2018 ජුනි 16 වන සෙනසුරාදා

අරාබි ටුවරිස්ට්ලා හොඳයි හැබැයි කිසිම පිළිවෙළක් නෑ

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 310

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරැය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක විසි හත් වැන්නයි. මෙවර ද අප හා කතාබහට එක්වන්නේ ජාතික සංචාරක මාර්ගෝපදේශකයකු වන මනෝජ් සල්පගේය. ඔහු 2013 වසරේ සිට අරාබි, හීබෘෘ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන්නෙකි.

විනයක් නැති අරාබි සුද්දෝ

ලංකාවට එන ඕනෑම සංචාරකයකු පැමිණි පළමු දිනයේදී හෝ දෙවෙනි දිනයේදී ලංකාවේ කෑම රස බලන්නට අමතක නොකරයි. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව අපේ රටේ බහුතරයකගේ ප්‍රධාන ආහාරය වන්නේ බත් සහ ව්‍යංජන බැවින් ඒවා රස බැලීමට සුද්දන් තුළ ඇත්තේ පුදුම ආසාවකි. ඇතැම් විට අපේ බත් මාළු පිනි රසය ඔවුන්ට නුහුරු වුව ද ඒවා කෑමට ඔවුන් ආශා කරන්නේ අලුත් අත්දැකීමක් විඳගන්නා සේය. 

“අරාබිකරයේත් බත් කනවා. ඉතින් බත් කියන්නේ එයාලට අමුතු දේකුත් නෙමේ” 

එහෙත් අරාබි ජාතිකයන් බත් සමඟ ප්‍රධාන වශයෙන්ම ආහාරයට ගන්නේ මස් වර්ගයි. අපේ රට තුළ ආහාරයට ගන්නා ප්‍රධාන මස් වර්ගය කුකුළු මස් වුව ද අරාබි ජාතිකයන් ප්‍රිය කරන්නේ හරක් මස්, බැටළු මස් සහ එළු මස්වලටය.  ඊට අමතරව තෝර මාළු සහ ගල් මාළු ද ඔවුන්ගේ ප්‍රියතම කෑමකි. 

මනෝජ් කියනා හැටියට ලංකාවේ හොඳ අරාබි කඩ දෙක තුනක් තිබේ. දින කිහිපයක සංචාරයක් අතරතුරදී අරාබි කෑම රස බැලිය හැකිදැයි සංචාරකයෙක් ඇසූවිට ඔහු ඔවුන් රැගෙන යන මරදානේ අරාබි අවන්හලක් තිබේ. යේමන් ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන යන මේ අවන්හලේදී අරාබියේ සැබෑ රස අඩංගු ආහාර පිළියෙල කරන බව මනෝජ් හොඳාකාරව දන්නේ ඔහු අවුරුදු 16ක් පමණ කටාරයේදී ලැබූ අත්දැකීමත් සමඟිනි. 

“හැබැයි අරාබි ඈයන්ගේ විනය පැත්ත නම් ගන්න දෙයක් නෑ. පොඩි ළමයි එහෙම නාහෙට අහන්නෙ නෑ” 

තෙල් සම්පත නිසා මුදලින් කිසිදු අඩුවක් නැති සවුදි අරාබිය, කුවේටය වැනි ධනවත් අරාබි රටවල් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස ලෝකය හඳුනාගන්නේ ද ඔවුන් මානව සංවර්ධන දර්ශකය අතින් ආර්ථික වර්ධනය තරම් ප්‍රගතියක් අත්කරගෙන නොමැති හෙයිනි. 

මඟ තොට යද්දී පවා අරාබි සංචාරකයන් කුමක් කරන්නේ ද යන්න පිළිබඳ හොඳ විමසිල්ලකින් පසුවන්නට ගයිඩ්වරයාට සිදුවන්නේ නිතැතිනි. 

“අරාබි ටුවර්ස් යද්දි අපි කල්තියාම ඉල්ලන්නේ වීදුරුව අරින්න බැරි බස්ම තමයි. මොකද එහෙම නැතිවුණොත් ජනෙල් ඇරගෙන අත පය, ඔළුව සේරම එළියේ දාගෙන තමයි ඒගොල්ලෝ බස් එකේ යන්නේ. කිසි පිළිවෙළක් නෑ” 
මෙනිසාම යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන්ට සළකන ආකාරයට අරාබි සංචාරකයන්ට සළකන්නට යාම නුවණට හුරැ නැත. සංචාරය සාර්ථකව කරගැන්මට නම් ටිකක් තදින් ඉන්නට සිදුවීම සාමාන්‍ය දෙයකි. 

ඊශ්‍රායල්කාරයන්ව පේන්න බෑ

ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින අර්බුදය හේතුවෙන් බහුතරයක් අරාබි ජාතිකයන්ට ඊශ්‍රායල් ජාතිකයන් නයාට අඳු කොළ මෙනි. පලස්තීනයට එරෙහි යුදෙව්වන්ගේ ප්‍රහාර මුස්ලිම් සහෝදරත්වයට සිදුකරන කෙණහිලිකමක් ලෙස ඔවුහු සලකති. ඊශ්‍රායලයේ ලොකු අයියා වන අමෙරිකාව සමඟ සවුදිය ගජ මිතුරු සම්බන්ධයක් පැවැත්වූව ද ඊශ්‍රායලය හා අන් රටවල් මිත්‍ර වනු දැකීම සවුදියට කුවේටයට රුසි නොවේ. 

“අපේ රට ඊශ්‍රායලය එක්ක සම්බන්ධකම් පවත්වනවා කිව්වොත් අරාබි අය ඒකට ගොඩක් තරහයි. අපේ රටවල් ඔයාලගේ දහස් ගාණකට රස්සා දීලා තියෙද්දි ඇයි ආයේ ඊශ්‍රායලේ පස්සෙ යන්නෙ කියලා තමයි අරාබි කට්ටිය අපෙන් අහන්නේ”
ඊශ්‍රායලය කෙරෙහි පවතින අරාබි වෛරය නිසාම මැදපෙරදිග කලාපයේ වෙනත් රටවල් තුළ රුඳී සිටින යුදෙව්වෝ තම ආරක්ෂාවට ඉහළ ප්‍රමුඛත්වයක් දෙති. වෙනත් මැදපෙරදිග රටක සිටින්නේ නම් වෙඩි නොවදින රථ භාවිත කිරීම ද බොහෝ යුදෙව්වන්ගේ සිරිතයි. 

“ජපානෙන් ගෙන්න ගන්න ලෑන්ඩ් කෘෘසර් ජීප් එක අමෙරිකාවට යවලා එහේ තියෙන ජී.එම්. කොම්පැණියෙන් වෙඩි නොවදින විදිහට හදලා ආපහු ඊශ්‍රායලේට ගෙන්න ගන්නවා” මනෝජ් විස්තර කළේය. 

එමෙන්ම ලෝකයේ ඕනෑම තැනක අලුත් ක්‍රමයක ත්‍රස්ත ක්‍රියාවක්, යම් හමුදා ප්‍රහාරයක් සිදුවුවහොත් වහාම විශේෂ සමුළුවක් කැඳවා ඒ ගැන අධ්‍යයනය කිරීමට ඔවුන් යොමුවීම ද සාමාන්‍ය තත්ත්වයක් බව මනෝජ් කියන්නේ අවුරුදු ගණනාවක් පුරාවට යුදෙව්වන් හා එකට කාලය ගත කිරීමෙන් ලත් අත්දැකීම් අනුවය. 

හිට්ලර් සහ යුදෙව්වෝ

යුදෙව් ජාතිකයන් ගැන කියද්දීම හිතට නැගෙන අනෙක් තැනැත්තා වන්නේ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ය. හිට්ලර් අතින් ඝාතනයට ලක්වුණු යුදෙව්වන් සංඛ්‍යාව මිලියන 50ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. යුදෙව්වන් අනාර්යයන් ලෙස දැකීමේ තම හිතලුව මත පදනම් වෙමින් දෙවැනි ලෝක යුද සමයේදී යුදෙව් ජනයා සමූලඝාතනය කිරීමට කටයුතු කිරීමත් සමඟ හිට්ලර් වෙත ලෝක ජනතාවගේ ක්‍රෝධයත් යුදෙව්වන් කෙරෙහි අනුකම්පාවත් ඇතිවිය. 

“ඒගොල්ලොන්ට තාමත් හිට්ලර් ගැන කියද්දි පුදුම තරහයි. ඉතින් තරහා නැති වෙයිද තමන්ගේ ආච්චිලා, සීයලාව ගෑස් ගහලා වද දීලා මරා දාපු මිනිහානේ.... හැබැයි එහෙමයි කියලා එයාලට වර්තමාන ජර්මනිය එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ පැත්තෙන් ගත්තම යුදෙව්වො කියන්නේ අතීතය හෝද හෝද ඉන්න ජාතියක් නෙමේ”

සිලෝන් ටී

සිලෝන් ටී හෙවත් ලංකාවේ තේවලට මැදපෙරදිග කලාපය තුළ ඇත්තේ විශාල ඉල්ලුමකි. සාමාන්‍යයෙන් නුවරඑළියේ හැදෙන ළා පැහැති දල්ලේ මෘදු තේ කෝප්පයට යුරෝපීයයන් පෙම් බඳිද්දී අරාබි ජාතිකයන් පහතරට කළු තේ බොන්නේ තලු මරමිනි. ඔවුහු ද අපේ රටේ මෙන්ම තේවලට කිරි මිශ්‍ර කරගෙන බොති. 

“හැබැයි ඒ ගොල්ලෝ කිරිපිටි පාව්චිචියක් නම් නෑ. එළකිරි තමයි තේවලට දාන්නේ”

ලාංකිකයන්ගේ සහ අරාබීන්ගේ තේ බීමේ තවත් වෙනසක් තිබේ. ඒ වරකට බොන තේ ප්‍රමාණයයි. ලාංකිකයෝ ලොකු කල්දේරම් තරම් කෝප්පවලින් තේ බීව ද අරාබි ජාතිකයා එහෙම නැත. ඔවුහු තේ බොන්නේ එස්ප්‍රෙසෝ කෝපි කෝප්පයක් තරම් කුඩා ප්‍රමාණයකිනි. 

යුදෙව්වන්ගේ තේ සම්ප්‍රදායට මේ ක්‍රම දෙකටම වෙනස්ය. ඔවුහු වැඩි කැමැත්තක් දක්වන්නේ නුවරඑළියේ හැදෙන ළා පැහැති දල්ලටය. ළා රන්වන් පාටට හැදෙන තේ කෝප්පයට මින්ට් කොළයක් දෙකක් දමාගෙන තේ රස විඳීම යුදෙව්වන්ගේ පුරුද්දයි. 

සන්තෝසම් 

යුදෙව්වන්ගේ සහ අරාබීන්ගේ පවතින හොඳ පොදු ලක්ෂණයක් වන්නේ අනෙකා පිළිබඳ සොයාබැලීමයි. මනෝජ් පවසන ආකාරයට සංචාරයක් අතරතුරදී ගයිඩ් නිසි පරිදි ආහාර ලබාගත්තා ද ඔහුගේ සුවදුක් කෙසේද යන්න ගැන මේ සංචාරකයන් දෙපිරිසම හොඳ අවධානයක් යොමුකරයි. 

“යුදෙව්වොයි, අරාබීනුයි දෙගොල්ලොම ආසියානුවෝනේ. ඉතින් අපි හැමෝම ආසියානුවෝ කියන ගතිය එයාලා අතර තියෙනවා. හැබැයි ඊශ්‍රායල් අය නම් වෙනත් බොහෝ තැන්වලදි අමෙරිකාව කොපි කරන්නම තමයි උත්සාහ ගන්නෙ” 

ඊශ්‍රායලය අමෙරිකාව කොපි කිරීම ගැන මනෝජ්ට දෙන්නට ඇති හොඳම උදාහරණය වන්නේ සන්තෝසම් දීමය. ඕනෑම රටක ඕනෑම සංචාරක මාර්ගෝපදේශකයකු නිසි සේවාවක් ලබාදුන්නේ නම් සන්තෝසමක් දීම සාමාන්‍ය දෙයකි. ඊශ්‍රායල් සංචාරකයන් ද සංචාරය අවසානයේ හොඳ ටිප් එකක් දීමට අමතක නොකරන ජාතියකි. එය ඔවුන් අමෙරිකාවෙන් අහුළාගත් පුරුද්දක් බව මනෝජ්ගේ මතයයි. යුදෙව්වන් එසේ සැළකූව ද අරාබීන්ගෙන් සන්තෝසම් බලාපොරොත්තු වීම යනු ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් බඳුය. 

“මම සාමාන්‍යයෙන් ඉහළ මිලක් අය කරන ගයිඩ් කෙනෙක්. මොකද මම මට අවංකව මගේ රස්සාවට අවංකව හොඳම සේවයක් සංචාරකයන්ට දෙනවා. ඉතින් ඒ වෙනුවෙන් සාධාරණ ගෙවීමකුත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳ සර්විස් එකක් දුන්නම සමහරදාට ඩොලර් 100ක විතර ටිප් එකක් එක දවසට ලැබෙන අවස්ථාත් තියෙනවා” 

කියැවීමත් ඉතිහාසය පුරා විද්‍යාව හැදෑරීමත් තම වෘත්තීය තුළ අත්‍යන්තයෙන්ම තිබිය යුතු යහපත් ලක්ෂණ බව මනෝජ්ගේ හැඟීමයි. 

“අනිත් දේ තමයි ටුවරිසම්වල ඉන්න ඕන කෙනෙක්ට හොඳ හදවතක් තියෙන්න ඕනෙ. මොකද අපි ගනුදෙනු කරන්නේ මිනිස්සු එක්ක. ඉතින් මේ වගේ දෙයක් සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ හොඳ හදවතක් තියෙන කෙනෙක්ට විතරයි” 

(තවත් කොටසක් ලබන සතියේ) 
► රජිත ජාගොඩ ආරච්චි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00