2018 ජුනි 16 වන සෙනසුරාදා

ඒ කවුරුත් මිනිස්සු

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

“කනවද?”බබල්ගම් පැකට් එක එහා පැත්තේ ඉඳපු අංකල්ට දික් කරන ගමන් මම ඇහුවා.“තැන්ක් යූ පුතා” ඔහු සිනාමුසු මූණකින් ඒක පිළිගත්තා. ලයනල් වෙන්ඩ්ට් එකේ බැල්කනියේ පස්සෙම පේළියකට වගේ වෙන්න මම වාඩි වෙනකොටත් මේ මනුස්සයා එතන හිටියා. කම්මැලිකමටත් වඩා කාත් එක්ක හරි වචනයක් කතා කරන එක ආසාවක් වෙලා තියෙන නිසා මම මේ ට්‍රයි කරන්නේ අංකල්ව කතාවට අල්ල ගන්න. මොකද ඩ්‍රාමා එක පටන් ගන්න තව ටික වෙලාවක් තියෙනවා.

“අංකල් සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යය බලනවද?” 

“එහෙමමත් නෑ පුතා. වෙලාවක් තිබුණොත් බලනවා... පුතා මේ ළඟද?”

“නෑ අංකල් මම පිළියන්දල...”

“මොකද තනියම?”

ඔහු ඇහුවේ හිනාවෙමින්.

“මොන තනියක්ද අංකල් මේ ඉන්නේ ඕන තරම් මිනිස්සු” මමත් හිනා වෙමින් කිවුවා..

“ඒ වුණාට ඉතින් කොච්චර මිනිස්සු හිටියත් උඹටම කියලා නෑ නේ... බලපන් ඔය හැම කෙනාටම වෙන වෙන ගමනක් තියෙනවා. එයාලා ඒක පස්සේ හැල්මේ දුවනවා. තව එකෙක් ගැන හිතන්නේ නෑ පුතා”

“ඉතින් ඇයි අංකල්, තනියම?”

“මේ ලෝකේ මට ඉන්නේ මම විතරයි පුතා. මට දැන් 65ක්. තව දහයක් ඉඳියි”

ඔහු හදිසියේ යමක් මතක් වුණා වගේ සාක්කුවට අත දාලා ෆෝන් එක අරන් ඕෆ් කර ගත්තා. මේ මනුස්සයා හරිම සරලයි. ඒ වගේම හරිම සැහැල්ලුවෙන් ඔහු හිටියේ. මම හිතුවේ ඔහු විශ්‍රාමික රාජ්‍ය සේවකයෙක් කියලා.

“අංකල් මොනාද කරන්නේ?”

“මම පොඩි බිස්නස් වගයක් කරනවා පුතා” 

තර්ඩ් බෙල් එකත් වැදුණට පස්සේ මම ඔහුත් එක්ක කථාව නැවැත්තුවා.පැය එක හමාරේ නාට්‍යය දර්ශනයෙන් පස්සේ මම ඔහුත් එක්ක කථා කර කරමයි පල්ලෙහාට බැස්සේ.

“යමුද අංකල් මොනා හරි බොන්න?” මම යෝජනා කළා.

“මන් කොහොමත් රේස් ක්‍රොස් එක පැත්තේ වෝක් එකක් දාලා තමයි යන්නේ. යමු ඒ පැත්තට” මීටර් කිහිපයක් ඇවිදගෙන එනකොට පාර අයිනේ තිබුණ අලුත්ම බෙන්ස් රථයක් අන්ලොක් වුණා.

“ඒක මගේ වාහනේ පුතා” 

මම පුදුමෙන් ඔහු දිහා බලනකොට ඔහු කිව්වා. විස්තර කතා කරන කොට මට හිතුණේ ඔහු ටිකක් වෙනස් කෙනෙක් වගේ. ජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් ඔහුට තිබුණා.

“ඔය බෙන්ස් නිකම්ම ලැබුණෙ නෑ පුතා. ටිකට්වලින් ඇදිච්ච ඒවත් නෙමෙයි. හොරකම් කරලා ගත්ත ඒවත් නෙමෙයි. මම ගොඩාක් දුක් විඳපු කෙනෙක් පුතා”

“ඇයි අංකල් බැන්දේ නැත්තේ?”

කෙනෙක්ගේ පුද්ගලික දේවල් අවුස්සන්න එක හොඳ නැති වුණත් අහන්න හිතිච්ච නිසා අහලා දැම්මා. ඔහු හිනාවුණා. ඒ වගේම එක පාරටම ඔහුගේ මූණ වෙනස් වුණා...

“එයා නැති වුණා පුතා”

“ඇත්තටම සොරි අංකල්. මම හිතුවේ නෑ එහෙම දෙයක්”

“පිස්සුද පුතා ඕවා මොනාද? උඹ දන්නවද එයා මට හම්බ වුණේ අමෙරිකාවෙදි” ඔහු ලොකු කතාවක් කියන්නයි මුලපුරන්නේ...

“මම හොඳට ඉගෙන ගත්තේ නෑ. අපේ අම්මලට මාව වදයක් වුණා. මගේ හීනයක් තිබ්බා පිටරටකට යන්න. මම දිව්වෙම ඒක පස්සේ... ගෙදරත් එක්ක වලි දාගෙන ලක්ෂ ගාණක් වියදම් කරගෙන මම ගියා කොහොම හරි අමෙරිකාවටම...”

“තමන්ගෙම කියලා කාත් කවුරුවත් නැති රටක කන්න බොන්න නැතුව මම කුණු බක්කිවලින් කෑම අහුලන් කෑවා. මට තනිකම කියන දේ නුහුරු දෙයක් නෙමෙයි පුතා. දුක් වින්දා. කරන්න පුළුවන් හැමදේම කරා. කරන්න තිබ්බ දහ ජරා වැඩ සේරමත් කරා... අවුුරදු එක හමාරකට විතර පස්සේ මට එයාව මුණ ගැහුණේ නයිට් පාර්ටියකදි... තනියම ඉඳපු මට එයා ගොඩක් ළං වුණා. ඇත්තටම අපි ගොඩක් ආදරේ කරා. එයා ටිකක් යමක් කමක් තිබුණ කෙනෙක්. හැබැයි මට වඩා අවුරුදු දොළහක් වැඩිමල්. මම දුක් විඳපු කාලේ ටිකෙන් ටික අඩුවුණා. මම ජීවිතේ විඳින්න ගත්තා. අවුරුදු දෙකකට විතර පස්සේ මම එයත් එක්ක ලංකාවට ආවා. හැබැයි අපේ ගෙදරින් මාව පිළිගත්තේ නෑ. අපේ තාත්තා මට බැන්නේ කුණුහරුපෙන්. එයාගෙයි මගෙයි සම්බන්ධෙ අපේ රටේ විදියට ගැලපෙන්නේ නෑ. ඒක මම දන්නවා. ඒත් එතකොටත් එයා මගේ ලෝකෙම වෙලා ඉවරයි...”

“ගෙදර මිනිස්සුන්ට තේරුම් කරලා දුන්නේ නැද්ද ඉතින්?”

“මම මොන දේ කිවුවත් එයාලා ඒවා පිළිගන්න තැනක හිටියේ නෑ පුතා. අම්මා මට වැඳලා කිව්වා උඹ එහේම ඉඳපන්. මෙහාට එන්න එපා කියලා”

ඔහුගේ මුහුණේ තිබුණේ අමුතුම හැඟීමක්. හැබැයි ඔහුගේ වචන හරිම කෙලින්.

“ඉතින් මම සේරම අත ඇරියා. මම ආපහු එයත් එක්ක ගියේ කවදාවත් ලංකාවට එන්නේ නෑ කියලා හිතාගෙන. අපි ජීවත් වුණා. ගොඩක්ම සතුටින්. අපිට කසාද බඳින්න ලොකු හදිසියක් තිබ්බේ නෑ. මොකද එහෙම එකට ඉන්න එක එහේ සාමාන්‍ය දෙයක්. ආදරේ කියන්නේ ඇත්තටම මහා පුදුම දෙයක් පුතා. අවුරුදු ගාණක් මෙහෙම ගෙවුණා. එක දවසක, එක සිදුවීමකින් මේ සේරම කණපිට පෙරළුණා. එයා ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා පුතා”

ඔහු හිනා වෙන්න උත්සාහ කරනවා.

“ඇති අංකල් අපි මොනා හරි බොමු”

“මට අවුලක් නෑ පුතා. උඹ කවුද කියලා නමවත් නොදැන මම උඹට මේක කිවුවේ උඹ හොඳ එකෙක් කියලා මට තේරුණු නිසා... මම ඇඬුවා, බිව්වා, කුඩු ගැහුවා, දවසට එකා ගානේ ගෑනු ගෙන්නගෙන හිටියා. මොනදේ කරත් මට ඒ අඩුව පුරවන්න බැරිවුණා... 

ඒ අමුතුම රටේ ආපහු මම තනි වුණා. උඹ හිතපන් මම කාට කියන්නද? හරිහමන් යාළුවෙක් නෑ, මගේම කියලා නෑදෑයෙක් නෑ... පිස්සු හැදුණේ නැති එක විතරයි”

“ආදරේ කරද්දි එහෙම තමයි අංකල්. නැති වුණාම ලොකු දුකක්”

“උඹ මොනාද බං ආදරේ ගැන දන්නේ? උඹ මොනාද බං ජීවිතේ ගැන දන්නේ? මට වෙච්ච දේවල්වලින් දශමයක් උඹට වෙලා නෑ”

අංකල්ගේ කතාවෙන් මම කොරවුණා.

“ඒ රටේ ගෙවන හැම තප්පරයකදිම මට එයාව මතක් වෙනවා. මට බැරිවුණා එයාව අමතක කරන්න. මම තීරණයක් ගත්තා. ආපහු ලංකාවට ආවා. හැබැයි ඒ ආවේ හිස් අතින් නෙමෙයි. යමක් කමක් ඇතුවයි ආවේ. හැබයි මම ගෙදර ගියේ නෑ. මම ආපහු බින්දුවේ ඉඳන් පටන් ගත්තා. එයාව අමතක කරන්න මම කරේ වැඩ කරන එක. වැඩ කරා, වැඩ කරා, වැඩ කරා... මම අත ගහන හැම දෙයක්ම හරි ගියා. ඇත්තටම මට දැන් සල්ලි තියෙනවා ඇති වෙනකම්. පස්සේ ගෙදර අය මාව හොයාගෙන ආවත් මම ගියේ නෑ. හැබැයි මම මගේ යුතුකම් සේරම එයාලට කරා. තාමත් කරනවා. 

උඹ කිවුවා හරි. අපි තනි වෙලා නෑ. අපි වටේටම මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඉන්නේ දාහක් ප්‍රශ්නවල. සමහර වෙලාවට අපිට පුළුවන් ඒ මිනිස්සුන්ගේ මූණට හිනාවක් දෙන්න. සමහර වෙලාවට වචනෙකුත් ඇති පුතා. මම මිනිසුන්ට ආදරේ කරන්න පටන් ගත්තා. මට පුළුවන් තරමින් මිනිහෙක් ගොඩදාන්න මම හිතා ගත්තා. ඇත්තටම පුතා මම දැන් ණය නැති මිනිහෙක්”

ඔහුගේ කථාව මට ටිකක් මඤ්ඤන් වගේ.

“ඉතින් අංකල් මට පෙන්නුවේ නෑනේ එයාව” ඔහු හිනා වුණා.  ඔහු පර්ස් එකෙන් එළියට ගත්ත ෆොටෝ එකක් මට දික් කරා. ඒ දික් කරද්දි ඔහු කෙළින්ම මගේ මූණ දිහා බලාගෙන උන්නු වග මට තේරුණා.

“මොකක්?” මට කියවුණේ ඉබේටමයි.

“මම හිතුවා උඹ ඔහොම කියයි කියලා” ඔහු හිනාවෙනවා. ඒ පින්තූරේ හිටියේ සුදු ජාතික මැදිවයස් පිරිමියෙක්.

“පුදුම වෙන්න දෙයක් නෑ බං. මම ඒ ආදරේ කරේ පිරිමියෙක්ට. ඒකයි අපේ ගෙවල්වලින් වුණත් එච්චරටම අකමැති වුණේ...” 

තාමත් හිතා ගන්න බෑ. ඇත්තටම ඔහු හරිද? වැරදිද? ඒක ගැළපෙන දෙයක්ද? නොගැළපෙන දෙයක්ද?

“අංකල් කවුද ඇත්තටම?”

“මම කවුද කියලා උඹට වැඩක් නෑ පුතා. එකක් කියන්නන් උඹට. මාත් එක්ක කතා කරනකොට උඹ හිතුවේ නෑ නේද මම පදින්නේ බෙන්ස් එකක් කියලා...? මගේ කථාව අහනකොට උඹ හීනෙකින්වත් හිතුවේ නෑ නේද මම ආදරේ කරේ පිරිමියෙක්ට කියලා...? පිටින් බලලා මිනිස්සු ගැන තීරණය කරන්න එපා පුතා. පුළුවන්නම් තමන් වටේ ඉන්න එක මිනිහෙක් හරි ගොඩ දාපන්. ඒක තමයි නියම මනුස්සකම. උඹ මාව නමින් අඳුනගන්න ඕන නෑ. හැබැයි මතක තියා ගනින් මේ ලෝකේ ඉන්න මිනිස්සු විවිධාකාරයි. හැබැයි ඒ කවුරුත් මිනිස්සු”

ඔහු කිව්ව අන්තිම වචන ටික හිතට වැදුණා. 

“මේ ලෝකේ ඉන්න මිනිස්සු විවිධාකරයි. හැබැයි ඒ කවුරුත් මිනිස්සු”

►  සහන් කොඩිකාර
 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00