2018 ජුලි 14 වන සෙනසුරාදා

ජූලි මාසේ අපරාධ වැඩි වෙන්නේ ග්‍රහයෝ නිසාද?

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 194

මේ දිනවල රටේ ජනතාවට අසන්නට දකින්නට ලැබෙන අපරාධ සංඛ්‍යාවේ ඉහළ යාමක් තිබේ. රටේ සෑම පළාතකින්ම අපරාධ සිදුවීම වාර්තාවෙයි. මේ අවසාන මාස දෙක ඇතුළත සිදුවූ අපරාධ සංඛ්‍යාව පසුගිය මාසවලට සාපේක්ෂව වැඩි බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

දෙමව්පියන්ට දරුවන් අමතක, දරුවන්ට දෙමව්පියන් අමතක වන, සැමියාට බිරිඳද බිරිඳට සැමියාවද අමතක වන මහ විනාශකාරී කාලයක් ගෙවෙන බව ඒ අනුව පෙනී යයි. එක් පැත්තකින් මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් සිදුවෙද්දී තවත් පැත්තකින් තමන්ගේම ලේ නෑදෑකම් අමතක කොට, තමන් ආදරය කරනා අය අමතක කොට ඒ වටිනා ජීවිත විනාශ කරනා මහා පාපකාරී සිදුවීම් වාර්තා වෙයි.

විශේෂයෙන් සෑම වසරකදීම පාහේ ජූලි මස එතරම් සුබදායී වසරක් නොවන බවට පෙර වසරවල් හා සංසන්දනය කරද්දීද පෙනී යයි. මේ නිසාම ජූලි මාසය වනවිට මෙසේ රටේ අපරාධ වැඩිවීමට හේතුපාදක වන ග්‍රහචාරය කුමක්දැයි ප්‍රවීණ ජ්‍යොතිෂාචාර්ය චින්තා වික්‍රමසිංහ මහත්මියගෙන් අපි විමසීමක් කළෙමු.

“ජූලි මස අවසානය දක්ෂිනායතව ගමන් කිරීමට පටන් ගන්නවා. එමෙන්ම රවි, මිථුන හා කටක ගමන් කිරීමට පටන් ගන්නවා. ජූනි මස 15 වැනිදා සිට ජූලි මස 15 වැනිදා දක්වා කෝණ මාසය පටන් ගන්නවා. මෙය මිථුන රවි යයි කෝණ මාසවලදී භූමියේ පවතින විෂමතා පරිසරයට එකතුවෙනවා” යැයි චින්තා වික්‍රමසිංහ මහත්මිය පැවසීය.

මිථුන යනු මනුෂ්‍ය රාශියකි. සූර්යයා එහි තැන්පත් වීමෙන් මනුෂ්‍යයා සැරපරුෂ වේ. ඒ කාලයේදී ක්ෂණික කේන්තිය ඇතිවේ. දක්ෂිණායනය සහ උත්තරායනය යනුවෙන් කොටස් දෙකකි. උත්තරායනය ආරම්භ වන්නේ දෙසැම්බර් මාසයේදීය. එය අවසන් වන්නේ ජූලි මස අවසානයේදීය. ඉන්පසුව දක්ෂිණායනය ආරම්භ වේ.

මේ උත්තරායනය අවසන් කාලයේදී මිනිසුන්ට විවිධ පීඩා ඇතිකරයි. මානසිකව වැටේ. කේන්ති යෑම, ක්ෂණික තීරණ ගැනීමට පෙළඹීම, වැඩවර්ජන වැනි පීඩනයන් ඇති කරයි. ජූලි මස වර්ෂයක මැද මාසය වේ. මේ නිසා පීඩන තත්ත්වය තවත් වැඩිවේ. සෑම වර්ෂයකට මෙම ජූලි මස නොයෙකුත් පීඩනයන් තුළින් කරදරකාරී මාසයක් ලෙස හැඳින්විය හැක. පසුගිය වසරවල්වලදීද බොහෝ වැඩවර්ජන, යුද්ධ වැනි බොහෝ මිනිසුන් කෝප ගැන්වීමේ කාලය ලෙසට මෙම කාලය හැඳින්විය හැක.

මේ කාලය මැඩ පැවැත්වීමට පුරාණයේ ජීවත් වූවෝ ඇසළ පෙරහැර වැනි උත්සව පවත්වා දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය ලබාගත්හ. ඇසළ පොහොය නිමිති කොට බොහෝ දෙවි දේවතාවුන්ව අභිෂේක ගැන්වීම් සිදුකරනු ලබන්නේද පීඩාකාරී තත්ත්වයන් මැඩ පවත්වා ගැනීම සඳහාය. මෙයින් මේ කරදර බාධා මැඩපවත්වා ගත හැකි බවට පුරාණයේ විසුවෝ විශ්වාස කළහ. ඔවුහු එමගින් දෙවියන්ගෙන් පිහිට පැතූහ. වසරේ මැද භාගවලදීද පුරාණයේ රජවරුන් අතරේ යුදමය තත්ත්වයක් ඇතිවූ බවට ඉතිහාසයේ සඳහන් වේ. වර්තමානයේදී බොහෝ විහාර ආශ්‍රිතව ඇසළ පෙරහර පැවැත්වේ.

සිංහල අලුත් අවුරුදු කාලය උෂ්ණ කාලයක් ලෙසින් හැඳින්වේ. මේ කාලය තුළදීද මිනිසුන් අතරේ කේන්තියාම් ඇතිවන බවට විශ්වාස කෙරේ. එමෙන්ම අස්වැන්න නෙලා ගත් ගොවීන් අතරේ එය අතමිට සරු කාලයක් විය. මේ කාලයේදී මිනිස්සු නොයෙකුත් නරක දෑ වෙනුවෙන් පෙළඹෙති. ඒවා නතර කරලීම සඳහා පැරන්නෝ සිංහල අලුත් අවුරුදු කාලයට අවුරුදු ක්‍රීඩා පැවැත්වීම ආරම්භ කළහ. එමඟින් මිනිසුන්ගේ සිත්වල කේන්තියද දුරු වුණ අතර මිනිසුන් අතර සමගියද වර්ධනය විය.

අවුරුදු කාලයේදී හිතට එන කේන්තිය ක්‍රීඩාවලින් දුරුකරලීම පැරන්නෝ උත්සාහ ගත් අතර ජූනි සහ ජූලි කාලය තුළදී ඇතිවන පීඩා දෙවියන්ට යැද පිහිටක් ලබා ගැනීමට උත්සාහ දැරූහ. මේ නිසාම දෙවියන්ගේ අනුහස මේ කාලයේදී වැඩිකර ගැනීමට උනන්දු වූහ. එයට ප්‍රධාන හේතුව වන්නේ සෑම වසරකදීම මේ කාලය තුළදී ඇතිවන පීඩාකාරී තත්ත්වයයි.

මේ නිසා මේ ගෙවෙන්නේ කරදරකාරී කාල සීමාවකි. ජූලි මස අවසානයේදී දෙවියන්ගේ ආශීර්වාදය හිමිව සියලු දේ යහපත් ආකාරයට සිදුවන බව විශ්වාස කළ හැක. ජ්‍යොතිෂය අනුවද ඒ කාලමාන වෙන්කර ඇත්තේ පවතින දරුණුකම මැඩපැවැත්වීමටය.

“ලෝක ධාතුව දෙස දෙවියන් බලන කාලය තමයි ඉස්සරහට එන්නේ. නමුත් අද මිනිසුන් එන්න එන්නම පිරිහිලා. අද මේ පොළොවේ ගොඩනැගිලි වැඩිවෙලා. එයින් වායු දූෂණය වැඩිවෙනවා. මේ සෑම දේකින්ම අවසානයේදී වතුර ටික අඩුවෙනවා. ගස්කොළන් අඩුවෙනවා. මිනිසුන්ගේ යහපත් සිතුවිලිද අඩුවෙනවා. ඉස්සර වගේ නෙමේ... අද මිනිස්සු හරිම වෛරක්කාරයි. තමන්ගේ දේ පමණක් හිතන කොටසක් බවට පත්වෙලා. තණ්හාව වැඩිවෙලා. ආගම දහමට පිටුපාලා කරන දේවල් වැඩියි. ඉතින් දෙවියන්ගේ ආශීර්වාදය මේ පොළෝ තලයට ලැබෙන්නේ කොහොමද?” යැයි චින්තා වික්‍රමසිංහ මහත්මිය ප්‍රශ්න කරයි.

“අද මිනිසුන් විඳින නොයෙකුත් ලෙඩදුක් බොහෝ දුරට මිනිසා මේ පරිසරයට කරනා දෑවලින් ලැබෙනා විපාකද වේ. තමන්ගේ ආදරණීය බිරිඳ මරන්නට තරම් ඇතැම් මිනිසුන් පිරිහිලා. තමන්ගේ දරුවන් මැරීමට මව්පියෝ පෙළඹිලා. වර්තමානයේ සාමූහික බැඳීම පිරිහී ගිහින්. අද මිනිසුන් මුදලට යටවෙලා” ඇය කියයි.

“මේ පීඩාකාරී තත්ත්වයෙන් අත්මිඳිය හැක්කේ මිනිසුන්ට පමණයි. එය ඇතිකර ගත යුත්තේ තම පවුලෙන්මයි. දරුවන්ට ‘පවුල’ කියන හැඟීම දිය යුතුමයි. පවුලක බැඳීම කුඩා දරුවා සිට පෙන්විය යුතු වෙනවා. අද අම්මට තාත්තාට දරුවන්ට ආදරය කරන්න වෙලාවක් නැහැ. ඒ තරමටම ඔවුන්ට වැඩ වැඩියි. ඒත් අතීතයේ දරුවන් ගෙදර එනතුරු අම්මා තාත්තා කෑම ගත්තේ නැහැ. අද හැමදේම දුරකථනයට සීමාවෙලා. අද අම්මා තාත්තා දරුවන්ට කතා කරන්නේ දුරකතනයෙන්. බොහෝ ගෙවල්වල ශීතකරණයේ දා කාලයක් තිස්සේ තියාගත්තු කෑම තමයි ආහාරයට ගන්නේ. එයින් ලේ ධාතුව නරක් වෙනවා. මිනිසුන් තුළ සැහැල්ලු මනසක් නැහැ.” යැයි ජ්‍යොතිෂාචාර්ය චින්තා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළාය.

ඇතැම් මාපියෝ විහාරයකට දරුවන් සමග යාමට කම්මැලි වෙති. බොහෝ දෙමව්පියෝ ධර්මයෙන් ඈත් වී ඇත. මේ පීඩාකාරී මානසිකත්වයෙන් මිදෙන්නට අඩුම තරමේ තම දරුවන් සමඟ පන්සලට ගොස් බෝධි පූජා තැබිය යුතුය. තම ගමේ විහාරස්ථානයේ සිදුකරන ආගමික වතාවත්වලට උදව්වීම අවශ්‍යය. මේ ගෙවෙන්නේ විහාරවල පෙරහර සමයයි. හැකි තරම් ඒ දේවල්වලට උදවු කළ යුතුය. බොහෝ දෙමව්පියන් තම නිවසට පැමිණෙන්නේ අතිකාල දීමනා වෙනුවෙන් සේවා ස්ථානයේ රාජකාරි කොට හෙම්බත්වය. එවිට පන්සලකට යාමට අකමැතිය. හිතේ පීඩනය වැඩිවේ. ලේ ධාතුව අපිරිසිදු වේ.

මෙම මිනිස් හිත් කැළඹීමෙන් ලෝක ධාතුවද කැළඹේ. අධික වර්ෂාව අධික නියං කාලය වරින්වර ඇතිවේ. ඇතැම් විට නොසිතූ කාලවලදී ස්වභාවික විපත් පවා ඇතිවන්නේද මේ ලෝක ධාතුව කැළඹීමෙනි. අපගේ ජ්‍යොතිෂයෙන් පෙන්වන්නේ ද මේ පිරිහීමයි. ග්‍රහයන් වෙනස් වේ. අවුරුද්දකට කෝණ මාස හතරක් ඇත. මාර්තු 15 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වාත්, ජූනි මස 15 වැනිදා සිට ජූලි මස 15 වැනිදා දක්වාත්, සැප්තැම්බර් 15 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වාත්, දෙසැම්බර් 15 වැනිදා සිට ජනවාරි මස 15 වැනිදා දක්වාත් ඒ කෝණ මාස අයත් වේ. මේ ගෙවෙන්නේ ඒ කෝණ මාසයක අවසානයයි. මේ කාලය තුළදී මිනිසුන් තුළ ඉවසීම තිබීම ඉතා වැදගත් වේ.

ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද 
ප්‍රවීණ ජ්‍යොතිෂාචාර්ය
චින්තා වික්‍රමසිංහ

►සාකච්ඡා කළේ
දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00