2018 ජුනි 16 වන සෙනසුරාදා

වෙඩි තැබීමක් මවා පා කූඩුවට ගිය සයිටම් වෛද්‍ය සමීර

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වෛද්‍ය සමීර සේනාරත්නය. ඔහුට එරෙහිව ජීවිත තර්ජන පවතින බව හුවා දැක්වීමට ව්‍යාජ රංගනයක් නිර්මාණය කළැයි කියන සිද්ධිය සයිටම් ගැටලුව උග්‍රවූ කාලයේ විශාල ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමකි.

එම හේතුව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ. අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ව්‍යාජ ප්‍රකාශ ලබාදීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා හේතුවෙන් රහස් පොලීසිය සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන පසුගිය 9දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම නියෝගය නිකුත් කොට තිබුණි. අදාළ සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ ටීනා හෙවත් සුමිත් නිරෝෂණ, සිසිර උදයකුමාර, අරුණ ලක්මාල් සහ කුෂාන්ත විලත්ගමුව යන අය තවමත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙති. නඩුව විභාගයට ගත් මැයි 31 දින අධිකරණය මගින් ලබාදුන් නියෝගය මත රහස් පොලීසිය සැකකාර වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන අධිකරණයට පැමිණවීමේදී ඉහත නියෝගය නිකුත් කෙරැණු අතර ඒ පසුගිය 2017 වසරේ පෙබරවාරි 6 දින අදාළ සිදුවීම සම්බන්ධයෙනි.

සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට පසුව ආයතනයේ බලය හිමිව තිබුණේ සමීර සේනාරත්න හටය. එබැවින් ආයතනයේ නීතිමය තත්ත්වය තහවුරු කිරීමට හැකි උපරිම මෙහෙයක් ඔහු ඉටුකළේය. මෙම ආයතනයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට වෛද්‍ය වෘත්තියේ කටයුතු කිරීමට හැකිවන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට අවශ්‍ය අවසරය ලබාදෙමින් අධිකරණ තීන්දුව ප්‍රකාශ කර තිබුණේ පසුගිය වසරේ ජනවාරි 31 වැනිදාය.

එම තීන්දුවත් සමඟ වෘත්තීය සමිති ඇතුළු විවිධ සංගම් ඒකරාශි වී උද්ඝෝෂණ හා වැඩවර්ජන ඇරඹීම නිසා රටේ බොහෝ කටයුතු ඇතැම් දිනවල අඩාල විය. වරින්වර මේ තත්ත්වය සිදුවෙද්දී තමන්ට මරණීය තර්ජන එල්ල වී තිබෙන බව වෛද්‍ය සමීර සේනාරත්න පැවසුවේය. ඒ ලිපි මාර්ගයෙන් හා දුරකථන පණිවුඩ ඔස්සේය. ඒ පිළිබඳව ඔහු කරුණු දක්වමින් මුල්ලේරියාව පොලීසියේ පැමිණිල්ලක්ද කළ බවට වාර්තා වී තිබිණ.

අධිකරණ තීන්දුවෙන් පසුව ගතවූයේ දින හයකි. ආයතනයේ සේවයට පැමිණි සමීර සේනාරත්න රාජකාරි නිමාකොට පිටත්ව යමින් සිටියේය. ඒ ඉකුත් වසරේ පෙබරවාරි 6 වැනි සඳුදාය. සයිටම් ආයතනයෙන් පිටතට ආ ඔහු ගමන්ගත් මෝටර් රථයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මාවතේදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණි. පළමුව මෝටර් රථයට ගල් ප්‍රහාරයක්ද දෙවනුව වෙඩි වරුසාවක්ද එල්ල කළ බව සමීර සේනාරත්න කියා සිටියේය. මැර පිරිස වෛද්‍යවරයාගේ රථයට ඉදිරියෙන් හා පිටුපසින් වෙඩි තබා ඇතත් ඔහුට කිසිදු හානියක් සිදුව තිබුණේ නැත. එය කාටත් පුදුම සහගත විය. මැර ප්‍රහාරයකින් නොමැරී බේරුණු වෛද්‍යවරයාගේ ප්‍රාතිහාර්යයත් සමඟ යළිත් සයිටම් කතාව කරළියට පැමිණියේය. ඒ ඔහු කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ තොරතුරැ ප්‍රචාරයත් සමඟය.

මේත් සමඟම සයිටම් ආයතනය චෝදනා කර තිබුණේ ප්‍රහාරය පසුපස රජයේ වෛද්‍ය සංගමය සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සිටින බවටය. සිදුවීම් පිළිබඳව ප්‍රථමයෙන් මුල්ලේරියාව පොලීසිය විමර්ශන සිදුකළද පොලිස්පති නියමයෙන් එය පොලිස් මූලස්ථාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත යොමුකර තිබුණි. වෙඩි ප්‍රහාරයට ලක්වූ රථයේ වෛද්‍යවරයා සිටියේ නම් අනතුරක් සිදුවිය යුතු බව පොලීසියේ විමර්ශනයෙන් කියා තිබිණි. මේ නිසා වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කළේ සැකයෙනි. වෙඩිතැබීම අවස්ථාවේ පාරේ කිහිප දෙනකු ගමන් කළ බව වෛද්‍යවරයා පොලීසියට පවසා තිබුණද එවැන්නක් අනාවරණය වූයේ නැත. එසේම ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා ආශ්‍රිතව කිසිදු සැකකටයුතු යමක් දර්ශනය වූයේද නැත. මේ අතර වෛද්‍යවරයා සහ පිටස්තර පාර්ශ්වවලින් ලැබුණු කටඋත්තර කිසිසේත්ම ගැලපුණේ නැත.

පොලීසියේ ඔත්තුකරැවකුගෙන් හදිසි තොරතුරක් ලැබී ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් මහර බන්ධනාගාරයේ සිටින බවය. ඔහු ඩිලූ නැමැති අනර්වර්ථ නාමයෙන් හඳුන්වන්නෙකි. අත්අඩංගුවට පත්වීමෙන් පසුව පොලීසියට ඔහු කියා තිබුණේ තමා හමුවට මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියැදුරෙක් වාර ගණනක් පැමිණි බවත් තමන් වෙඩි ප්‍රහාරය සිදුකළ බව කියනා ලෙසත් ඒ වෙනුවෙන් රැපියල් ලක්ෂ පහක් ලබාදෙන බවත්ය. කටඋත්තරයට අදාළ රියදුරැ පොලීසියට හසුවූයේ නැත. එහෙත් තවත් ඔත්තුකරුවෙක් කීවේ සැකකරැවෙක් ඇඹිලිපිටියේ සිටින බවය. ඔහු අත්අඩංගුවට පත්වූයේ එදාමය. 

ඔහු කඩුවෙල පැමිණ ගරාජයක සේවය කළ අයෙකි. ටීනා නැමැති ඔහු අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වූ අතුරුගිරියේදී වෙඩිවැදී මියගිය බංඩාගේ හිතවතෙකි. ඔහු ඩිලූ නැමැත්තා ගැනත් තොරතුරු පවසා ගිනි අවි දෙකක්ද පෙන්වා තිබුණි. සමීර සේනාරත්න ඝාතනය කළ විට ලක්ෂ පහක් දෙන බවට බංඩාගේ හිතවතෙක් පැවසූ බවටද කියා තිබුණි. එහෙත් ඩිලූ - ටීනා දෙන්නාගේ ප්‍රකාශ පරස්පර බව පොලීසිය හඳුනාගෙන තිබුණි. විද්‍යාත්මක සාක්ෂි අනුව හෙළිව තිබුණේ ටීනා වෙඩිතැබීම වූ දා අදාළ පළාතට හෝ නොගිය බවය. අවසානයේ ටීනා ඇත්ත හෙළි කළේය. ටීනාට මේ කතා ගොතන්නට උපදෙස් දී තිබුණේ මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියැදුරෙකි. ගිනිඅවි ගෙනත් දී ඇත්තේද ඔහුය. ගිවිසගත් මුදලෙන් ලක්ෂයක් ලබාගත්තේද ඔහුගෙනි. තවදුරටත් කීවේ වෙඩි තැබීම තමාට බාරගන්න කීවේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු බවය. ටීනා අත්අඩංගුවට ගත් පසුව සැකකාර මන්ත්‍රීවරයාත් රියදුරාත් සොයා මෙහෙයුම් සිදුකෙරිණි.

අවසානයේ හෙළිවූයේ සැකකාර මන්ත්‍රී කුශාන්ත විලත්ගමුව සහ වෛද්‍ය සමීර සේනාරත්න ගජ මිතුරන් බවය. විලත්ගමුව සයිටම් ආයතනයේ බොහෝ කොන්ත්‍රාත් වැඩකටයුතු බාරගෙන සිදුකළ අයෙක් විය. ඒ සියල්ල වූයේ වෛද්‍ය සමීර හරහාය. දෙදෙනාගේ හිතමිතුරැ බව අනාවරණය වීමත් සමඟ වෛද්‍ය සමීර සේනාරත්න අත්අඩංගුවට ගනු ලැබීය. තවත් පොලීසිය නොමඟ යවන්නට බැරි තැන සැකකාර වෛද්‍යවරයා ඇත්ත වැමෑරැවේය. ඔහු හිතවත් මන්ත්‍රීවරයාට කියා තිබුණේ, මට ජීවිත අවදානමක් තියෙනවා. පොලිස් ආරක්ෂාව තිබුණා නම් හොඳයි. පුළුවන් දෙයක් කරලා දෙන්න යන්නය.

මෙසේ විලත්ගමුවට පැවසුවද ඉන් එහා යමක් නොදන්නා බව කියමින් ඔහු සිය හිතවතා පාවා දී ඇතැයි සඳහන් වේ. මේ අයුරින් සැකසූ පිටපතක් හරහා පොලීසිය, ආණ්ඩුව මෙන්ම රටේ මහජනතාව රවටා තම අභිප්‍රාය ඉටුකරන්නට උත්සාහ ගත් සමීර සේනාරත්න හේතුවෙන් සයිටම් නාමයට වූයේද අගතියකි. එහි ඵලයක් වශයෙන් ඔහුගේ රුකියාව අහිමි වෙද්දී තවදුරටත් ඔහුට එරෙහි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී.

 සමස්ත ප්‍රදීප් විල්තෙර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00