2018 ජුනි 02 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

මේ ළඟදී දවසක් මම කොළඹ තියෙන නම ගිය රෙස්ටුරන්ට් එකකින් කෑම එකක් ගෙනත් කෑවා. හොඳට කාලා අන්තිම කට කනකොට මට තේරෙනවා කටේ මොනවද පැටලෙනවා. කටු කටු වගේ. මම ඇඟිල්ල දාලා එළියට අරගෙන බැලුවා. අඬු වගයක්, අලි කුරුමිණියෙක්ගේ. වමනෙට ආවා. කට හෝදගෙන, කාපු ටිකත් එළියට දාලා, ප්ලේන්ටියක් ගහලා ගෙදර ගියා හිස් බඩින්ම. මම යන ගමන් කල්පනා කළා අපි වගේ පුරවැසියෝ කියලා.

මේ රට පුදුම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ පාලා තියනවා කියන්නේ, රූප රාජිනියෝ ටීවි එකට ඇවිත් දරුවන්ට මෙන්න මේ කිරි හොඳයි කියලා කිව්ව රටක්, ඊට පස්සේ ක්‍රිකට් ක්‍රිඩකයෝ රසකාරක තියෙන නූඩ්ල්ස් විනාඩි දෙකෙන් හදන්න පුළුවන්, ඒවා කෑවොත් මම වගේ වෙන්න පුළුවන් කියලා පණිවිඩ දෙන රටක්, සීනි නහුතෙට නගින පැණි බීම බෝතලයක් බීලයි මම ක්‍රීඩා කරන්නේ කියලා ක්‍රීඩකයෝ රටේ මිනිස්සුන්ට, කියන රටක්. ඒ විතරක් යෑ. කෝටි ගණන් වටින ශරීරයට හිතකර ඖෂධ අඩංගු කුළු බඩු තියෙන රටක කුකුළු සුප් කැට දාලා හොද්ද රස කරගන්න පුළුවන් කියලා කියන රටක්. ගලේ අඹරලා පොල් සම්බෝලේ රස කරගන්නවා වෙනුවට මේකෙන් කුඩු චුට්ටක් දාපුවම පොල් සම්බෝලේ ‘පට්ට’ කියලා ඇඩ් යන රටක්. ඉතිං එහෙව් රටක් ගැන කවර කතාද?

ලෝකයේ බොහෝමයක් දියුණු වෙමින් පවතින රටවල් ඔවුන් තමන්ගේ පුරවැසියාව පුදුම විදිහට ආරක්ෂා කරනවා රජය මැදිහත් වෙලා. කොයිම වෙලාවකවත් රටේ උන්ට වසක් විසක් කවන්නේ නෑ දැනුම්වත් නොකර. ඒ තරම් පුරවැසියාව රකිනවා. කොටින්ම කල් ඉකුත් වෙච්ච ගමන් කන්ටේනර් පිටින් ගිහින් මුහුදට හලන්නේ. ඒකට අපේ රටේ උන් එහේ ගිහින් කල් ඉකුත් වෙන්න ඔන්න මෙන්න තියෙන කෑම ජාති ගෙනල්ලා, ඒකේ දින වෙනස් කරලා කවනවා. ඉතින් කාපු වෙලේ පටන් රටේ නැති ලෙඩ.

කරුමයකට අපේ රටේ ආණ්ඩු ආවට මේ ආහාර සම්බන්ධව තියෙන සොයා බැලීම අඩුයි. මේ දැන් ගිහින් ඔබ පිටකොටුවේ බැලුවොත් විවිධ වර්ගයේ චොක්ලට්, ටොෆි තියෙන කඩවල් හැට හුටාමාරක් තියෙනවා. කාට හරි රට ගිහින් ආවා කියලා පිටකොටුවෙන් ඕන තරම් ටොෆි, චොක්ලට් අරගෙන යන්න පුළුවන්. හැබැයි කවුරුවත් මේ ගැන හොයලා බලන්නේ නෑ. මෙහෙම හිතන්න, රටේ මර්මස්ථානය තමයි කොළඹ. කොළඹට කොච්චර යනවා එනවද. හැබැයි හරියට කෑම එකක් කන්න පිරිසිදු කඩයක් හොයා ගන්න පුළුවන්ද? බෑ. ඉස්සරහා ලස්සනට කැටයම් දාලා තිබ්බට කුස්සිය මහා අපායක්. හැබැයි අපේ අය ගිහින් කනවා. කාලා එනවා.

ඒ නිසා අපේ රටේ මිනිස්සු තරම් කෑමවලින් දුක් විඳින ජාතියක් නෑ. කොටින්ම මේ රටට ගෙන්වන අජිනමොටෝ තහනම් කරනවා කියලා රටේ ජනාධිපති කියලත් ඒක් නතර කරගන්න බැරුව ගිය රටක්නේ. එහෙව් රටක පුරවැසියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතා ගන්න පුළුවන්නේ.

ලෝකේ අනෙක් රටවල්වල ආණ්ඩු හැම මොහොතෙම රටේ දරැවන්ට ජනතාවට දෙන්නේ හොඳම දේ. හේතුව ඔවුන් හිතනවා තමන්ගේ පුරවැසියා හොඳින් ඉන්න තාක් ඒ රට ඉස්සරහට යනවා කියලා. ඒ වගේම ඒ රටේ තරුණයන්ට ජවය වඩන කෑම ලැබුණම ඒ තරුණ ප්‍රජාවගෙන් විශාල කාර්යභාරයක් රටට කරගන්න පුළුවන් කියලා ඒ අය දන්නවා. ඒ නිසා හොඳම දේ කොහොම හරි තමන්ගේ පුරවැසියාට ලබාදෙන්න ඒ ආණ්ඩු වෙහෙස වෙනවා.

ඒත් අපේ රටේ වැඩියෙන්ම ශරීරයට අහිතකර ජරාව විකුණන්නේ රටේ ක්‍රීඩකයෝ එහෙම නැත්‍තන් නිළියෝ. හේතුව ජනතාව රවට්ටලා කොහොමහරි ගිල්ලන්න ඒ කොම්පැනිවල උන් කෝටි ගණන් සල්ලි වියදම් කරලා පෙන්නවා. ඒක බලලා අපේ අයත් ඒ විදිහටම ඒ ආහාර ගන්න උත්සහ ගන්නවා. අන්තිමට ලෙඩ. ජාතිය ටිකෙන් ටික වඳවෙන්නේ වඳ බෙහෙත් දාලා නෙමෙයි. මෙන්න මේ ජරාව කාලා. ඒ නිසා අපිට දැන හෝ නොදැන කැවෙන්නේ මේ ජරාව. ඒ අතින් බලපුවම මට කුරුමිණියෙක් කැවිච්ච එක මහ ලොකු දෙයක් නෙමෙයි.

මම 
බ්‍රෝ

 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00