2018 ජුනි 23 වන සෙනසුරාදා

හොඳම පාර භාෂාවයි

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153

ඒ අවුරුද්ද මට හරියටම මතක නැහැ. ඒත් මම හිතන විදියට 2001 වසර වෙන්න ඇති. මම වැඩකළේ මැතිවරණ නිරීක්ෂණ ආයතනයක. මට අවස්ථාව ලැබුණා, මැතිවරණ නිරික්ෂණය වෙනුවෙන් යාපනයේ සංචාරයකට එකතුවෙන්න. අපි රත්මලාන ගුවන්තොටුපලින් ඇව්රො වර්ගයේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකට ගොඩවුණා. ඒ කාලේ තමයි දිගට හරහට ඇව්රො ගුවන් යානා කඩන් වැටුණෙ. කොහොම වුණත් මේ අත්දැකීම වෙනුවෙන් යාපනයේ යන්න කැමති වෙච්ච මම අපේ ප්‍රධානියා සහ භාෂා පරිවර්තක ගෞතමන් සමඟ යාපනයේ යන්න ගුවන් යානයට නැග්ගා. ගුවන් යානයට  හමුදා සෙබළු රැසකුත් නැග්ගා. අපි ඒ ගුවන් යානයේ තිබුණු ලෑලි බංකු දෙකේ දෙපැත්තක වාඩි වුණා. හමුදා සෙබළුන් වැඩි පිරිසක් ගෙනියන්න ඕන හින්දා බංකුවල හිටි අය තව තව කිට්ටු කරලා වාඩි කෙරෙව්වා. හරියට ප්‍රයිවට් බස් එකකට නැග්ගා වගේ. ගුවන්යානය යාපනයේ පලාලි දක්වා ගමන් කරන්න පිටත් වුණා.

මම හිතන්නේ දවසට කීපවරක් මෙම ගුවන් යානය රත්මලාන පලාලි අතර ගමන් කරනවා. පලාලි වල බැස්ස අපි ගුවන් හමුදා රථයකින් යාපනය දක්වා ගමන් කරලා එදා රෑ යාපනයේ නැවතුණා. ඒ වෙන කොට රිවිරුස මෙහෙයුමෙන් යාපනය සම්පූර්ණයෙන් මුදවාගෙන තිබුණට ත්‍රස්ත්‍රවාදී තර්ජන තිබුණා. පහුවදා අපිට යාපනයේ ඇවිදින්න අවස්ථාව ලැබෙනවා.  ඒ සඳහා මඟ පෙන්වන්න අපූරු පුද්ගලයෙකුත් හමුවෙනවා. ඒ තමයි නිමල රාජන් නැමති මාධ්‍යවේදියා. බී.බී.සී. යට පවා තොරතුරු දෙනවා කිව්ව නිසා මුලින් හිතාගෙන හිටියේ නිමල රාජන් කියන්නේ ලොකු චරිතයක් කියලයි. ඒත් එදා උදේ  යමහා මේට් මෝටර්සයිකලයක් පදවාගෙන ආවේ සිහින් ශරීරයක් තියෙන චාම් සරල මනුස්සයෙක්. උපතින්ම ගෙනාපු හිතවත්කමක් ශරීරය තුළ තිබුණා. ඒක නිසා විනාඩි කීපයකින් නිමලරාජන් අපේ හිතවතෙක් බවට පත්වුණා. සිංහල හොඳට හසුරවපු ඔහු අපේ ප්‍රධානියාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන අතර අපේ භාෂා පරිවර්තකයා ගෞතමන් එක්ක දෙමළෙන් කතා කරා. ඔහු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනම හොඳින් හසුරවපු ආකාරය පුදුම වෙන්න හේතුවක් නොවුණේ දෙමළ සමාජයේ උගත් පිරිසෙන් බොහෝදෙනෙකුට මේ භාෂා තුනම හොඳින් භාවිත කිරීමේ හැකියාව තිබුණු බව මම අත්දැකලා තිබුණු නිසායි.

අපි මහ ජාතිය හැටියට සිංහල පමණක් ඉගෙන ගනිද්දි දෙමළ  සමාජය  ලෝකය විනිවිද යන්න ඉංග්‍රිසි භාෂාවත් සිංහල සමාජය සමඟ ගනුදෙනු කරන්න සිංහල භාෂාවත් ඉගෙන ගන්නවා. ත්‍රෛභාෂා සිංහල දෙමළ ඉංග්‍රීසි තුනම කතා කිරීමේ හැකියාව අපේ සිංහල සමාජයේ තිබුණා නම් ඒ ඉතා අතළොස්සකට විතරයි. අපිට දෙමළ මිනිසාව තාමත් නොතේරෙන්න එක හේතුවක් තමයි භාෂා බාධකය.

මිනිස්සුන්ට සන්නිවේදනය අවශ්‍ය වන මූලිකම කාරණය වන්නේ එකට ජීවත් වීමට නම් දෙමළ භාෂාව නොදැන අපි අපේ හැඟීම් දෙමළ සමාජයත් එක්ක බෙදා ගන්නේ කොහොමද? නිමලරාජන්ට විතරක් නෙවෙයි දෙමළ මිනිස්සුන්ට කියන්න අපිටත් දේවල් තිබුණා. ඒත් අපිට සිද්ධ වුණේ භාෂා පරිවර්තකයෙක් හරහා ඒ දේ කියන්න. අපේ රටේ කිලෝමීටර් දෙතුන් සීයකට එහා ඉන්න දෙමළ මිනිසාට එවුන්ගේ භාෂාවෙන් කතා කරන්න අපිට බැරි නම් දෙමළ මිනිසා අපිව විශ්වාස කරන්නේ කොහොමද? සංහිඳියාව කියන්නේ සන්නිවේදනය. අපිට මිනිස්සුන්ව තේරෙන්න නම්, මිනිස්සු කියනදේ අපිට තේරෙන්න ඕන. ඉංග්‍රිසියෙන් ගනුදෙනු කරන්න පුළුවන් දෙමළ සහ සිංහල ඉහළ පැළැන්තියට බෙදුම්වාදයක්  නැත්තේ සන්නිවේදනය ශක්තිමත් නිසායි.  

සිංහලෙන් මාත් එක්ක කතා කරපු නිමලරාජන්ගේ මේට් වර්ගයේ කබල් මොටර් බයිසිකලයට ගෞතමන් නඟිනවා. ගෞතමන්ගේ පිටිපස්සෙන් මම නඟිනවා. හදිසියේම නිමලරාජන් ගෞතමන්ට  දෙමළෙන් යමක් කියනවා. ගෞතමන් මාව බයිසිකලයෙන් බස්සවලා, නිමලරාජන් පදින බයිසිකලයේ මැදින් මාව තියාගෙන ගෞතමන් මට පිටු පස්සෙන් නගිනවා. අපි එහෙමයි යාපනයේ ඇවිදින්න ගියේ.

මම පස්සේ වෙලාවක ගෞතමන්ගෙන් ඇහුවා,  බයිසිකලයට නගින වෙලාවෙ නිමල රාජන් ඇයි මාව මැදින් තියාගන්න කිව්වේ කියලා...

ඔහු අපූරු උත්තරයක් දුන්නා.

ඔබ යාපනයට අමුත්තෙක් සුරක්ෂිතව රැගෙන යාම දෙමළ අපේ යුතුකමක්

මම යාපනේ ඇවිද්දේ නිමලරාජන් පදින බයිසිකලයෙනුයි. දෙමළ මිනිස්සු දෙදෙනෙක්ගේ ආරක්ෂාව මැද මම බයිසිකලයේ මැද වාඩි වෙලා ගියා. ඒ වෙලාවෙ යාපනයට කිලෝමීටර් කීපයක් ඈතින් සිංහල හමුදාවත් දෙමළ ත්‍රස්‍තවාදීනුත් සටන් කරනවා. යාපනයේ පාසල් ඇතුළෙ මූනිස්සම් වැදිලා සිදුරුවුණු බිත්ති, වහලවල් සහිත ගොඩනැගිලිවල ඉන්න දෙමළ දරුවෝ කිසිදෙයක් නොවුණු ගාණට අකුරු ඉගෙන ගන්නවා. 

පැය කීපයක් යනකොට නිමලරාජන්ට හැකි වෙනවා ඈත දකුණෙන් ආපු මට දෙමළ මිනිස්සුන්ගේ හදවත ගැහෙන රිද්මය ගැන අපූරු පාඩමක් සිංහලෙන් කියලා දෙන්න. මේ පාඩම ඇහුව නම් ඔබට කවදාවත් දෙමළ මිනිස්සුන්ට විරුද්ධ වෙන්න බැරි වෙනවා. ඒ තරමට සිංහල මිනිහා පිළිබඳ ළෙන්ගතුකමක්  යාපනයේ දෙමළ මිනිහට තිබුණා. අපි කළේ මේ ළෙන්ගතුකමේ හැඟීම එක්ක සෙල්ලම් කරපු එක. ආදරයයි වෛරයයි අතර ඇති වෙනස කෙස් ගසක් නම්, සන්නිවේදනයට පුළුවන් ඒ කෙස්ගස ඉවත් කරන්න. නිමලරාජන් ඒක අපූරුවට කළා. ඒ නිසා වෙන්න ඇති ඔහු ත්‍රස්ත්‍රවාදින්ගේ ගමනට  බාධාවක් වෙන්නේ. වෛරය වපුරන්නේ නැතිව යුද්ධය කරන්න බැරි බව ප්‍රභාකරන් හොඳින් අවබෝධ  කරගෙන හිටියා. උමා මහේෂ්වරන් වැනි නායකයින් මෙන්ම රාජිනී තිරාණගම වැනි මැදහත් චින්තනයකින් හෙබි පුද්ගලයින් ප්‍රභකරන්ගේ ගොදුරු වබට පත් වන්නේ මේ නිසායි.

අදටත් මට යාපනය  කියන කොට නිමලරාජන් මතක්වෙනවා. වසර ගාණක් ගතවෙලත් නිමලරාජන් දුන් පැය කීපයේ මතකය ආවර්ජනය වෙනවා. මේ කුඩා මිනිසාගේ අරමුණ වුණේ සිංහල, දෙමළ ජනතාව අතර භේද නැති කරපු ආදරෙන් එකිනෙකා එක්ක ගනුදෙනු කරන දවසක්. ඒ වෙනුවෙන් ඔහු ජීවිතය පූජා කරා කියලයි මට හිතෙන්නේ...

  වජිර කාන්ත උබේසිංහ