2018 ජුලි 21 වන සෙනසුරාදා

බුදුසමය සහ මනෝවිද්‍යාව ගැන හර්ෂිකාගෙන් පොත් දෙකක්

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 861

බුදුසමය සහ සන්නිවේදන කළමනාකරණය

මානව හා සමාජ සබඳතාවයන්හි මෙවලම සන්නිවේදනයයි. මානව සන්නිවේදනය වඩාත් තීව්‍ර හා සංකීර්ණ ක්ෂේත්‍රයකි. නූතන අවධිය වන විට විවිධ පැතිකඩ ඔස්සේ මේ පිළිබඳ බොහෝ පර්යේෂණ සිදුකරමින් පවතී. 

බෞද්ධ සන්නිවේදන විෂය පෝෂණය හා සංවර්ධනය කරමින් බෞද්ධ සන්නිවේදන න්‍යායයන් කදිමට විවරණය කළ හර්ෂිකා බණ්ඩාර දසනායක විසින් රචිත බුදුසමය සහ සන්නිවේදන කළමනාකරණය* නමැති කෘතිය බෞද්ධ සන්නිවේදනය හදාරන ගුරු-සිසු සැමට අත්පොතක් වශයෙන් ද අගය කළ හැකිය. මෙම කෘතිය එම විෂයන්ට අදාළ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ප්‍රමාණික ග්‍රන්ථයක් වශයෙන් ද නිර්දේශ කළ හැකිය.

රුහුණ විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරියක වශයෙන් ද නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙහි සහකාර ලේඛකාධිකාරීවරියක වශයෙන් ද සේවයෙහි නිරත මෙහි කතුවරිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ද, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, රුහුණ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ද, එම විශ්වවිද්‍යාලයෙන්ම උපදේශන මනෝවිද්‍යා ඩිප්ලෝමාව ද හදාරා බෞද්ධ අධ්‍යයනය සහ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණාත්මක කෘති කිහිපයක් රචනා කොට ඇති විද්වත් ලේඛිකාවකි. ඇය විසින් රචිත අභිනව ග්‍රන්ථය ශාස්ත්‍රීය ගමන් මගෙහි තවත් එක් විශිෂ්ට මඟ සලකුණක් සනිටුහන් කරන සන්ධිස්ථානයක් වශයෙන් ද සඳහන් කළ හැකිය.

මහාචාර්ය තැරෑලේ ධම්මරතන හිමි,
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශ ප්‍රධාන, 
කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය.

 

මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශය

මානව ගැටලු විසඳාගැනීමෙහිලා මනෝවිද්‍යාත්මක උපදේශනයෙන් ලැබෙන මාර්ගෝපදේශනය අතිශය ප්‍රශස්තය. එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි. මනෝවිද්‍යා උපදේශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ප්‍රාමාණික ග්‍රන්ථ සොයාගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අතිශය දුලබ වීම ඊට හේතුවයි. මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශ නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණ කිරීමට සමත් වීම සම්බන්ධයෙන් ගත් කතුවරියට සියල්ලන්ගේ සුභාශිංසනය හිමිවේ.

වර්තමාන සංකීර්ණ සමාජ වටපිටාවත් සමඟ න්‍යායාත්මක දැනුම සහ උපදේශක ගුණාංගවලින් සමන්විත වෘත්තීය උපදේශකවරුන්ගේ අවශ්‍යතාව දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී. මනෝවිද්‍යාවෙහි නවමු විද්‍යාත්මක සොයාගැනීම් ගැඹුරින් අධ්‍යයනය කරමින් රචිත මෙම කෘතිය එබඳු වෘත්තිකයන් නිෂ්පාදනය කිරීමටද ස්වයං අධ්‍යයනයෙහි යෙදෙන ශාස්ත්‍රහිතකාමීන්ට ද ගැටලු නිරාකරණය කර ගැනීමට වෙර දරන්නවුන්ට ද කෘතහස්ත ග්‍රන්ථයකි. මනෝවිද්‍යාත්මක ප්‍රවේශ සරලව, ප්‍රායෝගික නිදර්ශන සහිතව නූතන ලෝකයට හඳුන්වාදීම සම්බන්ධයෙන් ද ගත් කතුවරිය සතු පරිචය මැනවින් ප්‍රකට කරන අතර එය බෞද්ධ අධ්‍යයනය සහ උපදේශනය සම්බන්ධයෙන් අනාගත ගමන් මගෙහි එක් මඟ සලකුණක් සනිටුහන් කරන්නකැයි කිව හැකිය.
ආචාර්ය උපාලි පන්නිලගේ,

මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර.