2018 ජුනි 16 වන සෙනසුරාදා

ඔසප් නැවතීම ප්‍රශ්නයක් කරගන්න එපා

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1058

වැඩිහිටි කාන්තාවන් හට තම ජීවිතේ යම් කාල වකවානුවක මුහුණදිය යුතු කායික තත්ත්වයක් ලෙස ආර්තවහරණය හැඳින්විය හැක. Menopause නමින් හැඳින්වෙන මෙම තත්ත්වය බොහෝ විට අවුරුදු හතළිස් පහ ඉක්මවූ විට කාන්තාවන්ට ඇතිවීමට පුළුවන. නමුත් ඇතැම් කාන්තාවන්ට එම වයස සීමාවට පසුව වුවද ආර්තවහරණය ඇතිවිය හැකිය.

කාන්තාවන්ගේ ශරීරයේ ඩිම්බ නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන හෝමෝනය ලෙසින් හැඳින්වෙන ඊස්ට්‍රජන් අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැක.

ආර්තවහරණයේ ප්‍රධාන කායික - මානසික ලක්ෂණ

 අලස ගතිය දැනීම

 ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම හේතුවෙන් හිසකෙස් ගැලවී යාම

 නිදිමත ගතිය

 ලිංගිකත්වයට දක්වන කැමැත්ත නැතිවී යාම

 සිරැරේ රස්නය දැනීම

 අත්ල හා යටිපතුල්වල දහඩිය දැමීම

 රාත්‍රී නින්දෙන් වරින් වර අවදි වීම

 රාත්‍රී නින්දට ගිය විට වරින් වර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම

 ඉක්මනින් කේන්ති යාම

 ඇඟ පතේ ඇතිවන අධික වේදනාව

ආර්තවහරණය බොහෝ විට වයස අවුරුදු හතළිස් පහ පමණ වෙද්දී ඇතිවුවද ආර්තවහරණය පමාකිරීමේ හැකියාවක්ද පවතී. වයස අවුරුදු පනහ පමණ ඉක්මවූ කාන්තාවන්ටද දරැවන් බිහිකිරීමේ හැකියාවක් පැවතියද බොහෝ විට වයස අවුරුදු හතළිස් පහට පෙර දරුසම්පතක් ලබාගැනීමට වගබලාගැනීම කාන්තාවන්ගේ වගකීමකි. අවම වශයෙන් වයස අවුරැදු හතළිස් පහට පෙර එම සිහිනය සැබෑ කරගැනීම කළ යුතු වේ.

ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම වළක්වාගත හැකිවන්නේ නම් ආර්තවහරණය පමාකර ගැනීමට හැකියාව පවතී. ඒ සඳහා ඉතා පෝෂ්‍යදායී ආහාර රටාවකට කාන්තාව හුරුවිය යුතුය. බොහෝ ගෘහණියන් තම ආහාර රටාව සම්බන්ධව දක්වන්නේ අඩු සැලකිල්ලකි. තම සැමියා ගැන, තම දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන කාන්තාව ඉතා පෝෂ්‍යදායී ආහාර පාන ඔවුන්ට ලබාදී දවස අවසානයේදී කුමක් හෝ ඉතිරි වූ ආහාරයක් කුසට දමාගෙන කුස පුරවාගනී. ඇතැම් කාන්තාවෝ බොහෝ විට කුසගින්නේම නින්දට යති. වෙලාවට කෑම නොගැනීමෙන්, පෝෂ්‍යදායී ආහාර රටාවන්ට හුරැනොවීමෙන් බොහෝ කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී යයි. මෙය ආර්තවහරණය ඉක්මන් වීමට ප්‍රධාන හේතුවක් වේ.

ආහාර පාන මෙන්ම මානසික හේතුන්ද ආර්තවහරණයට යම්තාක් දුරකට හෝ බලපායි. ආයුර්වේදයට අනුව ආර්තවහරණය පමාකිරීමේ හැකියාවක් ඖෂධවල පවතී. ඩිම්බ කෝෂ අකර්මණ්‍ය වෙමින් පවතිද්දී එම ඩිම්බ කෝෂ නැවතත් වර්ධනය කර ගැනීමට අදාළ ඖෂධ උපකාරී වේ.

මෙම කාලසීමාව පසුවන කාන්තාවන් ඉවසීමෙන් කටයුතු කිරීමත් සතුටින් සිටීමත් අවශ්‍යය. මේ සඳහා හාතවාරිය කැඳ පානයද ඉතා ගුණදායක වේ. ඉරමුසු කැඳ ආර්තවහරණය පමාකිරීමට උදව් වේ. එමෙන්ම බැබිල මුල් තම්බා බීමට ඉතා ගුණදායක වේ. එමෙන්ම කැල්සියම් වැඩි හාල්මැස්සන් වැඩිපුර ආහාරයට ගන්න. ආර්තවහරණය ළංව පවතින කාන්තාවන් ආර්තවහරණයේ ලක්ෂණ පවතීනම් ඉක්මනින්ම ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න. 

කාන්තා රෝග පිළිබඳ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
විශේෂඥ වෛද්‍ය 
දයානි සිරිවර්ධන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00