2018 ජුලි 21 වන සෙනසුරාදා

කබලානෙන් මිසරයට යන්න

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

කතලුව කබලාන කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට අයිති පුංචි ධීවර ගම්මානයක්. සුන්දර වෙරළ තීරයකින් සමන්විත මේ ගම්මානය පිහිටා තිබෙන්නේ අහංගම ආසන්නයේයි. අහංගම කියූ සැණින් බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ ලෝක ප්‍රකට රිටි පන්න ක්‍රමයයි. නමුත් ඊට අමතරව අහංගම සංචාරක කර්මාන්තයට අලුත් අලෝකයක් ගෙනා තවත් ආකර්ෂණයක් විදිහට කබලාන හෝටලය (Hotel Kabalana) හඳුන්වන්න පුළුවන්. 

මේ හෝටලය පිහිටා තිබෙන්නේ මුහුදට මුහුණලාගෙන. මෙතැන විශේෂත්වය වන්නේ මෙය තවත් එක් වෙරළ නවාතැනක් පමණක් නොවී ටිකක් වෙනස් තේමාවක් ගැනීමයි. ඒ තමයි මිසර තේමාව. පුරාණ මිසර ශිෂ්ටාචාරයේ සංස්කෘතික ලක්ෂණ ලංකාවේ අහංගම වෙරළබඩ බිමක ගොඩනංවා තිබීම ඇත්තෙන්ම අපූරු අත්දැකීමක්! 

ඊජිප්තුවේ පාරාවෝ රජ සමයට අයත් දේව ඇදහිලි, සංකේත, ප්‍රතිමා ආදිය හෝටලයේ අලංකාරය වැඩි කරන්නට සමත් වෙලා. 

හෝටලයේ මුළු කාමර සංඛ්‍යාව 45ක්. ඊට deluxe කාමර 20ක්, superior කාමර 10ක්, විලා 12ක් සහ විශාල බංගලාවක් ඇතුළත්. කාමරවල තිබෙන බැල්කනි මුහුද දෙසටත් හෝටලයට පිටුපසින් ඇති වනාන්තරය දෙසටත් හැරී තිබෙනවා. විශේෂයෙන්ම මුහුද දෙසට හැරුණු බැල්කනියක සිට ඉන්දියන් සාගරයේ මනස්කාන්ත දර්ශනයක් අත්විඳින්න පුළුවන්. 

මෙහි සියලු කාමර සේප්පුවක් සහිත අල්මාරියකින් සමන්විතයි. නාන කාමරවල විශේෂත්වයක් වන්නේ ඉලෙක්ට්‍රොනික් ස්මාට් වැසිකිළියක් යොදාගෙන තිබීමයි. ඒ නිසා අති නවීන පහසුකම් සහිතව පුද්ගල සනීපාරක්ෂාව සලසාගන්නට සංචාරකයන්ට හැකිවෙනවා.

හෝටලය තුළ ආහාර ගැනීමට ප්‍රධාන තැන් දෙකක් තිබෙනවා. ඒ Al Fresco Garden අවන්හල සහ ප්‍රධාන කෝපිහලයි. ඒ තැන් දෙකෙහිදීම හවස් කාලෙට හිරු ක්ෂිතිජයේ ගිලෙන මනරම් දර්ශනය අත්විඳින්න පුළුවන්. කෑම බීම ගැන කතා කිරීමේදී හැබෑම ශ්‍රී ලාංකික රසයෙන් යුතු ආහාර රස විඳිය හැකියි. ඊට අමතරව ආසියානු සහ බටහිර ආහාර වර්ගත් ඇණවුම් කරන්න පුළුවන්. කොහොම වුණත් මෙතැනදී වැඩිදෙනෙක්ගේ ආදරය අවධානය දිනාගෙන තිබෙන්නේ seafood වෙනුවෙනුයි. දකුණටම අවේණික කකුළුවන් වෑංජනය, හොට් ඇන්ඩ් ස්පයිසි ඉස්සන් වෑංජනය ඒ අතරින් ප්‍රධානයි. A la carte මෙනුපතේදී ඉතාලි, ඉන්දියානු, තායි සහ ඉන්දුනීසියානු ආහාර වර්ග කිහිපයකුත් දැකගත හැකියි. 

හෝටලයේදී පිරිනැමෙන වෙනත් පහසුකම් අතර ආයුර්වේදයටත් ලොකු තැනක් හිමිවෙනවා. එහිදී නේවාසිකව සුවතා ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් වෙන්කරවාගන්නත් පුළුවන්. ඊට අමතරව 400 දෙනකුට එකවර අසුන්ගත හැකි දැවැන්ත උත්සව ශාලාවකුත් මෙහි තිබෙනවා. උත්සව ශාලාව පවා අලංකාර කර තිබෙන්නේ ඊජිප්තු සිතුවම්වලින්. 

මේ නිසා සිංහරාජයට, දකුණු මුහුදු තීරයට, කලමැටියට, වෙහෙරහේනට, මඩොල් දූවට යන අතරමගදී වෙනස් තාලේ හෝටල් අත්දැකීමක් විඳින්නට රිසි අයට කබලාන හෝටලය අපූරු නවාතැනක් වේවි. 

♦  සනත් වීරසූරිය

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00