2018 ජුලි 14 වන සෙනසුරාදා

මාරවිල මුහුද අද්දර සුපිරි නවාතැන Amagi Beach හෝටලය

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

තලවිලවැල්ල කියන්නේ මාරවිල ආසන්නයේ පිහිටි පුංචි ධීවර ගම්මානයක් වුණත් සුන්දර වෙරළ තීරය නිසාම පසුකාලීනව සංචාරකයන් අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒකට ලොකුම හේතුව තමයි මෙතැන ඉදිවුණු තරු හෝටල්. ඒ තරු හෝටල් අතරින් මුල්ම හෝටලක් තමයි Amagi Beach හෝටලය. 

හිරු එළිය සිපගන්න මුදු වැල්ල අද්දර පිහිටලා තියෙන හෝටලය හැබෑම වෙරළාන්ත නිවාඩුවක චමත්කාරය ඔබ වෙත ගෙනෙනවා. විශේෂයෙන්ම මධුසමය ගත කරන තරුණ යුවලවලට වගේම පවුලේ නිවාඩුවක් සඳහා වෙරළ අද්දරට පැමිණෙන්නට කැමැති අයටත් මෙතැන හොඳින් ගැලපෙනවා.

Amagi Beach හි මුළු කාමර සංඛ්‍යාව 26ක්. ඒ ද්විත්ව කාමර 10ක් ත්‍රිත්ව කාමර 10 ක් සහ පවුලේ කාමරට 06ක් විදිහටයි. පවුලේ කාමරයක් තුළ හතර දෙනකුට හෝ පස් දෙනකුට පහසුවෙන් නවතින්න පුළුවන්. මේ සියලු කාමර නවීන පන්නයේ පහසුකම්වලින් අනූනයි.

මුහුද දර්ශනය වෙන සෑම කාමරයකටම බැල්කනිය බැගින් තිබෙනවා. ඒ නිසා හැන්දෑ වරුවේ හිරු බැස යන දර්ශනය සිත් සේ විඳින්න පුළුවන්. කින්ග් සයිස් නිදන ඇඳවල් දෙදෙනකුට හෝ තිදෙනකුට නිදාගත හැකි පරිදි සකසා තිබෙනවා. ඊට අමතරව අවශ්‍ය නම් අමතර ඇඳක් වුණත් කාමරයකට ලබාගත හැකියි. ඒ කියන්නේ අමුත්තන්ගේ අවශ්‍යතාවය පරිදි ද්විත්ව කාමරයක් වුණත් මොහොතකින් ත්‍රිත්ව කාමරයක් බවට පෙරළන්න පුළුවන්. සියලු කාමර වායු සමීකරණය කර තිබෙනවා. ඒ වගේම තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, දුරකථන, කේබල් ටීවී, උණු සහ ශීත ජලය, බැල්කනිය මත ආසන වගේ පහසුකම් රැසක් මේ කාමරවල ඇතුළත්.

‍‍‍40 දෙනකුට එකවර ආහාර ගතහැකි ප්‍රධාන අවන්හලේ රසවත් මුහුදු ආහාර පිළිගැන්වෙනවා. එතැනට මුහුදේ මනරම් දර්ශනයකුත් තිබෙන නිසා හරිම සැහැල්ලුවෙන් නිස්කලංකයෙන් ආහාර ගන්න පුළුවන්.

ඊට අමතරව පිහිනුම් තටාකය අසලත් සරල ආහාර ලබාගත හැකි අවන්හලක් විවෘතව පවතිනවා. එතැන බොහෝ විට ආයතනවල උත්සව හෝ පවුලේ සාද සඳහා වෙන්වෙනවා. ඒ වගේම සෑම සති අන්තයකදීම පැවැත්වෙන විශේෂ දිවා ආහාරය (Buffet) දේශීය සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රියයි.

කටුනායක ගුවන් තොටුපොළට ඉතා සමීපයෙන් පිහිටා තිබෙන මේ හෝටලයේ ඉඳන් ලංකාවේ එකම රැම්සා තෙත් වනාන්තරය වන ආනවිලුන්දාව කුරුලු අභයභූමියටත් විල්පත්තුව, කල්පිටිය, මුතුරාජවෙල වගේ තවත් සංචාරක වැදගත්කමින් යුතු ස්ථාන රැසකටත් පහසුවෙන් ළඟා විය හැකියි.

♦ සනත් වීරසූරිය