2018 ජුනි 09 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

මේ ළඟඳී මම කෝච්චියේ එනකොට මම ආපු පෙට්ටියේ ගැන්සියක් වටවෙලා මොනවදෝ බලනවා. ෂා.., කෝමද පාර, මේ අරකි නේ බන්?, බලහන්කෝ ඒකිගේ ඇඳුම, පට්ට සල්ලියක් ඌ වියදම් කරලා තියෙන්නේ, ඕකි මහා ........ බන්, අනේ අපොයි වගේ අටෝරාසියක් වචන කියනවා මේ රැළේ උන්. ඔක්කොම එකම ෆෝන් එකකට පොර කනවා. මාත් සෙනඟ අස්සෙන් ඔළුව දාලා බැලුවා. බැලින්නම් මොකක්ද? පාටි එකක ෆොටෝ වගයක්.

ඒ රැළෙන් බේරිලා ඔෆිස් ඇවිත් ෆේස් බුක් එකට රිංගුවා මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න. හැමතැනම කාගෙද මන්දා හාදයෙක්ගේ උපන්දින සාදයක්. ඒකට ආපු නිළියන්ගේ ඇඳුම්, යට ඇඳුම්, මූණු, අනන් මනන් එකින් එක අරගෙන ෆේස් බුක් පේජ් කරන ඈයෝ දාලා හදපු අම්මගේ ඉඳන් මතක් කරලා. පාටිය දුන්න එකාව මරාගෙන කන්න යනවා ඇයි එහෙම කළේ කියලා අහලා. ගාණත් කෝටි 2යි ලක්ෂ 75 යි කියලත් ඔඩිටර්ලා වගේ පොරවල් දාලා. ඒකට ආපු උන් නැති කරනවා.
මමත් පොටෝ ටික බලලා නිකන් හිටියා. ඔන්න දෙවැනි දවසෙත් කෝච්චියේ, එදත් තවත් කට්ටියගේ මාතෘකාව මේක, ෆේස් බුක් එකෙත් මේක. දවස් දෙකක් ගියා, තුනක් ගියා, හතරක් ගියා. මේකෙන් තොර කතාවක් නෑ. යකෝ පුදුම වැඩක් වුණානේ. හැම තැනම ඒ යකාගේ පාටිය.

කොහොම වුණත් මම කියන්න යන්නේ මේ උපන්දින සාදයේ සිද්ධි ගැන නෙමෙයි. මේ කියන්න යන්න බාහිර සමාජයට වෙලා තියෙන කරුමය ගැන. දැන් අර හාදයා උපන්දින සාදයක් රෝයල් විදිහට ගත්තා කියමුකෝ. ඒ සල්ලි කාගෙද? ඔයාගෙද? අපේද? නෑදෑ කෙනෙක්ගෙද? නෑනේ. ඒ නිසා ඉස්සෙල්ලම අපේ නොවන දෙයක් ගැන හිතලා හිත කම්පා කරගන්න එපා. මොකද ඒ සල්ලි එයාගේ. එයා මහන්සි වෙලා හම්බ කරපු සල්ලි.

ඊට පස්සේ තව කට්ටියක් කියනවා අපරාදේ පිනක් කරගන්න, නැති අයට කන්න දෙන්න තිබ්බලු. දැන් මනුස්සයෙක් පිං දහම් කරන විදිහ ගැන අපිට හොයන්න තියෙන අයිතිය මොකක්ද? එයා පිං කළොත් ඒක එයාට ලැබෙයි. එයා පව් කළොත් ඒකත් එයාට ලැබෙයි. ඒ විතරක් නෙමෙයි එයා පාටියක් දැම්මා කියලා කෝටි ගාණක් වියදම් කරලා ඒකෙන් කියන්න පුළුවන්ද එයා පිං කරන්නේ නෑ කියලා. කෝච්චියේ යන එන, මේ උදේ හවා රස්සාව කරන අපි එයා පිං කරලා තියෙනවද නැද්ද කියලා කොහොමද දන්නේ? එයා අපේ පවුලේ කෙනෙක් නෙමෙයිනේ. අනික පවුලේ කෙනෙක් වුණත් අපිට කියන්න බෑනේ එයාගේ වැඩ. ඒ නිසා එයාගේ පිං ගැන අපිට වැඩක් නෑ.

ඊළඟ කාරණය ඒකට ආපු නළු නිළියන්ගේ ඇඳුම්. ඒ ඇඳුම් ඇන්දේ අපේ වැඩකටද? රටේ වැඩකටද? පොදු වැඩකටද? නෑ. ඒ ඇන්දේ අර හාදයගේ උපන්දින සාදයට. ඒ ඇඳුම් එයාලගේ කැමැත්ත. එහෙම නැතුව අපි සල්ලි දීලා ඇඳන් යන්න කිව්ව ඇඳුම් නෙමෙයිනේ. එයාලගේ සල්ලි නම්  එයාලාගේ ඇඟවල් නම් අපිට මොකද? අනික ඒ සාදයට ඇඳන් ආපු අය ඔක්කොම එක වගේ. ඉතිං එයාලා එයාලගේ ඇඳුම් බලලා සතුටු වෙන්න ඇති, ඊර්ෂ්‍යා කරන්න ඇති. ඒක ඒ අය අතර වින්දනයක්. අනික අපි නොගිය පාටියක ගෑනු ටිකක් ඇඳන් ආපු ඇඳුම් ගැන හොය හොය ඒ ගෑණුන්ව කන්න හදන එක ලැජ්ජ නැති වැඩක්. අපිට කිව්වා නම් අපිත් යනවනේ. එහෙම ගියානම් ඔය බණින සමහර අයත් ගල් ඉබ්බෝ වගේ ඉන්නේ. නොගිය නිසා කන්න යනවා. ඒවා හිරිකිත වැඩ. එහෙම වෙන්න එපා. අනුන්ගේ දේවල් හොයන්න, ගරහන්න එපා තමන් සර්වසම්පූර්ණ මිනිහෙක් ගැහැනියෙක් වෙනකම්.

හරි දැන් ඒ උපන්දින සාදය ඉවරයි. දැන් ඒ උපන්දිනේ සමරපු හාදයා එයාගේ සුපුරුදු රස්සාව කරනවා. ඒ වගේම අපේ මීඩියා අයියලා, අක්කලා ආන්දෝලනාත්මක (එයාලා කියන වචන) උපන් දින සාදය ගැන ඒ හාදයා පස්සෙන් වැටි වැටී අදහස් ගන්නවා. ගිය අයගෙනුත් ගන්නවා. මාර සටනක් දෙනවා. අපේ අය ඩේටා කපාගෙන, රීලෝඩ් දාගෙන ඒ දේවල් බලනවා අතේ පිච්චියත් පුච්චගෙන. අනේ අර බර්ත්ඩේ පාටියට ගිය අයයි, ඒ හාදයයි සුපුරුදු රස්සාවල. අපේ අය තවම රසකරනවා මේක වැඩත් පාඩු කරගෙන, කාලයත් පුච්චගෙන.

මෙහෙමයි, ලෝකේ කොහෙවත් රටවල නැති විදිහට අනුන්ට ඊර්ෂ්‍යා කරන, ගරහන, මඩ ගහන ලෙඩක් අපිට තියෙනවා. ඒ ලෙඩේ එන්නේ සංස්කෘතිය කියන සුදු රෙද්දෙන් පොරවගෙන. අපෝ අපේ සංස්කෘතිය විනාස කළා, කෑවා වගේ කතා කියාගෙන එනවා. ඇයි එහෙනම් උඩුකය නිරාවරණය කරගෙන ඉන්න සීගිරි අප්සරාවෝ ගැන විවේචනයක් නැත්තේ? අද කාලේ ඒ වගේ චිත්‍රයක් ඇන්දානම් කාශ්‍යප රජ්ජුරැවන්ව ෆේස් බුක් එකෙන් නැති කරලා. රජකම දාලා යන තැනට තල්ලු කරලා.

ඒ නිසා අපිට ඒ දේවල් නොගැලපුණාට සමහර අයට ගැලපෙන්න පුළුවන්. සමහර අපේ දේවල් වෙන අයට නොගැලපෙන්න පුළුවන්. ඒක මනුස්ස ස්වභාවය. හැබැයි අපිට අයිති නැති, අපි සම්බන්ධයක් නැති දේවල්, ජීවිත හදන්න යන්න එපා, විවේචනය කරන්න එපා. වෛර කරන්න එපා. ඒකෙන් තමන්ට සුගතියක් වෙන්නේ නෑ. සිදුහත් කුමාරයා බුදු වුණායින් පස්සේ අනෙක් අයගේ මතය විනාශ කරන්න ගියේ නෑ. තව කෙනෙක්ගේ අදහස් නැති කරන්න ගියේ නෑ. හැබැයි ඔහු හරි දේ කළා. අනෙකාට ඔහු ආදර්ශයක් වෙන විදිහට හැසිරැණා. ඔහු කරන කියන දේ ගැන සංයමයක් කියා දුන්නා. 

ඒ නිසා අර හාදයගේ උපන්දිනේ පස්සේ පන්නන්නේ නැතුව තමන්ගේ දියුණුව පස්සේ දුවන්න. මොකද ඔබේ ජයග්‍රහණය තමයි වැදගත්. ඒ වගේම මතක තියාගන්න ඔබත් ඉහළ ගිහින් ඔබට කැමති දේ කරනකොට ඔය වගේම කුණු බැණුම් අහන්න වෙන බව.

මම
බ්‍රෝ