2018 ජුනි 23 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

දැන් රටම දන්නා එකම නළුවා ඇලෝසියස්ය. නිකන් ඇලෝසියස් නොව මහ බැංකු අධිපතිගේ බෑණා අර්ජුන් ඇලෝසියස්ය. ඇලෝසියස් මාමණ්ඩිය සමඟ මහ බැංකුවට කෙලියා පමණක් නොව මේ රටේ සමස්ත ආර්ථිකයම උඩු යටිකුරු කරලයි දැන් ඔය හිරේ ඉන්නේ. දැන් හැමෝම මිනිහට දොස් කියනවා. දෙස් දෙවොල් තියනවා. හැබැයි මම පුරවැසියෙක් හැටියට මිනිහට කැමතියි. ඇයි?

දැන් බලන්න මේ රටේ දේශපාලඥයන්ගේ ඡන්ද ව්‍යාපාර කොච්චර ගඳ ගහන ජරා මජරද කියලා. සුදෝ සුදුවට ඇඳගෙන දත් වළල්ලම එළියේ දාගෙන කටවුට් බැනර්වල මහා ජනතා සේවකයන් හැටියට නැගී හිටියට උන්නැහේලගේ ඡන්ද ව්‍යාපාර මාෆියාවක්. තනිකරම කළු සල්ලි සුදු කරන වැඩක්. දැන් බලන්න  අර්ජුන ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත උන්නැහෙලා කියන කතා. "මට මතක නෑ, ඡන්ද කාලෙදි ගොඩක් අය සල්ලි දෙනවා. හොයන්නේ නෑ, මම නෙමෙයි ඒවා මෙහෙයුවේ වෙන කට්ටිය, සල්ලි කොච්චරක් ලැබුණද කියලා මම දන්නේ නෑ" වගේ ලිස්සලා යන වචන කියන්නේ.

දැන් එතකොට ඇලෝසියස් එහෙම මිලියන ගණන් සල්ලි දීලත් මතක නැත්තන් පළාතේ කුඩු කාරයා, කසිප්පුකාරයත් උන්නැහේලට සල්ලි දෙන්න ඇති. ඇයි ඉතිං උන්නැහේලා ඒවා බලන්නේ නෑනේ. උන්නැහේලට බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි විතරනේ ඕනේ.

එහෙව් කළු සල්ලිවලින් බලයට එන දේශපාලන මහත්වරුන් යැයි කියාගන්නා උන්දැලාගෙන් කොහොමද රටේ නීතියක් බලාපොරොත්තු වෙන්නේ, සාධාරණයක් කොහෙන්ද, ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙයිද, අපරාධකාරයෝ ඇල්ලෙයිද? නෑ කවදාවත් එහෙම වෙන්නේ නෑ. කළු සල්ලිවලින් බලයට ආවනම් කළු කඩ මුදලාලිට සේවය කිරීම උන්නැහෙලගේ පරම යුතුකමක්. ඒකයි ඔය හිච්චි පිංචියෝ ඇල්ලුවට තෝර මෝරැ එළිපිට නටන්නේ. ඇයි බයයි. කට ඇරියොත් රෙදි ගැලවෙයි කියලා.

මෙහෙව් රටක කොහොමද ජනතා සේවකයන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ. 

කවමදාකවත් බෑ. දැන් ඔය ඇලෝසියස් සල්ලි දුන්නේ කියලා පිළිඅරගෙන ඉන්නේ තුන්දෙනයි. අනෙක් අය නෑ කියන්නෙත් නෑ ඔව් කියන්නෙත් නෑ. හැබැයි ගත්ත අය ඉන්නවා තව.  

දැන් ජනතාව හැටියට අපි මොකද කරන්නේ. නෑ කරන්න කිසිම දෙයක් නෑ. උන්නැහේලා එන්නේ අපිට නෙමෙයි. සල්ලි වියදම් කරන හොරැන්ගේ සේවයට. ඒ හොරු රටේ සල්ලි එළිපිට හොරා කාලා. ඒ සල්ලිම දේශපාලකයන්ට දීලා. ඒ අය නැවත පාර්ලිමේන්තු ගිහින් රටේ ආර්ථිකය නංවන්න කියලා පිටරටවලින් ණය ගන්නවා. ඒ ගන්න ණය ගෙවන්නේ එයාලද? නෑ. එ‍ෙහනම් මුදලාලිද? නෑ. වෙන කවුද අපි මිසක්. අලුත් බදු ප්‍රතිපත්ති, බදු ෆයිල් ඔක්කොම අපිට. අපි වගකීම් සහගත පුරවැසියෙක් වෙන්න ඕනෙලු රටට බදු ගෙවලා. දැන් අපේ වගකීම එයාලා හොරාගන්න සල්ලිවල ණය ගෙවන එකද?

පහුගිය දවසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට බදු ක්‍රමයක් හඳුන්වලා දුන්නා .මෙන්න ඒකට ඒ අය විරුද්ධ වුණා. දැන් ඒකට, සහනයක් දෙන්න යනවා. මේ ඒ අයම ඒ අයගේ සැපට නීති හදනවා කඩනවා. රටේ දුප්පත් මිනිහට කියන්න දෙයක් නෑ. ඒ අය දෙන එක බාරගන්නවා ඇරෙන්න. ඔහොමයි රට සංවර්ධනය කරා පියනගන්නේ. අපිට අපේ අනාගතයට බය නැතුව බාර දෙන්න පුළුවන් එක දෙයයි. ඒ මේක සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා අපි වගේ රටවල් අන්ත දූෂිත වෙන්න වෙන්න අනෙක් බලවත් රටවල් අපිව අල්ලන්නේ උණ්ඩෙන් නෙමෙයි. ණය දීලා. ණය දීලා දීලා ගෙවාගන්න බැරි වුණාම  ඒ අය අපේ ඉඩම් 99 අවුරැදු බද්දට බදු ගන්නවා. අපේ භුමිය සියවසක් වෙන රටක් පාවිච්චි කරලා අපි දංකුඩ බාරගන්න ප්‍රතිපත්තියක ඉන්නේ. එහෙව් රටක මොන ආනාගතයක්ද?

ඒකයි මම කිව්වේ මේ රටේ මිනිස්සුන්ට මේ මාෆියාව දැනගන්න හොඳම කෙනා තමයි ඇලෝසියස්. ඇලෝසියස් මේ නටන්නේ හොඳ දහ අට සන්නියක්. බලාගන්න පුළුවන් එළිවෙන ජාමෙට සුදු රෙදි අස්සේ මඩ ගොඩවල්.

මම
බ්‍රෝ