2018 ජුනි 16 වන සෙනසුරාදා

තනි තටුවෙන් පියඹා ලංකාවෙන්ම එකට ආ වගුරුවෙල විදුහල

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

පසුගිය ජුනි 5 දින බුත්තල යාල කතරගම පාරේ පිහිටි වගුරුවෙල මහා විද්‍යාලය උත්සව සිරියෙන් ඇලලී තිබිණි. සිසු සිසුවියන් තමන් සතු හොඳම පාසල් නිල ඇඳුම් කට්ටලයෙන් සැරසී එදින උදේ පාසලට පැමිණියහ. තවත් ටික වේලාවකින් දෙමාපියන්, ආදි සිසුන්, විදුහලේ හිතවතුන් විදුහල් බිමට එන්නට වූහ.

පාසල් භූමියේ මහ ගස් අතර උද්‍යානයේ අලංකාරව සකසා තිබූ කුලියට ගත් වේදිකාව සැරසී සිටියේ වගුරුවෙල විද්‍යාලයට ලැබුණ ඓතිහාසික ජයග්‍රහණයක් සැමරීමටයි. ඒ පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අධ්‍යාපන ඒකකය සංවිධානය කළ සමස්ත ලංකා නාට්‍ය හා මුද්‍රානාට්‍ය තරගයේ සමූහ අංශයෙන් ලංකාවෙන්ම අංක එකට පැමිණි සිසුන් පිරිස පිළිගැනීමේ උත්සවයයි. ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණි ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා අවට පාසල්වල විදුහල්පතිවරු ඇතුළු ආරාධිතයෝ වේදිකාවේ පෙළ ගැසී සිටියහ. මොණරාගල දිස්ත්‍රික්කය මෙන්ම බුත්තල අධ්‍යාපන කොට්ඨාසය ද ලංකාවේම අවධානයට ලක්කළ දරුවන්ට ලැබුණු උපහාරයේ දී සියලුම දෙනා අත්පුඩි තැලුවේ අල්ල රත්පැහැ වනතුරුමය.

වර්ෂ 1953 දී වගුරුවෙල මහ විද්‍යාලය ආරම්භ කර ඇත්තේ සිසුන් 14 දෙනෙකුගෙනි. එවකට අලි, කොටි ගහන වනයක්ව පැවති මේ දෙපස අද තරමක් ජනාකීර්ණ වුවත් වන අලි මෙන්ම දිවියන් ද මේ අවට තම නිජබිම කරගෙන සිටිති. බුත්තල සිට කතරගම දක්වා දිවෙන මාර්ගයේ කී.මී. 6ක් පමණ දුරින් පිහිටා ඇති විදුහල එක් පසෙකින් ඇදී යන්නේ බුදු ගල්ලෙන ආරණ්‍යය පිහිටි කඳුවැටියයි. මෙහි සිට යාල වනෝද්‍යානයට මෙන්ම කතරගමට ද ඇත්තේ කෙටි දුරකි.

“මම මේ පාසලට පත්වී ආවේ 2014 අවුරුද්දේ... එදා සිට දිගටම අප පාසලෙන් නාට්‍ය හා සංගීත අංශයේ තරගවලට සිසුන් ඉදිරිපත් කිරීමට සහයෝගය දැක්වූවා. නාට්‍ය තරගවලින් අපේ සිසු දරැවන් විශේෂ දස්කම් දැක්වූවා. ගිය අවුරුද්දේ නැටුම් හා මුද්‍රා නාට්‍ය අංශයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය අප පාසලට හිමි වුණා. මේ පාර පළවැනි තැන ලැබීමට හැකි වුණා. පාසල් ඉතිහාසයේ පළමු වැනි වතාවට තමයි සමස්ත ලංකා තරගයකින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට හැකි වුණේ.” අපට මෙලෙස අදහස් දැක්වූයේ විදුහල්පති ඩබ්ලිව්.ඒ. සුසන්තය.

වැඩිපුර නියඟයෙන් බැටකන ඉඳහිට අලි ගම්වැදීම නිසා ද පීඩා විදින වී ගොවිතැන, බඩඉරිඟු, කෙසෙල් හා උක් වගාව මුල්කරගත් බුත්තල ප්‍රදේශයේ මෙම පාසලේ අද වනවිට සිසුන් 800ක් පමණ අධ්‍යාපනය හදාරති. විදුහල ගොඩනැගිලි 8කින්ද ගුරු නිවාස 2කින්ද සමන්විතය. උසස් පෙළ කලා සහ වාණිජ විෂයයන් පමණක් තිබෙන අතර පසුගිය කාලයේ අධ්‍යාපන අංශයෙන් ද සිසුන් දස්කම් දක්වා තිබේ. 2016 වර්ෂයේ දී පාසලෙන් විශ්වවිද්‍යාලයට සමත් වූ සිසුන් ප්‍රමාණය 5 දෙනෙකු වන අතර 2017 දී එම සංඛ්‍යාව 4 දෙනෙකි. විදුහලට වේදිකාවක් සහිත රැස්වීම් ශාලාවක් නැත. ඒ නිසා ජයග්‍රාහී සිසුන් පිළිගැනීමේ උත්සවයට ද තාවකාලික වේදිකාවක් එළිමහනේ ඉදිකිරීමට සිදුවිය. ඒ සඳහා රුපියල් 20,000ක් වැය වූ අතර එම වියදම දරා ඇත්තේ පාසල් සංවර්ධන සමිතියයි.

“අපට නාට්‍ය පුහුණුවීමට වේදිකාවක් සහිත ගොඩනැගිල්ලක් නැහැ. ඒ නිසා අපි බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ අනුග්‍රහයෙන් ගොවි පියස ශාලාවේ වේදිකාව ඉල්ලා ගත්තා. වේදිකාවට පාසලේ ඉඳන් කී.මී. 6ක් විතර දුරයි. ළමුන් කණ්ඩායමට එතැනට එන්න කියලා සතියේ දිනවල හවස සිට රාත්‍රී වනතෙක් සහ සති අන්තයේ දිනවල පුහුණුවීම් කළා. ගොවි පියස ශාලාව ලබාගන්න බැරි දිනවල කී.මී. 8ක් විතර දුරින් තිබෙන යුදගනාව විහාරයේ විශ්‍රාමශාලාවේ පුහුණු කිරීම් කළා.” විදුහල්පතිවරයා අප සමඟ විස්තර කළේය. නාට්‍ය පිටපත් ඡායාපිටපත් කරගැනීමට පවා විදුහලට පහසුකම් නැත. පාසලේ ඡායාපිටපත් යන්ත්‍රය අබලන් වී ඇති අතර ළඟම ඡායාපිටපත් යන්ත්‍රයට දුර කී.මී. 6කි. 

“සිසුන් හා සිසුවියන් 35 දෙනෙකුගෙන් යුත් නාට්‍ය කණ්ඩායම පුහුණු වූයේ සන්නියකුමේ සංඛපාල කතා පුවතේ උපත කතාවයි. විසාලා මහනුවර තුන්බිය ඇතිවීම එය නැතිකිරීම හා ඒ ආශ්‍රිත සිද්ධි නර්තන සම්ප්‍රදා ආශ්‍රයෙන් ඔවුහු මුද්‍රනාට්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කළහ. සමස්ත ලංකා අවසාන වටය දක්වා නාට්‍යයක් රැගෙනයාම විශාල අභියෝග රැසක් එල්ල වූ කතාවකි. ඒ බව විදුහල්පතිවරයා පැවසූවේ මෙලෙසය.

“වේදිකාවක් හොයාගත්තත් නාට්‍ය පුහුණුවට අවශ්‍ය සංගීත භාණ්ඩ මොනවත් අප පාසලේ නැහැ. සර්පිනා, තබ්ලා, බෙර, යක්බෙර, දවුල් වෙනත් පාසල්වලින් ඉල්ලාගත්තා. මෙවර තරගාවලිය තිබුණේ අනුරාධපුරයේ. ඉතින් නාට්‍ය කණ්ඩායම අරන් යන්න බස් එකට රුපියල් 39000ක් ගියා. දෙමාපියන් ඒ බර දැරැවා. නමුත් නාට්‍ය ඇඳුම්වලටත් විශාල මුදලක් යනවනේ. එක ඇඳුමකට රුපියල් 6000 – 7000ක් විතර වැයවෙනවා. අපි බුත්තල අවට කලායතනවලින් සමහර ඇඳුම් ඉල්ලා ගත්තා. අනුරාධපුරේ ගිහින් නවාතැන් ගත්තේ ළමයෙකුගේ පියාගේ හිතවතෙකුගේ ගෙදරයි. ඔන්න ඔහොම තමයි ඉතින් මේ නාට්‍යයට ළමයි සූදානම් කළේ.”

මෙම නාට්‍ය ජයග්‍රහණය පිටුපස සිටියේ විදුහලේ නර්තන ආචාර්යවරිය වන රෝෂණී ප්‍රියාංකා ගුණවර්ධනයි. ඇය මෙම පාසලට පැමිණීමට පෙර සෙල්ලකතරගම විද්‍යාලයේ උගන්වන කාලයේ ද නාට්‍ය පළාත් තරගවලින් ජයග්‍රහණ ලබාගැනීමට දරුදැරියන් මෙහෙයවා තිබේ. මේ ඇයගේ වදන්ය.

“අපි වගුරුවෙල ළමයි එක්ක අවුරුදු හතරක් අඛණ්ඩව සමස්ත ලංකා තරගවලට ගියා. ඒකම ලොකු අභියෝගයක්. විදුහල්පතිතුමා සෑම සහයෝගයක්ම දුන්නා. බුත්තල ගුරු උපදේශක වසන්තා රෝහිණී දිසානායක අපට සහයෝගය දැක්වූවා. තවත් බොහෝ පිරිසක් උපකාර කළා. අවට පාසල්වලින් පැමිණි ගුරුවරු ද පුහුණු කිරීමේදී උදව් කළා. නැටුම් පුහුණුවට අසිත ක්‍රිශාන්ත සහ සංගීතය සඳහා දිනිඳු බණ්ඩාර යන ගුරුවරු අපේ උදව්වට ආවා. මුද්‍රානාට්‍යයක් නිසා ඇඳුම්වලට ලොකු අවධානයක් යොමු කළ යුතුයි. අපේ කණ්ඩායමේ ගොඩාක් දුප්පත් ළමයි හිටියා. ඔවුන්ට රුපියල් දහස් ගණනක් වැයකර ඇඳුම් මසාගැනීමට අමාරුයි. අපි විවිධ අනුග්‍රාහකයන් සොයාගත්තා. කලායතනවලින් උදව් ගත්තා. පාසල් සංවර්ධන සමිතියත් උදව් කළා. පළාත් තරගවලින් ජයගත් පසු සමස්ත ලංකා තරගවලට යාමට තිබුණේ සති දෙකක කාලයක්. ඒ කාලයේ අපි උපරිමයෙන් පුහුණුවීම් කළා.” 

ජයග්‍රහණයක සතුට වැඩිවන්නේ එය ලබාගැනීමට දුෂ්කර මාවතක ගමන් කළ විටදීය. වගුරුවෙල පාසල් දරුවෝ මෙවර රටේ දියුණුම පාසල් අභිබවා ජයග්‍රහණය කළේ වෙනස් නිර්මාණශීලී මාවතක ගමන් කළ නිසාය. “ළමයි ජයග්‍රහණය ලබාගන්න ගොඩාක් දුක් වින්දා. දෙමාපියන් හැකි උපරිම දායකත්වය ලබාදුන්නා. අපි රාත්‍රියේ පුහුණුවීම් කරන විට දෙමාපියන් ආහාරපාන වගේම ආරක්ෂාවත් ලබාදුන්නා. අපි සමහරදාට රු 10.00 වනතෙක් පුහුණු වීම් කළා. දැන් පාසලේම ළමයි හරිම ප්‍රබෝධයෙන් ඉන්නේ.” ඇය තවදුරටත් පැවසුවාය.

“මේ වගේ දුෂ්කර පාසලකට බස්නාහිර පළාතේ ඉහළම පහසුකම් තිබෙන පාසල් පවා පරදවා ජයගැනීමට හැකිවීම ගැන සතුටුයි. ළමයි ගැන අපට ආඩම්බරයි. දෙමාපියන්ට, ආදි සිසුන්ට, පාසලට සුබපතන්නන් ඇතුළු උදව් කරපු හැමෝටම අපි ස්තූතිවන්ත වෙනවා.” විදුහල්පතිවරයා වැඩිදුරටත් කීවේය. කී.මී. 6ක දුර ගොස් රාත්‍රියේ නිදිවරාගෙන පුහුණු වී කළ කැපවීමේ ප්‍රතිඵල ඔවුන් අබියසට පැමිණ ඇත. පාසලේ ඉතිරි අඩුපාඩුත් සම්පූර්ණ කර මේ දිරිය දරුවන්ට ඉදිරියට යාමට මඟ හෙළිකර දීම බලධාරීන් ඇතුළු කාගේත් යුතුකමක් නොවන්නේද?

►කුසුම්සිරි විජයවර්ධන