2018 ජුලි 07 වන සෙනසුරාදා

සකලකලා සහ විජයකලා

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

“දැන් පත්තර කලාව හොඳටම පිරිහිලා නේද?”

එසේ කියූ වික්ටර් මහතා මා දෙස බලා සරදම් සිනාවක් පෑවේය. මගේ මුහුණ ඇඹුල් වී ගියේ විද්‍යුත් මාධ්‍ය නමැති සින්ඩරෙල්ලාව මුද්‍රිත මාධ්‍ය අඟුටුමිට්ටෙකු වී ඇතත් මා තවමත් එයට ඇලුම්කරන්නෙකු නිසාය. අනෙක් අතට වික්ටර් මහතාගේ සරදම ද නොතකා නොසලකා ඉවතලිය හැකි නොවේ. ඔහු කලකට පෙර ඉරිදා පත්තර මිටියම ගෙදර ගෙනැවිත් සතිය පුරාම කියැවුවෙකි. සතියේ දිනවල ද ඉංග්‍රීසි හා සිංහල පත්තර දෙකක් මිලදී ගත්තේය. එබඳු භක්තිමත් පාඨකයෙකු මෙසේ කලකිරීමට පත්වීම විමසීමට ලක්කළ යුතු දෙයකි.

“මාධ්‍ය ලෝකයේ කලින් කලට වෙනස්වීම් තියෙනවා. පුවත්පතකටත් ඒක සාධාරණයි නේද වික්ටර් මහත්තයා?” මම ඇසුවෙමි.

“ඒ වුණාට ලෝකයේ බලවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවලත් පත්තර කලාව පිරිහිලානෙ. ඒකයි මට දුක.”

“ඒ වුණත් පත්තරවලට තාමත් පුළුවන් මහජන මතයක් ගොඩනඟන්න. ආණ්ඩු පෙරළන්න.” 

“ඒක වැරදි විදිහටත් කරන එකයි වැරැද්ද! දැන් බලන්ඩ මිස්ටර් නිව් යෝක් ටයිම්ස්කාරයා කරපු දේ. ඒක මම දකින්නෙ අපේ රටේ අභ්‍යන්තර දේශපාලනයට කරපු අනවශ්‍ය බලපෑමක් හැටියට.”

වික්ටර් මහතාගේ මල්ලේ සිටි බළලා එළියට පැන්නේය.

“ඒක වැරැද්දක් වෙන්නේ කොහොමද? මෙච්චර කාලයක් හැංගිලා තිබුණු රහසක්නෙ ටයිම්ස්කාරයා එළියට දැම්මෙ.”

“මම මහින්දවාදියෙක්වත්, පොහොට්ටුකාරයෙක්වත් නෙවෙයි. ඒත් අමෙරිකාව අපේ රටවලට ඇඟිලි ගැහනවට මම විරුද්ධයි.”

“එතකොට ඔබතුමා කියන්නෙ එතුමා කරපු වැඩේ හරිය කියලද?”

“ඇලෝෂියස්ගෙන් ගත්තත් එකයි චීන හාබර් එකෙන් ගත්තත් එකයි. ලංකාව දුප්පත් රටක්. ඡන්දවලට වියදම් කරන්න කොහෙන් හරි සල්ලි ඕනෙ.”

“එතකොට ඔබතුමාත් පිළිගන්නවා චීනෙන් සල්ලි ගත්තු කතාව ඇත්තක් කියලා?”

“චීනෙන් විතරක්මය කියලා මං කියන්නෙ නෑ. සමහර විට වෙන වෙන රටවලිනුත් ආධාර උපකාර කරන්න ඇති. මහින්ද මහත්තයා අන්තිම කාලෙ ආශ්‍රය නොකරපු රාජ්‍ය නායකයෙක් නැති තරම්නෙ. ඒවා එතුමාගේ පෞද්ගලික සම්බන්ධතා.”

“ඔතන පොඩි පරස්පරයක් තියෙනවා නේද, වික්ටර් මහත්තයා. මහින්ද මහත්තයම කියනවනෙ. නිව් යෝක් ටයිම්ස් වාර්තාව අසත්‍යයක් කියලා. ඒ බොරු ප්‍රචාරය උඩට උස්සපු ලංකාවේ මාධ්‍යකාරයන්ටත් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවනවලු.”

“මොකක්ද පරස්පරේ... මම කියන්නෙ කවුරු කාගෙන් සල්ලි ගත්තත් ඒක අවුස්සන්න අමෙරිකාවට අයිතියක් නෑ කියලා.”

“ඔය කියන්න හදන්නෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැනද?”

“මෙහෙමයි චීනේ අපිට උදව් කරනවට ට්‍රම්ප් කැමති නෑ. මිනිහා හදන්නෙ අපි දෙගොල්ල කොටවන්ඩ.”

“ලංකාව වගේ පොඩි රටක ඡන්දෙකට වියදම් කරන්න පිටරටවලින් මිලියන බිලියන ගණන් සල්ලි මොකටද? ඡන්දෙ කරන්නෙ ආණ්ඩුවෙන්නෙ.”

මම වෙනස් තර්කයක් නැගුවෙමි. වික්ටර් මා දෙස බලා යළිත් වරක් සරදම් සිනාවක් පෑවේය.

“සමස්ත දේශපාලනයම බිස්නස් එකක්. බිස්නස් කරන්න බෑ සල්ලි නැතුව.” වික්ටර් මගෙන් සමුගත්තේය.

එදින සවස ප්‍රවෘත්ති මගින්ද චීන මුදල් සිද්ධිය ගැන අලුත් අලුත් කතා අසන්නට ලැබුණි. චයිනා හාබර් සමාගමින් හිටපු ජනාධිපතිට මුදල් දීමේ පුවත චීන තානාපති කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර නැතැයි රාජ්‍ය අමාත්‍යවරයෙකු කියයි. චීන සමාගමෙන් මුදල් ලබා නොගත් බවට හිටපු ජනාධිපතිවරයා දිවුරුම් ප්‍රකාශයක් දිය යුතුයැයි රජයේ ඇමතිවරයෙකු පවසයි.

රටේ ජනතාවට මේවා නියම මාධ්‍ය සංදර්ශනය. මිලියන්, බිලියන් කෙරුවාවල් දෙස බලා සිටින ඔවුනට මෑතකදී පොඩි අස්වැසිල්ලක් ලැබුණේ ගෑස් මිල සුළු මුදලකින් හෝ පහත දැමීමෙනි.

පසුගිය දිනෙක අප නිවසේ පිළිසකර කිරීම් වැඩකට පැමිණි මාටින් මරු කතාවක් කීවේය.

“ගෑස් මිල අඩුවුණාම අඩුවෙන්නෙ ගෑස්වල මිලම විතරයි. සීනි බනිස් එකකවත් ගාණ බහින්නෙ නෑ.”

“බේකරි හිමියන්ගේ සංගමය කියනවා අධික බදු, සේවක පඩිනඩි වගේ දෙවල් නිසා ඒ ගොල්ලන්ට මිල අඩු කරන්න බැහැලු.”

“ආපනශාලා හිමියන්ගෙ සංගම් නම් තේ කෝප්පෙක ගාණ රුපියල් පහකින් අඩු කරන්න තීරණය කෙරුවා. පාන් අඩුවෙලා නම් නෑ. මේවා කාටද මහත්තයො කියන්නෙ?”

“ඇයි පාරිභෝගික අධිකාරිය තියෙන්නෙ ඒවා බලාකියා ගන්ඩනෙ.”

“අනේ මන්දා මහත්තයො අපිව බලාගන්ඩ නම් දෙයියොවත් නැති පාටයි.” මාටින් දිග සුසුමක් හෙළුවේය.

මිලියන්, බිලියන් ගණන් ගැන ලොකු ලොක්කන් කතාබස් කරන අතරේ ජනතාව සිටින්නේ රුපියල් පහක ලාභයවත් තමන්ට නොලැබීම ගැන දුකිනි. ලංකාවේ දේශපාලනඥයන්ට හිතක් පපුවක් නැතැයි නිතරම අසන්නට ලැබෙන්නේ එහෙයිනි.
පසුගිය සතියේ අසන්නට ලැබුණු “විජයකලා ප්‍රකාශය” නිසා පාර්ලිමේන්තුවම ත්‍රෛලෝක විජයා පාත්‍රම් භාවිතා කළාක් මෙන් ඔල්මොරොන්දම් වීය.

අපේ දේශපාලනඥයන් බොහෝ දෙනා “වැඩ අනා ගන්නෙ” තමන්ට අයිති නැති කැඳහැලිවලට අතගැසීමට යාමෙනි. විජයකලා මහේෂ්වරන් මහත්මියට භාරවී ඇත්තේ වනිතා හා ළමා කටයුතුය. එහෙත් පාගාගත්තේ කොටි වලිගයකි.
වර්තමානයේ වේදිකාවේ කෙළවරකට වී හිඳ සිටින පරණ කාලේ දේශපාලනඥයෙක් විජයකලා ප්‍රකාශය ගැන මා සමඟ කතාබස් කළේය.

“ඔය කතා ඇහුනා නෑහුනා වගේ හිටිය නම් ඉවරයිනෙ. ඕනෑවට වඩා පබ්ලිසිටි දෙන්න ගිහිං විජයකලාලා සකලකලාලා කරගන්නෙ අපිමයි.”

 “විජයකලා කියන්නෙ රාජ්‍ය ඇමැතිනියක්. එයා එහෙම කියනකොට රජයේ සාමූහික වගකීම මොකක්ද?”

“එහෙම දෙයක් මහ දෙන්නා අතරෙවත් තියෙනවයැ? ඒකනෙ මේ ඔක්කොටම මුල!”

 

කපිල කුමාර කාලිංග