2018 ජුලි 21 වන සෙනසුරාදා

ආණ්ඩු වැට්ටූ ආණ්ඩු නැග්ගූ හාල් පොත

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 838

රජයේ සහල් සහනාධාරය ලබාදීමට අදාළව එක් එක් පුද්ගලයා හට එකල නිකුත් කළ සහල් සළාක පොතට සැමදෙනාම පාහේ කීවේ හාල්පොත කියාය. කූපන් පොත හෝ කූපං පොත යනුවෙන් ද අයෙක් එය හැඳින්වූහ. ඉස්සර කූපන් කිසිවක් කපන්නට පෙර අලුත ගෙනා හාල් පොත තාත්තා අපට අත්සන් කරන්නට දුන්නා මට හොඳින් මතකය. ජීවිතයේ පසු කාලයේදී විවිධ පොත්වල අත්සන් කරන්නට යෙදුණේ සිතේ මහත් වගකීමක් දරාගෙනයි. එහෙත් කුඩා කළ නැවුම් හාල් පොත අප අත්සන් කළේ ඉමහත් සතුටකිනි.

එසේ වුවද දවස පුරා කෙළිදෙලෙන් කාලය ගතකළ අපට ගෙදර හාල්පොත් ටිකත් අරගෙන සමූපාකාරයට යන්නට කී විට නම් දැනුණේ කනස්සල්ලකි. මන්දයත් විවිධ සේවා සමූපාකාරය දැන් තිබෙන සුපර් මාර්කට් තරම් විසිතුරු ප්‍රියමනාප තැනක් නොවූ නිසාය. සමූපාකාරයට ගිය විට අඩුගණනේ දහ පහළොස් දෙනෙකුවත් ඉන්නා පෝලිමක ළගින්නට සිදුවේ. එක තැනක නොරැඳී සෙල්ලම් කළ අපට හෙමි හෙමිහිට ගොළුබෙලි ගමනින් ඉදිරියට ගිය පෝලිමක ඉන්නට සිදුවීම සෑබෑ දඬුවමක්ම විය. දුර්වර්ණ බිත්ති ඇති සමූපාකාරයේ සිමෙන්ති ඇතිරූ බිම පයට පෑගුණ දුවිල්ල ගෙනදුන්නේ අප්පිරියාවකි. (ටයිල් ඇතිරෑ සුපර් මාර්කට් මෙන් නොව) රටින් ගෙනා පරණ හාල්වල ගන්ධය, ලූනු වැනි වියළි ආහාරවලින් ආ කුයිල නාසයට ගෙන දුන්නේ සුවයක් නොවේ. සමූපයේදී හාල් පෝලිමද බඩු පෝලිමද යන්න මුලින්ම තෝරාගෙන අදාළ පෝලිමේ සිටගත යුතුය. කූපනය කපාගත්තේ නම් ඊළඟට බිල් ලියන පෝලිමට යා යුතුය. 
හාල් කිරාදෙන පෝලිමට ඊළඟට යා යුතුය. එකල හාල් මැන්නේ සේරු ගානටය. සේරුවට හාල් පුරවා පොඩි කොහුමිටි කැබැල්ලක් වැනි පොලු කෑල්ලකින් කැපූ විට එය හාල් සේරුවක් ලෙස නම් කෙරිණි. සාමාන්‍ය හාල් සේරුවක බර කිලෝග්‍රෑම් එකක් නැතහොත් එකල බර කිරූ රාත්තල්වලින් නම් රාත්තල් 2.2කි. සමූපාකාරයෙන් රාත්තල්වලින් එම සේරු ගණන් කිරා දුන්නා මතකය.

අප කුඩා කාලයේ සමූපාකාරයෙන් හාල් රැගෙන ආවේ කොට්ටා උරවලටයි. ඒ කාලයේ සමූපේ සිට කොට්ට උරයකට සහල් රැගෙන ඒම ලජ්ජාවට කාරණයක් වූයේ නැත. ඒ කාලයේ දුප්පත් පොහොසත් සැවොම එසේ කළෝය. කොට්ට උරයට හාල් දමා උඩ හරියෙන් එය යස අගේට අතපිටට අල්ලාගත හැකිවූයේය. පොලිතින් මල්ලකින්, සිලිමල්ලකින් කළ දේ අප එදා කළේ කොට්ට උරයකිනි.

දැන් කාලයේ සහල් අලෙවිසලකට ගියවිට අපි සහල් වර්ග විස්සකට ආසන්න සංඛ්‍යාවකින් අපට ඕනෑ වර්ගය තෝරා ගනිමු. ඒ කාලයේ සමූපාකාරයෙන් දෙන හාල් රැගෙන කර බාගෙන ඉන්නට සිදුවිය. එක කාලයකට මිල්චාට් දෙයි. තවත් සතියකදී සුදු හාල් දෙයි. පසු කලෙක වරින් වර රතු නිවුඩු හාල්ද නිකුත් කළා මතකය. දෙන හාල පිළිබඳව මැසිවිලි ඉඳහිට පුවත්පත්වල පළ නොවූවා නොවේ. සමූපාකාරයට අදාළ කොට්ඨාසයේ සැවොම දුප්පත් පොහොසත් භේදයකින් තොරව සමූපාකාරයෙන් දෙන හාලේ බත අනුභවකොට මුනිවත රැක්කෝය. (1972/73 කාලයේ පටන් 77 දක්වා විවෘත වෙළෙඳ පොළේ කිසිතැනක සමූපාකාරයට පිටින් හාල් ගන්නට තිබුණේ නැත.) ඉහත කී ආකාරයට සමූපාකාරයෙන් දෙන හාලේ බත කා කරබාගෙන සිටියද ජනයා තම ආවේගය පිටකර, වාඩුව ඇල්ලුවේ ඊළඟට එන මැතිවරණයේදීය.

හාල්පොත සහ සහල් සහනාධාරය පිළිබඳව අර්ධ නාගරික ප්‍රදේශවල විසූ අපගේ අත්දැකීම් එසේ වුවද කෙත්වතු වපුරා තමන්ගේ සහල් පරිභෝජනය කළ අයගේ අත්දැකීම මීට වෙනස් විය හැකියි.

හාල්පොත මුලින්ම හඳුන්වා දී තිබුණේ දෙවැනි ලෝක මහා යුද්දයෙන් අනතුරුව එවකට පැවති යටත් විජිත රජයයි. ඉන්පසුව පනස් ගණන්වල මුල් භාගයේ සිට 1977 හාල් පොත අහෝසි කරන තුරු දේශපාලන පෙරළි රාශියකට මුල්වූයේ හෝ ආසන්නතම හේතුව වූයේ හාල්පොත ඔස්සේ දෙන ලද සහල් සහනාධාරයයි. සහල් සහනාධාර දෙන්නේද නොදෙන්නේද හාල් සේරු කීයක් කිනම් මිලකට දෙන්නේද යන්න ඉහත කී පෙරළිවලට ඍජුවට බලපා තිබේ.

සහල් මිල වැඩි කිරීමට විරෝධය පා එවකට පැවති එ.ජා.ප. රජයේ ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රීපාල සේනානායක මහතා 1952 සැප්තැම්බර් 03 වැනිදා ඉල්ලා අස්වූයේය. 1952 දක්වා හාල්පොතට, සහනාධාර වශයෙන් එක් අයකුට ශත විසිපහ ගණනේ සේරු එකක් නිකුත් කොට තිබිණි. 1953 දී ජූලි මාසයේදී සහනාධාරය ඉවත්කොට, සේරුවක් ශත හැත්තෑව දක්වා වැඩි කරන ලදි. එම වැඩි කළ මුදලට එක් අයකුට සේරු 1 ½ බැගින් හාල් පොතට නිකුත් කිරීමට තීරණය විය. 1953 එවකට මුදල් අමාත්‍ය ධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළ අයවැයෙන් මේ සමඟ තැපැල් ගාස්තුද වැඩිකරන ලදී. 1953 හර්තාලයට ආසන්නතම හේතුව වූයේ හාල්පොතේ සහනාධාරය මූලික කරගත් සහනාධාර ඉවත් කිරීමයි. 1953 අගෝස්තු 12 වැනිදා මහා හර්තාලයේදී පොලිස් හා හමුදා වෙඩි පහරින් දොළොස් දෙනෙකු මිය යෑමෙන් අනතුරුව, 1953 ඔක්තෝබර් 12 වැනිදා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වී අගමැති තනතුරට සර් ජෝන් කොතලාවල මහතා පත්වූයේය. හර්තාලයේ ප්‍රතිඵලයක් ලෙස 1953 ඔක්තෝබර් මාසයේ නැවත සේරුවක මිල ශත 55 දක්වා අඩු කෙරිණි. හාල් පොතට එක් අයකුට එම මිලට සේරැ 1 ½ ක් ගත හැකිවිය. ඉහත කී 53 හර්තාලයට අදාළව සිදුවූ සිද්ධීන් විවිධ ප්‍රදේශවල ජනයා තවමත් මතක් කරති. බලපිටිය අම්බලන්ගොඩ පැතිවල කාන්තාවෝ සහල් සහනාධාරය ඉවත් කිරීමට විරෝධය පා පාරේ රොටි/ ආප්ප පිච්චුවාලු.

53 හර්තාලයේ සමසමාජ ක්‍රියාකාරියකු වූ ආර්.ජී. තෙලේනිස් මහතාව පොලිසියෙන් අල්ලන්නට පැමිණි වෙලේ “මම ඇඳ යට ඉන්නවා කියන්න එපා.“යයි තම පුතුට කියූ ඔහු ඇඳ යට සැඟවුණේලු. පොලිසියෙන් තෙලේනිස් සොයා පැමිණි විගස ඔහුගේ පුතා පොලිසියට පිළිතුරු දෙමින් “තාත්තා ඇඳ යට නෑ” කියූ බව අදත් යටියන්තොට පැත්තේ පැරණි ගැමියෝ කියති. තෙලේනිස් මාමාව පොලිසියෙන් ගෙන යන වෙලේ තෙලේනිස් මාමාගේ බිරිඳ දැඩි විරෝධය පා පොලිස් නිලධාරියකුගේ තොප්පිය ගලවා ගත් බවද ඒ ප්‍රදේශයේ පැරණි ගැමියෙක් කියති. ජන නැගිටීමට බියෙන් හර්තාලය කාලේ කැබිනට් රැස්වීම් පවත්වා ඇත්තේ කොළඹ වරායේ නවතා තිබූ “HMS නිව්ෆවුන්ලඩ්” නෞකාවේය. කෙසේ වුවද 1955 ඔක්තෝබර වනවිට හාල් සේරු දෙකක් එකක් ශත විසිපහ බැගින් හාල් පොතට ලැබුණේ, හර්තාලයේම ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේ හෝ නැවත 1959 දී හාල් පොතට එක් අයකුට පළමු සේරැව ශත 25ටත් දෙවැනි සේරැව ශත 45ටත් නියම වූයේය.

ඉන්පසු 1960 මාර්තු 19 පැවති මැතිවරණයෙන් ජයගත් ඩඩ්ලි සේනානායක මහතා අගමැති වශයෙන් පත්වූ රජයේ, රාජාසන කතාවේ ජනප්‍රියම කොටස වූයේ සහල් සලාක පොතට සතිපතා සේරු 2ක්ම ශත 25කට ලබාගත හැකිවන සේ මිල අඩු කිරීම බව මල්ලගොඩ බන්ධුතිලක මහතාගේ ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය පොතේ සඳහන් වේ. එම මිල 1960 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වී ඇති බව වාර්තාවලින් පෙනේ.

හාල්පොතේ සහල් සලාකය පිළිබඳ මීළඟ අර්බුදය මතුවූයේ 1966 දීය. එවකට අප වැඩිහරියක් සහල් ආනයනය කළේ බුරුමයෙනි. (දැන් මියන්මාරේ) 1966 දෙසැම්බර් වනවිට බුරුමයේ අස්වැන්න පහත වැටීම නිසා නියමකර ගෙන තිබූ පරිදි බුරුමයෙන් අප හට සහල් මිලදී ගන්නට නොහැකි වූයේය. ආසියාකරයේ සහල් පරිභෝජනය කරන රටවලින් සහල් සඳහා ඇති ඉල්ලුමද ඒ සමඟ වැඩි විය. වැඩිහරියක් සහල් නිෂ්පාදනය කොට පිටරට යැවූයේ එම රටවල්මය. එම රටවල් ඇතුළත සහල් සැපයුම වැඩිකොට අපනයනය අඩු කළේ උද්ධමනයට පිළියමක් වශයෙනි. අවසාන ප්‍රතිඵලය වූයේ අපට අඩු මිලට ගන්නට ප්‍රමාණවත් සහල් තොග විදේශීය සහල් වෙළෙඳපොළේ නොමැති වීමයි. ඒ වනවිට රජය අතුරු මැතිවරණ 3ක්ම පැරදී සිටිය බව වාර්තාවල සඳහන්ය. ආණ්ඩු විරෝධය දස අතින් නැගෙන්නට විය. ඒ බව 1966 දෙසැම්බර් 21 වැනි බදාදා ඩේලි මිරර් පුවත්පතේ සිරස් තලයෙන් පැහැදිලිය.

ANTI. GOVT. WAR DRUMS BOOM 
(ආණ්ඩු විරෝධී බෙර හඬ දෝංකාර දේ)

IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) කී පරිදි සහනාධාර කපා හරින්නට ඩඩ්ලි සේනානායක අගමැතිවරයා අකමැති වූයේ 1953 උගත් පාඩම මතක තිබූ බැවිනි. සියලු සහනාධාර ඉවත්කොට අලුත් ආර්ථික ප්‍රතිපත්ති කරා යාම එවකට රාජ්‍ය ඇමැතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අදහස වූ බැව් පෙනේ. ඔහු පොතට දෙන සහල් ප්‍රමාණය අඩු කරන්නට හෝ සහල් මිල වැඩි කරන්නට කැමතිව උන් බව පැහැදිලිය. ඩඩ්ලි ඊට අකමැති වීමට හේතු රාශියක්ම තිබිණි. පත්කරන ලද කමිටු නිර්දේශයක් අනුව එකම එක හාල් සේරුවක් නිකං (නොමිලේ) එක් අයෙකුට හාල් පොතෙන් සතියකට නිකුත් කරන්නට තීරණ වූයේය.

මින් අනතුරුව රටේ සහල් නිෂ්පාදනය වැඩි කිරීම ඇතුළු කෘෂිකාර්මික ප්‍රවර්ධන වැඩසටහන්වලට රජයෙන් ප්‍රබල ප්‍රචාරයක් ආරම්භ වූයේය. ලොව හරිත විප්ලවයත් සමඟ එළිදුටු නව කෘෂිකාර්මික තාක්ෂණය ජනයා අතරට ගෙනයන්නට රජය උත්සුක වූයේය. ගුවන් විදුලියේත් පුවත්පත්වලත් පොදු ජනයාට හුරු භාෂාවෙන් කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා වැඩසටහන් දියත් වූයේය. ගොවිකම් සඟරාව එළිදුටුයේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි. ගොවිතැනේ අගය කියනා ගීත නිතර ඇසෙන්නට විය.

“අල්ලක් වපුරා - මල්ලක් ගෙට ගන්න”

“බොහෝ ශීර්ෂ පාඨවලට ගත් ගීයක කොටසක් පහත දැක්වේ.

“රටක මව් දයා - ගොවිකම වේය දනු ශ්‍රියා”

(මේ ගීතය ආශ්‍රයෙන් නිර්මාණ වූ දයාගේත් ශ්‍රියාගේත් යාං හෑල්ලක් වෙනම ඇත.)

ස්වයං පෝෂණය ගැන කිය දේශභිමානී ගීතද නිතර ගුවන් විදුලියෙන් ඇසෙන්නට ගත්තේය. රජයේ මැදිහත් වීමෙන් ගොවි හමුදාවක් ද පිහිටවූයේය. ඒ පිළිබඳ විවේචන ඉදිරිපත් කළ අය එයට කීවේ බටගොයි හමුදාව කියාය. H4 වැනි නව වී ප්‍රභේද ගැනද නිතර සංවාද ඇති විය.

පෝලිම් යුගය උපරිමයකට ආයේ 1973/1974 කාලයේ වුවද පෝලිම් යුගයේ මූලික ලක්ෂණ පහළ වූයේ 1960 ගණන් මිල අගභාගයේය. සහල් හිඟවූ නිසාදෝ එකල නාගරික ජනයාගේ පාන් පරිභෝජනය ඉහළ ගියේය. නාගරිකයා රෑට පාන් කන්නට පුරුදු වූයේ මගේ මතකයේ හැටියට හැට ගණන්වලයි. (1967-68) කාලයේය. හවසට කුඩා පාන් අලෙවිසල් (Pudding House වැනි) වල පෝලිම් පෙනෙන්නට තිබිණි. සහල් හැරුණුකොට අර්තාපල් වැනි අතිරේක ආහාර ද සහන මිලට දුන්නේ සමූපාකාරයෙනි. සමුපකාරයේ පෝලිම දික්වෙන්නට ගත්තේද ඒ කාලයේ පටන්මය.

පාසල් තූර්ය වාදක කණ්ඩායමේ සිටි අප 1969 දී මාසයක් පුරා පැවති අධ්‍යාපන සියවස ප්‍රදර්ශනයේදී වැඩිපුරම වාදනය කළ ගීත තුනක් තිබිණි. පළමුවැන්න සැම දන මන දිනූ සුජාත ධරණී ගීතයයි. දෙවැන්න සාගරයක් මැද පුංචි රටක් යන ගීතයයි. තුන්වැන්න දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙව‍ණේ ගීතයයි. (මගේ මතකයේ හැටියට මින් ගීත එකක් හෝ දෙකක් ලියා තිබුණේ එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල)

ඒවා මා ඉහත කී ගුවන්විදුලියෙන් නිතර ප්‍රචාරය කළ වර්ගයේ ගීතයන්ය. එක් පුවත්පතක උපහාසයෙන් යුතුව තුන්වනුව කී ගීතයේ තනුව අනුව ලියා තිබුණේ පහත ගීතයයි.

“දකුණ නැගෙනහිර - බටහිර උතුරද එක පෝලිමෙ සෙවණේ”

වර්තමානයේ පිටි ආහාර වූ, කොත්තු රොටි, ඉඳිආප්ප, පාන් සහ බේකරි නිෂ්පාදන සුලභව අනුභව කරද්දී අදටත් රටේ ඒකපුද්ගල සහල් පරිභෝජනය එක පුද්ගලයකුට වසරකට කිලෝග්‍රෑම් 105 - 110කට සමීපව දෝලනය වේ. කෙසේ වුවද මීට සාපේක්ෂව ගත් විට 1969 දී වසරකට හාල් පොතෙන් ලැබුණු සේරු 48 (කිලෝග්‍රෑම් 48) එක් අයකුට ප්‍රමාණවත් නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත.

මුළු ලෝකයේම නිෂ්පාදනය වූ සහල් ප්‍රමාණය පැවති සහල් ඉල්ලුමට ප්‍රමාණවත් නොවන තත්ත්වයකදී තිබියදී 1970 මැතිවරණය ළංවූයේය. සමගි පෙරමුණු රජය මැතිවරණයෙන් ජය ගතහොත් “හඳෙන් හෝ සහල් ගෙනවිත් දෙන්නට” සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පොරොන්දු වූයේ මෙම වාතාවරණය තුළය. පෙළපාළිවල සුප්‍රසිද්ධ සටන් පාඨය වූයේ,

“අපෙ අම්මා ළඟ එනවා - හාල් සේරැ දෙක දෙනවා” යන්නයි.

මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි 1970 පටන් හාල් සේරු 2 ක් එක් පොතකට දුන්නද පෙර පරිදිම එකක් නිකම් නිකුත් කොට දෙවැනි සේරුව දුන්නේ ශත හැත්තෑ පහකටය. බොහෝ අය බලාපොරොත්තු වූයේ සේරු දෙකම නොමිලේ දේවි යැයි කියාය. 1973 දී දෙවැනි සේරුව රුපියලක් විය. 1973 ඔක්තෝබරයේදී පටන් හාල් පොතට නොමිලේ දුන්නේ සේරු භාගයකි. මුදලට දුන් සේරුව රුපියල් 2.00 දක්වා වැඩි විය. 1974 ජූනි මාසයේදී මුදලට දෙන සේරුව 2.30 දක්වා මිල ඉහළ ගියේය.

♦ සමන් පුෂ්ප ලියනගේ
ලබන සතියට

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00