2018 ජුනි 16 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

. ඔය ප්‍රභූ කියලා හිතන් ඉන්න පවුල්වල පුදුම කරුමයක් වෙලා මේක. නවතින්නෙම නෑ. එන්න එන්න වැඩේ උඩු දුවනවා මිසක් නැවතිල්ලක් ඇත්තෙම නෑ.

දැන් බලන්න ඩී.එස්.ගේ පුතා ඩඩ්ලි ඒ මනුස්සයා මහත්මා දේශපාලනයක් කළ කෙනෙක්. ඊට පස්සේ බණ්ඩාරනායක මහත්තයගේ පුතා අනුර හොඳ මහත්මයෙක්. ඉංග්‍රීසි දන්න, පොත පත චිත්‍රපට බලන දැනුම පිපාසිත මිනිහෙක්. ජේ.ආර්.ගේ පුතා රවී ජයවර්ධන, විශේෂ කාර්ය බළකාය හැදුව මනුස්සයෙක්. ඒකට හේතුව තමයි ඒ තාත්තලා පුතාලට බලය දුන්නේ නෑ. ඒ නිසා ඔවුන් හැදුණා. ඒ බලයෙන් තැම්බෙන්නේ නැතුව. ඒත් දැන්?

එක්කෝ පුතා නයිට් කල්බ් යනවා. රජයේ වාහන අරගෙන, ගිහින් ගහගන්නවා, සමහර පුතාලා රේස් පදිනවා, සමහර පුතාලට මිනීමැරුම් වංචා දූෂණ චෝදනා. ඒ පුතාලා තාත්තගේ තැනත් කාලා සමස්ත පවුලෙම දැලිගාන පොරවල්. එහෙම උන්ව තාත්තලා හුරතල් කරන එකනේ වැඩේ. අනික ප්‍රසිද්ධිය.

හොඳම උදාහරණය මේ ළඟදි එක පුතෙක් ගෙයක් කඩාගෙන ගියා. වාහනේ කඩු පොලු, අරක්කු බෝතල්, අනික බීලා. මේ ඔක්කොම දකිද්දී කියනවනේ මේවා බොරු ගොතපුවා කියලා. අපේ පුතා අහිංසකයි කියනවා. පුදුම තාත්තලා.
එක පුතෙක් පහුගිය ආණ්ඩුව කාලෙම ක්ලබ්වල වලි, තාත්තා එළියේ වලි. තාත්තා කිව්වනේ පුතා අහිංසකයි කියලා. පුදුම රටක්. දැන් මේ පුතාලට තාත්තලගේ පවර් නිසා රටේ මිනිස්සු සෙල්ලම් බඩු. ගෙවල් කඩනවා,මිනිස්සු හප්පනවා. පුදුම සතුටක් ගන්නේ.

මේ කියන නාහන උන්ව පස්සේ පක්ෂයේ නායකයට කියලා. මගෙන් පස්සේ අපේ පුතා ඉන්නේ කියලා සංවිධායකකමක් දීලා දේශපාලනයට ගේනවා. ඒ ගෙනාපු වෙලාවේ ඉඳලා ඉතිං නලියනවා. පාර්ලිමේන්තුවේ ගහගන්නවා, සෙංකෝලේ උස්සන් යනවා වගේ දේවල් කරන්නේ අන්න ඒවගේ ඇට්ටර, මොළයක් නැති උන්. හැබැයි ඒ තාත්තලට හරි උජාරුයි. පුළුවන් නම් හවසට ඔයා කොළඹ තියෙන කල්බ්වලට යන්න ඔය තාත්තලගේ පුත්තු තාත්තලගෙම රජයේ වාහන වලින් ඇවිත් සැපගන්න හැටි. අපිට කමක් නෑ පෞද්ගලික සල්ලි නම් හැබැයි රජයේ දේපළවලින් සැපගන්න එක අපිට ප්‍රශ්නයක් තාත්තලට ප්‍රශ්නයක් නැතිවුණාට.

ලාංකේය ඉතිහාසය ඇතුළේ දැවැන්ත දේශපාලන තාත්තලව පුතාලා විසින් විනාශ කළා. දැවැන්ත ව්‍යාපාරික තාත්තලව පුතාලා එකතුවෙලා ව්‍යාපාරයයි තාත්තයි දෙන්නම විනාශ කළා. සමහර කලාකරුවන්ගේ පුත්තු තාත්තලගේ කලාව විනාශ කළා. මේ කියන්න පුළුවන් කෙටියෙන් කිව්වේ. ඕනේ නම් නම් එක්කම කියන්න පුළුවන්. හැබැයි ඒකෙන් තාත්තලගේ නම කැත වෙන්නේ.

කොහොම වුණත් මේ හැම විනාශයක් වෙන්නම හේතුවක් තිබ්බා. ඒ තමයි මේ හැම පුතාලම උඩට එන්න තාත්‍තව පාවිච්චි කළා. දේශපාලන පුතාල තාත්තගේ බලය ගත්තා. ව්‍යාපාරික පුතාලා තාත්තගේ ධනය ගත්තා, කලාකරු පුතාලා තාත්තලගේ නිර්මාණ හොරාගත්තා. ඒකෙන් තාත්තලා විතරක් නෙමෙයි උනුත් විනාශ වුණා. එහෙම නොවී තනියම නැගිට්ට පුතාලත් නැතුව නෙමෙයි. ඒ පුතාලා තාත්තට වැඩිය ජනප්‍රියයි. සමහර පුතාලා ඒ තාත්‍තගේ පුතාද කියලවත් දන්නේ නෑ.

ඒ නිසා කියන්න තියෙන්නේ තාත්තලට, නිකන් පුතාලව පොරවල් කරලා විනාශ කරන්න එපා. පුතාට කියන්න තියෙන්නේ තාත්තලගේ දේවල් අරගෙන සමාජය විනාශ කරන්න එපා. තාත්තා පුතා ඥාතිකම ආදරේ කරන්න තියාගන්න. එහෙම නැතුව ජීවත් වෙන්න තියාගන්න එපා.

► මම
    බ්‍රෝ