගීන් හා භාණ්ඩ ප්‍රමාණය ඉක්මවා රැගෙන යාමට එරෙහිව රුපියල් 500 ක් මෙන්ම විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය වාහනයේ තබාගැනීමට අසමත් වීම සඳහාද දඩය රුපියල් 500 ක් වශයෙන් නියම කර තිබේ. එමෙන්ම ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරීම හා ඉදිරිපත් නොකිරීම, හඳුනාගැනීමේ තහඩු නොමැති වීම, හදිසි සේවා සහ පොදු සේවා වාහන පැදවීම සඳහා අනුමැතිය ලබානොගැනීම, බලපත්‍ර රහිතව විශේෂ කාර්ය වාහන පැදවීම, රසායනික ද්‍රව්‍ය හෝ උපද්‍රවකාරී ද්‍රව්‍ය පැටවූ වාහන පැදවීම සඳහා අනුමැතිය ලබානොගැනීම සඳහා නිශ්චිත පන්තියට අයත් රියැදුරු බලපත්‍රය සහ රිය ධාවනයේදී රියැදුරු බලපත්‍රය රහිත වීම සඳහා වන දඩය රුපියල් 1000 කි.

නියමයන් උල්ලංඝනය, මාර්ගයක නැවැත්වීම සහ ගාල්කිරීම, ඉන්ධන පිරවීමේදී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රම නොගැනීම, මාර්ග සංඥා පිළිනොපැදීම, වාහනයේ අධික ශබ්දය, ධාවනය වන වාහනයකින් ප්‍රචාරණ කටයුතු සිදුකිරීම, යතුරු පැදියක හිස්වැසුම් භාවිත නොකිරීම, ආසන පටි භාවිත නොකිරීම, වාහනයේ ඉදිරිපස අසුනේ නියමිත ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් රැගෙන යාම, අධික දුම් විමෝචනය, අනතුරු ඇඟවීමේ උපකරණ අනිසි ලෙස භාවිතය, මෝටර් රථයට නුසුදුසු සංඥා භාවිතය සහ රථය පාලනය කිරීමට නොහැකි අයුරින් ධාවනය කිරීමේ වරද සඳහාද දඩය රුපියල් 1000 ක් නියම කර ඇත.

මේ අයුරින් සංශෝධිත දඩ පනතට ස්ථානීය දඩ 33 ක් ඇතුළත් වේ. ඒවා මෙතෙක් රටේ පැවති නීතින් බවත් කාලීන වශයෙන් සුදුසු පරිදි සංශෝධනයට ලක් කර විසි වසරක් පමණ පැරණි නීති යාවත්කාලීන කොට සම්මත කොට ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙයි. ඒ අනුව දැන් ක්‍රියාත්මක වෙමින් ඇත්තේ අංක 2054/9 යටතේ 2018 ජනවාරි 15 නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාර නීතියයි.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 

අලුත් දඩ 33 ක් කියන කතාව වැරදියි
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ

“කාලයක් තිස්සේ මේ රටේ රථවාහන දඩ මුදල් වැඩිවීමක් හෝ සංශෝධනයක් සිදුවෙලා නෑ. එවැනි සමහර දඩ මුදල රුපියල් 20 ක් වශයෙන් තිබුණා. වසර ගණනකට කලින් නීතිගත කළ එම දඩ මුදල් වර්තමානයට කිසිසේත්ම ගැලපෙන්නේ නෑ. වාහනයක් පැදවීමේදී රියැදුරන්ට නීතිගරුකත්වයක් සහ විනීත බවක් තිබිය යුතුයි. මේවා රකින්න පැනවිය හැකි එක් ක්‍රමයක් තමයි දඩ මුදල.

දඩය මගින් සියලු අඩුපාඩු හදන්න බැරිවුණත් ඊට යම් පිටුවහලක් වෙනවා. මේ හේතුව නිසා දඩ මුදල් වැඩිකිරීම කළා. අලුත් දඩ තිස්තුනක් කියලා ඇතැමුන් අර්ථ දැක්වුවත් මේවා අලුත් නෑ. මේවා කලින් ඉඳලා පැවතුණු ඒවාමයි. මේවා ස්ථානීය දඩ වශයෙන් පැවතුණා. ඒ සඳහා හේතුවුණු කරුණු පිළිබඳව රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට විභාගවලට පෙනී සිටියදී සහ පුහුණුව ලබද්දී දැනුම්වත් වෙලා තියෙනවා. කිසිම කෙනකුට කියන්න බෑ අපි මේ දඩ ගැන දන්නේ නෑ කියලා. නීතිය පිළිබඳව දැනනොසිටීම නීතියෙන් ගැලවීමට හේතුවක් වෙන්නේ නෑ.

තමන්ගේ විෂය පථයට අවශ්‍ය තොරතුරු දැනගන්න විවිධ මාධ්‍ය තියෙනවා. මෙතෙක් ලංකාවේ පැවති රථවාහන දඩ 33 ක් සංශෝධනය කොට ක්‍රියාත්මක කර තිබෙනවා. මීට අමතරව ස්ථානීය දඩ නොවන අධිකරණය මගින් පමුණුවන දඩ හා දඬුවම්වලට අයත් වන බීමත්ව රිය පැදවීම, හදිසි අනතුරක් සිදුකිරීම, මරණීය තුවාල සිදුකිරීම, පදික මාරුවේදී පදිකයන් අනතුරට ලක් කිරීම, වාහන එකිනෙක ගැටී අනතුරට පත් කිරීම ආදිය සඳහා වන නීතිය එලෙසින්ම ක්‍රියාත්මක වෙනවා.”

අලුත් දඩ 14 ක් නව පත්‍රිකාවේ තිබෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර

“පැරැණි දඩ ක්‍රමයේ ස්ථානීය දඩ 23 ක් පැවතුණා. නව සංශෝධිත දඩ පත්‍රිකාවේ ස්ථානීය දඩ 33 ක් සඳහන් වෙනවා. පැරැණි ක්‍රමයේ පැවති දඩ තුනක් නව දඩ ක්‍රමයට ඇතුළත්ව නෑ. බලපත්‍ර නොමැතිව පැදවීම, වයස අවුරුදු 18ට අඩු අය පැදවීම සහ බලපත්‍ර නොමැති අයකු සේවයේ යෙදවීම ඒ අතර වෙනවා. මේ ත්‍රිත්වය නව දඩ ක්‍රමයේ නැතිවීම නිසා එම වරදට එරෙහිව අධිකරණයේ නඩු පැවරීම සිදුවෙනවා.

පැරැණි ක්‍රමයේ පැවති හැඳිනීමේ තහඩුව සහ හැඳිනීමේ තහඩුවේ හැඩය කියන දෙකම එක් වරදක් විදිහට හඳුනාගැනීමේ තහඩුව වශයෙන් රුපියල් 1000ක දඩයක් ඇතුළත් කොට තියෙනවා. මීට අමතරව අලුතින්ම දඩ 14 ක් නව දඩ පත්‍රිකාවේ සඳහන් වෙනවා. ස්ථානීය දඩ ගෙවීම සඳහා දින 14 ක් ලබාදෙනවා. එම කාලය තුළ ගෙවීම නොකරනවා නම් අමතර දින 14 ක් ලැබෙනවා. එහිදී ගෙවීම සිදුකරනවා නම් දඩ මුදල දෙගුණයක් වීම සිදුවෙනවා.

දඩ මුදල් ගෙවීම තැපැල් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකෙරෙනවා. රථවාහන රාජකාරියේ නිරත වන නිලධාරීන්ට අල්ලස් ලබාදීම වරදක් වගේම ඔවුන් මුදල් ලබාගැනීමත් වැරදියි. ඒ පිළිබඳව දෙපාර්ශ්වයම අවබෝධය ලබාගත යුතුයි. පොලීසිය පාර්ශ්වයෙන් ඒ සඳහා චෝදනා පත්‍ර නිකුත් කරනවා. විනය පියවර ගන්නවා. වැඩ තහනමට ලක් කරනවා. අවසානයේ වරදකරැ වුවහොත් සේවයෙන් පහකිරීම සිදුවෙනවා. අල්ලස් මුදල් දීමක් නම් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමටත් නඩු පැවරීමටත් බලය තියෙනවා.”

පාරේ වැරදි හදන්නෙ නැතුව දඩේ ඉහළ දැමීම වැරදියි
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

“දඩ සංශෝධනය 2005 වසරේ ඉඳන් ආපු කතාවක්. ගිය ආණ්ඩුවෙන් ආරම්භ කළාට 2018 මේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කළේ. රථවාහන දඩ ඉහළ නැංවීම කියන කාරණයේ ප්‍රධාන අපේක්ෂාවන් තුනක් තියෙනවා. රිය අනතුරු අඩුවීම, මාර්ග තදබදය අඩුවීම සහ මාර්ග විනය ඇති කිරීම ඒ අතර වෙනවා. නමුත් ඊට කලින් ප්‍රවාහනය පිළිබඳ අවශ්‍ය යටිතල පහසුකම් ඇතිකළ යුතුයි. එහෙම නොකර දඩ මුදල ඉහළ නැංවීම අසාධාරණයි. නිසියාකාර මාර්ග පද්ධතියක් නොමැතිව දඩ ඉහළ දැමීම වැරදියි. ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වගකිව යුතුයි. නතර සීමාවල වේගසීමා පුවරු දකින්නට නෑ. නගරයේදී බස් රථ, ත්‍රිරෝද රථ, ලොරි රථ නැවැත්වීමට පහසුකම් නෑ. එහෙම තිබියදී අක්‍රමවත් දඩ ඉහළ නැංවීම ගැටලුවක්. මේ සම්බන්ධව ජනතාවට අවබෝධයක් නෑ. 

මාර්ගයට අවශ්‍ය ක්‍රමවත් පහසුකම් දීලා මෙය සිදුකළා නම් මෙම වැඩිකිරීමට අපි විරැද්ධ නෑ. නමුත් මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතුයි. පුවත්පත් නිවේදන පළ කළ යුතුයි. එහෙම කරනකම් දඩ අයකිරීම තාවකාලිකව නවත්වන්න කියන එකයි අපේ ඉල්ලීම. මේ හේතුවෙන් ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් යොමුකළා.”

වමෙන් ගියත් දකුණෙන් ගියත් දඩ ගෙවන්න වෙනවා
සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ

“දඩ සංශෝධනය සඳහා ගිය වසරේ කමිටුවක් පත් කර තිබුණා. ඔවුන් රුපියල් 25,000 දඩය අවශ්‍ය නෑ කීවා. 148 වගන්තිය අනුව මාර්ග රීතිවලට අවනත නොවීම සඳහා දඩය 500 සිට 1000 දක්වා ඉහළ නැංවීමට යෝජනා වුණා. එහි අසාධාරණයක් ඇත්නම් අපිට දන්වන්න කීවා. එදා ඒකට කවුරුත් එරෙහි වුණා. නමුත් දැන් දඩ පනතේ ඒ සඳහා රුපියල් 2000 ක් නියම කරලා තියෙනවා. ඒක අසාධාරණයි. මේ වගන්තියේ අපහැදිලිතාවය නිසා අසත්‍ය චෝදනාවලට දඩ ගෙවන්න සිදුවෙනවා. හරියට බැලුවම වමෙන් ඉස්සර කිරීමත් වැරදියි. දකුණෙන් ඉස්සර කිරීමත් වැරදියි. එහෙම දඩ ක්‍රියාත්මක කරනවා නම් වාචිකව නැතිව රියැදුරන්ට වරද පෙන්වා දීමට වීඩියෝ තාක්ෂණය භාවිත කළ යුතුයි.

සුඛෝපභෝගී වාහනවලට මේක ගැටලුවක් වෙන එකක් නෑ. ඔවුන්ගේ වාහනවල කැමරා තියෙන නිසා පෙන්වීමට හැකියි. නමුත් අනිත් රියැදුරන්ට අවාසියි. මේ අසාර්ථකත්වය දූෂිත නිලධාරීන්ට අවස්ථාවක් වෙයි. ඔය කියන පනත සාර්ථක නම් පාරේ වාහන තදබදයක් ඇතිවෙන්නම බෑ. මංතීරු 3 ක් තියෙන මාර්ගයක නම් නිරතුරුවම දකුණු මංතීරුව නිදහසේ තිබිය යුතුයි. 2014 දෙසැම්බර් මාසයේදී මාර්ග අනතුරැ ඉහළ යාමට හේතු හොයන විද්වත් කමිටුවක් පාර්ලිමේන්තුව මගින් පත් කළා. කිසිවිටෙකත් ඔවුන් කීවේ නෑ, දඩ ඉහළ නැංවීම වාහන අනතුරු අඩුවීමට හේතුවක් කියලා. ස්ථානීය දඩ පොලීසියේ තෑගි අරමුදලට බාරවෙනවා. මේ නිසා ස්ථානීය දඩ ව්‍යාපාරයක් බවට පත්වේවි. මේ හේතු නිසා ත්‍රිරෝද රථ සංගම්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගම් ඇතුළු සංවිධානය එකමුතුවකින් මානව හිමිකම් උල්ලංඝනය වුණා කියන පැමිණිල්ල යොමුකරලා තියෙනවා.”