2018 මැයි 26 වන සෙනසුරාදා

අයියෝ සංවාදයට බයද?

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

සමාජයක් විදියට අපි සංවාදයට බයයි. එක් එක් අය තමන් විසින් තනාගත් කෝෂාගාරයන් තුළට වී කොෂ ගත වූ ලෝකය තුළ තම ජීවිත ගත කරනවා. මව්පියන් දරුවන් සමඟ සංවාදයක් නැහැ. බල සබඳතාවයක් තුළ දරුවන්ට තම අදහස් තිරස්චීන විදියට පටවනවා. ගුරුවරු සිසුන්ට තම මතය පටවනවා. දේශපාලන පක්ෂ තම මතවාදයන් අනුගාමිකයින්ට පටවනවා. මිනිස්සු තේරුමක් ඇතිව හෝ නැතිව මේ මතවාදයන් වැළඳ ගන්නවා. ලංකාවේ ඉතිහාසය පුරාම අපිට තියෙන්නේ අනුන්ගේ ලණු කාපු ඉතිහාසයක්. මේකට හේතුව අපි සංවාදයට බය වීම යි.

අනෙකාගෙන් ලැබෙන ප්‍රතිචාරය බලවත් නම් විද්‍යාත්මකනම්, දාර්ශනිකනම්, අපි එතනින් මඟහරිනවා විතරක් නෙවෙයි අර ප්‍රතිචාර දක්වපු පුද්ගලයාට පෞද්ගලිකව පහර දෙනවා. පාසල් පද්ධතියෙත්, පවුල තුළත්, සමාජය තුළත්, ආයතන තුළත්  පවතින දේවල් ප්‍රශ්න කරන අයට වෙන්නේ ගැටලු ගොඩක් හදා ගන්න යි. නැති ප්‍රශ්න ඇති කරගෙන කොන් වෙලා වරප්‍රසාද නැති කර ගන්නයි. මේ විදිහට හීලෑ කරගත්ත මිනිස්සු තමයි බොහෝ තැන්වල වැඩ කරන්නේ. ලෝකේ ලොකුම ණයකරුවා විදියට මේකේ අවසාන ප්‍රතිඵලය විඳීමට අපි දැන් සූදානමින් ඉන්නවා. තම ජාතික ආදායමින් ලොකුම පංගුව ණය වාරිකවලටත් පොලිය වෙනුවෙනුත් කැපකරල අපි කිසිවක් නොවුණු ගාණට ජීවත්වෙනවා.

සම්ප්‍රදාය කියන වචනය ඇතුළේ තියෙන්නේ අනුගත වීම කියන එකයි. ඒත් ඒක ඇතුළේ සංවාදය සඳහා තියෙන ඉඩ බැහැර කරන්න බැහැ. මට හැඟෙන විදිහට අපිට තියෙන්නේ වචනවල ගැටලුවක්. අපි භාවිත කරන වචන වලින් ඇත්තටම අපිට අවශ්‍ය කරන අර්ථය උත්පාදනය කර ගන්න අපි අසමත් වීම ප්‍රශ්නයක්. ඒ නිසා මත ගැටෙන පරිසරයක් සහ වඩා හොඳ මතය වෙනුවෙන් ඉඩදෙන මමත්වයෙන්  පුහුමාන්නයෙන් තොරව අදහස් සදහා ඉඩදෙන පරිසරයක් ගොඩනගා ගැනීම වැදගත් වෙනවා. අපේ රටේ කොතරම් බුද්ධිමතුන් හිටියත් ඔවුන්ගේ අදහස් මතුවෙන්නේ නැහැ. තනතුරු නිලතල එක්ක පුද්ගලයො දේවත්වයට ළංකරලා, නිලධාරීන් පුදන්න විතරක් පුරුදු වෙලා. ප්‍රශ්න කරන්න, විමසන්න, විවේචනය කරන්න බැරි සමාජ ව්‍යුහයක් හදාගෙන අපි දුක් විදිනවා; සමාජය එක තැන පල් වෙනවා.

තරග විභාගයක් සමත්වුණ පළියට අපේ නිලධාරීන් හිතන්නේ ඔක්කොම දන්නවා කියලයි. ගරා වැටුණු රාජ්‍ය සේවයට වග කියන්න ඕන මේ උද්දච්ච නිලධාරී ගොන්නමයි.  ටයි පටිය බැඳගෙන කෝට් එක දාගෙන, බැබළෙන්න උත්සාහ ගනිමින් ගන්න ඔල මොට්ටල තීරණවල නම් අවසානයක් නැහැ.

ඡන්දය කිට්ටු වෙද්දි ෆේස්බුක් එකවුන්ට්වලින් ජනතාවට කිට්ටු වෙන්න හදන දේශපාලකයින්, ඡන්දයෙන් පස්සෙ මූණුපොත්වල දකින්නවත් නැහැ. තාක්ෂණය කොතරම් දියුණු වුණත් දේශපාලකයින් සමඟ සංවාදයක් ඇති කරගන්න ජනතාවට හැකියාවක් නැහැ. අඩුතරමේ ඊමේල් එකවුන්ට් එකකින් වත් අපේ ඇමැතිවරයෙකුට අදහස් පල කරන්න හැකියාවක් නැහැ. දියුණු සමාජයක ජනතා නියෝජිතයා, ජනතාවගේ අදහස්වලට කන් දිය යුතු බව පිළිගත්තත් අපේ රටේ එහෙම විශ්වාසයක් නැති අතරම ජනතාවටත් ඒ ගැන හැඟීමක් නැහැ. ඊළඟ මැතිවරණය එනකම් දේශපාලකයින් අපිට අවශ්‍ය වෙන්නේ රැකියාවක් ගන්න විතරයි. පැය ගණන් පෝලිමේ පොරකාල පළාතේ මන්ත්‍රීවරයා, ඇමැතිවරයා කාර්යාල දිනයක හමුවෙලා විනාඩි කීපයක් පමණක් ලබාගෙන තම පෞද්ගලික අවශ්‍යතාවය ගැන කතා කරනවා හැරෙන්න වෙනත් සංවාදයක් ඇති කරගන්නනම් ඉඩක් දීලා නැහැ.

අපිට මේ අහිමි වෙලා තියෙන්නේ ප්‍රබුද්ධ සමාජයක් වෙත යන ගමන් මාර්ගයක්. ප්‍රබුද්ධ සමාජයක් විවේචනය, සංවාද, අනෙකාගේ අදහස්වලට කන් දීම ඇතුළේ බොහොම ලස්සනට දැනුම වර්ධනය කර ගන්නවා. මත ගැටෙන විට තමයි තව තව අලුත් මත බිහිවන්නේ. ඒක නිසා තමයි මා ඕ සේතුං කිව්වෙ, කවර සාර්ථකත්වයක් ගැන හෝ ආත්ම තෘප්තියට පත් නොවිය යුතුයි. අපි අපේ ආත්ම තෘප්තිය මැඬ ගෙන නිතරම අපේ අඩු ලුහුඬුකම් විවේචනය කළ යුතුය, කුණු ඉවත් කර පිරිසිදුව තබා ගැනීම පිණිස අපි දිනපතාම මුහුණ සේදීමත් බිම අතු ගෑමත්  කළ යුතුවාක් මෙන් අපි ද අලුත් විය යුතුයි කියලා. 

සියක් මත ගැටී දහසක් මත බිහිවිය යුත්තේ අනාගතය වෙනුවෙනුයි. දාර්ශනික වර්තමානයකින් දාර්ශනික අනාගතයක් කරා යා යුතුය. අවාසනාවකට අපට අහිමි වී ඇත්තේ ද මෙම දාර්ශනික භාවයයි. අධ්‍යපනයේ වන පොත් කිරීමට ඉගැන්වීමකට එහා ගිය සිතීමකට යොමු නොකරන සමාජයක් තුළ කෙසේනම් සංවාදයක් ඇති වන්නද? විශ්වවිද්‍යාල තුළ දැනුම වඳ පීදුණු කල සමාජයේ අනෙක් පාර්ශවකරුවන් ගැන කවර කතාවක්ද? විශ්ව විද්‍යල පද්ධතිය යනු රටක් තුළ දැනුම නිෂ්පාදනය කරන සංවාද විසංවාද සහිත වෙනස්කම් බිහි කරන තැනකි. එහෙත් ලංකාවේ විශ්ව විද්‍යාල තුළ වෙනත් මතයන්ට ගැටෙන්නට අවස්ථාවක් නොමැත. දේශපාලනය සහ අත්තනෝමතික පරිපාලනය විසින් විශ්ව විද්‍යල පද්ධතිය විනාශ කර ඇත. දැනුම ගවේෂණය කරනු වෙනුවට හීලෑ කරගත් එහෙයි මානව මානවිකාවන් පිරිසක් සහ ආචාර්ය මහාචාර්යවරු පිරිසක් දිළිසෙන අයුරු පෙනේ. යම් සමාජයක් තුළ ප්‍රතිවිරෝධතා නොමැති නම්, ඒවා නිරාකරණය කිරීමට මතවාදී අරගල නොමැති නම් එම සමාජය විනාශය කරා යනු ඇත. අපට වඩ වඩාත් මතවාදී අරගලයක් අවශ්‍ය කරන්නේ මේ නිසාවෙනි.  

 වජිර කාන්ත උබේසිංහ