2018 ජුනි 16 වන සෙනසුරාදා

ගමට ලොක්කා ගමේ රාළහාමි

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 319

කොච්චර ලොක්කො ගමේ හිටියත් ගමේ එකම ලොක්කා තමයි ගම්මුලාදෑනියා. මිනිහාට ගමේ කවුරුත් කට පුරා කතා කළේ “රාළහාමි” කියලයි. ඒ වැඩියෙන් ගරු සරු කමටයි. ගමට මුලාදෑනියා පත්කළේ මහ ඒජන්ත උන්නාසෙහෙ පත්වීම් කඩදාසියකින්. මහ ඒජන්ත උන්නාන්සෙ මේ තනතුරට කෙනෙක් පත්කළේ නිකං ආවට ගියාට නෙමෙයි. වසමේ බලධාරියා වෙන ආරච්චිලාගෙ රෙකමදාරුවටයි. ගම්මුලාදෑනියගෙ ළඟම ලොක්කා ආරච්චිලා වෙනවා. ඒ හින්දා තමුන්ගෙ වසමෙ එහෙම ඇබෑර්තුවක් ඇති වුණාම සුදුසු කෙනෙක් රෙකමන් කිරිල්ල ආරච්චිලාගෙ රාජකාරිය වුණා.

මෙහෙම පත්කරන කෙනා හොඳ වංශවත් පරපුරකින් ආපු හයිකාරයෙක් වුණා. එච්චරක් නෙමෙයි හොඳට සල්ලිබාගෙ තියෙන බලපුළුවන්කාරයෙක් වෙන්ඩත් ඕනෑ. එහෙම කෙනෙක් පත්කොළාම තමයි හරියට ගම්මුන් පාලනය කරන්ඩ පුළුවන් වෙන්නේ. මොන සුදුසුකම් තිබ්බත් ආරච්චිලා මේ තනතුරට රෙකමන් කළේ තමුන්ගේ මිනිහෙක්. හුඟාක් ආරච්චිලා තමුන්ට පයිරු පාක්කුඩම් ගන්න පුළුවන් කෙනෙක් රෙකමන් කරන අවස්ථාක් තිබුණා. ඒ වුණාට හැම රාළහාමිලම ඒ විදිහට ආරච්චිලට පන්දම් ඇල්ලුවෙ නැහැ. ආරච්චිල එක්ක හැප්පුණු කොන්ද කෙළින් තියාගෙන රාජකාරි කරපු රාළහාමිලත් ගම්වල හිටියා. ජරාවට කප් ගහපු ආරච්චිලා නම් බලාපොරොත්තු වුණේ දඩමස් ටික, මීපැණි ටික, තෙලිජ්ජ මුට්ටිය ගම්මුලාදැනියා තමුන්ට ඔප්පු සිද්ධ කරයි කියලා.

ගමේ ඇහැට කනට පේන බවලතුන්ට ඒ කාලේ සමහර ගම්මුලාදෑනින් ගෙන් බේරිලා ඉන්ඩ නම් හම්බ වුණේ නැහැ. ගමරාළ පැල්රකින්න පැළට ගියාම ඒ ගෙදෙට්ට රිංගන රාළහාමිලත් හිටියා. ගමේ රාළහාමිට රෑ දවාලෙ ඕනෑ වෙලාවක ගෙදරක ඇඳක් යට වුණත් හැංගිලා ඉන්න බලය ලැබිල තියෙනවා කියලා කතාවක් පැතුරැණේ ඒ හන්දයි.

ගමේ රාළහාමිට ගමේ සිද්ධ වෙන පොඩි පොඩි රණ්ඩු සරැවල් මහ ගහට යන්ඩ ඉස්සර විසඳලා සමාදාන කරන්ඩ බලය ලැබිලා තිබුණා. රාළහාමිගෙ තීන්දුවට දෙගොල්ලොම එරෙහිවෙලා ගියේ නැහැ. හැබැයි එහෙම සමාදාන කරන්න බැරි නඩු ආරච්චිලා ගාවට අරන් යන්ඩ රාළහාමිට සිද්ධ වුණා. එහෙම ආරච්චිලා ගාවට අරන් ගියාම නමෝවිත්තියෙන්ම දඬුකඳේ ගහන හින්දා තමන්ගෙ නඩුව හරි අවනඩුව හරි රාළහාමි ගාවදී ගොඩින් බේරා ගන්ඩයි බොහොම දෙනා කටයුතු කළේ. වැරදිකාරයො අල්ලගෙන කුදලාගෙන ආරච්චිලා ගාවට දොක්කාගෙන යනකොට පැනලා ගිය අවස්ථාත් තිබුණා. එහෙම නාහෙට අහන්නේ නැති දඩබ්බරයො කොහොමින් කොහොම හරි තමන්ගෙ ගෝලයො දාලා අල්ලාගෙන කුදලාගෙන ආරච්චිලා ගාවට අරන් ගියා. ඒ ගොල්ලන්ට ලැබුණු දඬුවම සමහර වෙලාවට මහ උළුගෙදර කැපිල්ල තරමට ඉහළ ගියා.

තමුන්ගෙ වැයික්කියෙ අපරාධකාරයො අඩුවෙන තරමට මුලාදෑනිට සුදු ආණ්ඩුවෙන් තාන්න මාන්න පඬුරු පාක්කුඩම් ලැබුණා. ඒ හින්දා කෙහොමින් කොහොම හරි ගමේ අපරාධ අඩුකරන්න ගම් මුලාදෑනියා දහිරි දැම්මා.

1963 අවුරුද්දෙ ගම්මුලාදෑනි තනතුරු අහෝසි කරලා ග්‍රාම සේවකලා පත්කිරිල්ල පටන් ගත්තට පස්සේ ගමේ කෙනෙකුට ගමට ලොක්ක වෙන්න තිබුණු වාසනාවට තිත වැටුණා.

► යසවර්ධන

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00