2018 ජුනි 09 වන සෙනසුරාදා

ශුභ ඵල වැඩි කරන අධියෝග බලය

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 260

කිසියම් ජන්මියකුගේ ජන්ම දායාදය ලැබීමේදී චන්ද්‍රයා හෙවත් සඳු සිටින ස්ථානයෙන් හය, හත, අට හෝ සුබ ග්‍රහයන් පෙනේ නම් වාසනාවන්තයන් බිහිකරන අධියෝගයක් ඔහුට යෙදේ. මෙම අධියෝගය තවත් විධියකට යෙදීමට පුළුවන. එනම් ජන්මියාගේ ලග්නයෙන් හය, හත, අට යන තැන්වල සුබ ග්‍රහයන් ස්ථානගතවූ විටද අධියෝගය යෙදෙන බව සමහරුන්ගේ මතය වී තිබේ. මොන අන්දමට කවර ආකාරයට යෙදුණත් අධියෝග යෙදීමෙන් ලැබෙන යහපත විශාලය.

යම්කිසි ජන්මියකු ජන්ම දායාදය ලැබීමේදී මේෂ ලග්නයෙන් ඉපදුණහොත් සත්වැන්න වූ කටක රාශියේ සඳු සිටින විට ගුරු නවවැන්නේත් කිවි දසවැන්නේත් බුධ එකොළොස්වැන්නේත් ස්ථානගත වේ නම් එවිටද යෙදෙන්නේ මෙම අධියෝගයයි. තවදුරටත් විමසා බැලීමේදී චන්ද්‍රයාගෙන් හය, හත, අට යන ස්ථාන තුනේම සුබ ග්‍රහයන් වෙසෙන්නේද එයත් මෙම අධියෝගය යෙදීමට හේතු සාධක වේ. එසේම සුබ ග්‍රහයන් උච්චක්ෂේත්‍රව, එසේත් නැත්නම් ස්වක්ෂේත්‍රව හිඳීම සුබ ඵල ඕනෑවටත් වඩා ලැබීමට වාසනාව ගෙන දෙයි.

යමෙකුගේ උත්පත්තිය මීන ලග්නයෙන් ඇතිවූ විට එම ජන්මියාගේ සයවැන්නේ බුධද, හත්වැන්නේ ගුරුද, එසේම අටවැන්නේ කිවිද ස්ථානගතවූ විට අධියෝගය සඵල වෙයි. කෙසේ නමුත් අධියෝගය සුබ ග්‍රහයන්ගෙන් පමණක් යෙදෙන බව දත යුතුමය. මේ හැරුණ විට පාප ග්‍රහයන්ගෙන්ද අධියෝගය යෙදීමට බැරිකමක් නැත. නමුත් එය ක්‍රමානුකූල නියමාකාර අධියෝගය නොවේ. සුබ ග්‍රහයන්ගේ බලවත් බව මෙම යෝගය නිසා වැඩිවන අතර වර්ධනය කිරීම සිදුවේ.

කිසියම් ජන්මියකුගේ ජන්ම දායාදය සුබ ග්‍රහයෝගයකින් හෝ සුබ ග්‍රහයෝග කිහිපයකින් යෙදීමට බොහෝවිට ඉඩකඩ ඇත. සුබ ග්‍රහයෝගයකින්, එසේත් නැත්නම් අසුබ ග්‍රහයෝග හතකට වැඩි ගණනකින් ජන්ම දායාදය ලබන්නට පිළිවන්කම තිබේ. මෙසේ ජන්ම දායාදය ලැබූ විට සුබ ග්‍රහයෝගවලට අසුබ ඵලද එම ජන්මීන්ට ගෙනදිය හැකි වන්නේය. සුබ ග්‍රහයෝගයකින් හෝ ග්‍රහයෝග කිහිපයකින් හෝ ජන්ම දායාදය ලැබූ විටදී සැප සම්පත් විඳීමට වරම් ලැබේ.

තමාගේ ලෞකික ජීවිතය වාසනාවන්ත ලෙස ගත කිරීමට වාසනාව දායාදය කරගෙන පැමිණි අය සිටිති. එසේම සුබ ග්‍රහයෝගයකින් අසුබ ග්‍රහයෝග කිහිපයකින් ජන්ම දායාදය ලැබූ විටකදී කෙතරම් සැප සම්පත් විඳීමට සිදුවුවත් නීති ප්‍රශ්නවලට මැදිවන්නේමය. නඩුහබවලට පැටලීම සිදුවේ. පවුලේ පුදුම ලෙස කරදර බාධක ඇතිවේ. සිතන්නට බැරි ප්‍රශ්නවලට මෙන්ම කරදරවලටද මුහුණදීමට සිදුවේ.

අධියෝගයේ වාසනාව ගැබ් වී ඇත. මෙම යෝගයෙන් උපත ලද ජන්මීහු වාසනාවන්ත ජීවිතයක් ගත කරති. සතුරන් ලෙහෙසියෙන්ම දමනය කරති. විනෝදයෙන් නිතරම කාලය ගෙවෙයි. විශාල ආත්ම ශක්තියකින් හෙබි අයද වෙති. ප්‍රබල ආත්ම ශක්තිය වගේම දීර්ඝායුෂ භුක්ති විඳීමට හිමිකම් ලබති. නිරෝගී ජීවිත ගත කිරීමට මෙන්ම ධන ධාන්‍යයෙන් ආධ්‍යත්වය ලැබීමට හිමිකම් අත්වේ. මොවුන් නිතරම සැම කටයුත්තකදීම සාර්ථකත්වය පෙන්නුම් කරයි. එසේම තම ජීවිතය කීර්තිමත් බවට පත් කරගනිති.

ජාත්‍යන්තර ජ්‍යොතිෂ විද්‍යා විශාරද, 
දේශමාන්‍ය, දේශබන්දු
මහාචාර්ය සිංහ හේමපාල පතිරණ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00