2018 ජුනි 16 වන සෙනසුරාදා

නිල්වලාව හැඩකළ මා වී

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 251

තරුණ ලේඛකයකු මෙන්ම ජනමාධ්‍යවේදියකු වන තිහගොඩ කැලුම් බෝධිමාන නිල්වලා පහළ නිම්නයේ දෙගැම්මැදියේ සංචාරය කරමින් ගැමි ගෙවල්වල සැරිසරමින්, කමතේ, කුඹුරේ, පාවරපොළේ, ගම්මඩුවේ ඔවුන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් එකතු පහදු කරගත් ඥාන සම්භාරය අතිවිශාලය. ඔහු ඒ දැනුම් කෝෂය නිල්වලාව හැඩකළ මා වී නමින් මෙම ග්‍රන්ථයේ අකුරු කර ඇති ආකාරය ද මනබඳින සුළුය. රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිලාභියකු වන ඒ මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් ඩිප්ලෝමාවද, කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන පශ්චාත් උපාධියද ලබා ඇත. ඒ මහතා දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන දර්ශනපති උපාධිය හදාරමින් සිටියි.

විශේෂයෙන්ම මා වී වගාව පිළිබඳව පමණක් නොව ඒ හා බැඳුණු ආගමික පසුබිම, සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස, ජනප්‍රවාද, යාතුකර්ම හා අභිචාර විධි පිළිබඳව ද තොරතුරු ඇතුළත් කිරීම අතිශය වැදගත් වේ. ඒවා සොයා ඒ මහතා කර ඇති වෙහෙසකර මෙහෙයුම සාර්ථක පර්ෙය්ෂණයක් බව කිව මනාය. ඒ පිළිබඳව ප්‍රබුද්ධ පාඨකයන් මෙන්ම විද්වතුන්ගේද ගෞරවයට නොමඳව පාත්‍ර විය යුතුය.

ලංකා සංස්කෘතියේ සාර්ථකත්වය පිළිබඳ ප්‍රධාන සංකේත වන වී සමන් දෙවියන්ගේ අවතාරයක් ලෙස රත්නපුර පළාතේ ජනයා සලකති. කොත්මලේ වැනි ප්‍රදේශවල වී හඳුන්වන්නේ සමන් ජාතකේ නමිනි. එසේම පැරුන්නෝ වී සිහිකොට දිවුරන අතර එයට සමන් ජාතකේ පල්ල යනුවෙන් යෙදූහ. නිල්වලා ගැමිජනයාද වී පිළිබඳව සෑම කටයුත්තකදීම දෙවියන් බුදුන් සිහිකිරීම පළමුව සිදුකරන්නකි. නිල්වලා දෑලේ ගොවියා බුද්ධ බෝගයක් වන මා වී බැත හුළං කරන්නට, බුදුන් නොවැඳ මුඩේට ගොඩ නගින්නේ නැත. දරු බත් කැවිල්ලට, මඟුල් පෝරැවට, මහා දේවදානයට, ගම්මඩුවට හා ධාතු කරඬුවට තබන්නට මහ මා වී ගනු ලබන්නේ එය ශුද්ධ වස්තුවක් මෙන්ම පවිත්‍රත්වයේ සංකේතයක් වශයෙනි.

වසර සිය දහස් ගණනක කාලයක සිට මෙම නිම්නය තුළ ජනනය වූ දේශීය ඥාන සම්භාරය වැඩිහිටි පරපුරත් සමඟ අභාවයට යාමේ තර්ජනයට මුහුණපා ඇත. ඒ නිසා එම දැනුම ලේඛනගත කිරීමට වර්තමානයේ ඉහළ ප්‍රමුඛත්වයක් දිය යුතුව ඇත. එහෙත් රජය හෝ වෙනත් වගකිව යුතු ආයතනයක් එම කටයුත්තට අතගසන බවට හෝඩුවාවක් නැත. එවන් වකවානුවක තිහගොඩ කැලුම් බෝධිමාන මෙම කාර්යයට අතගැසීම ඉතාමත් ප්‍රශංසනීයය.

මා වී වගාව හා බැඳුණු කෙම් ක්‍රම, කැබැල්ලගොල්ල බෝධීන් වහන්සේ අබියස ගොඩනැඟුණු ජන සංස්කෘතිය, මා වී සංස්කෘතිය හා බැඳුණු පූජාවිධි ඇතුළු පරිච්ඡේද රුසකින් යුක්තව මෙම කෘතිය රචනා කර තිබේ.

සම්ප්‍රදායික ගොවිතැන් රටාවක් වූ මා වී වගාවේ පැවැති සන්නිවේදන ලක්ෂණ ජන සංස්කෘතියේ වෙනස්වීම උදෙසා බලපෑවේද යන්න සොයාබැලීමට වටගෙදර ග්‍රාමය පමණක් නොව මාලිම්බඩ, පාලටුව, වැල්ලේතොට, එළඹකලාගොඩ, කද්දුව යන ගම්මාන නියැදිය වශයෙන් අධ්‍යයනයේ සීමාව බවට පත් කරගෙන ඇත.

 ජයතිස්ස තෙන්නකෝන්
ජනශ්‍රැත පර්යේෂක