2018 මැයි 19 වන සෙනසුරාදා

ශිෂ්‍ය අරගල උත්සන්න වෙයි

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

2018 මැයි මස 14 වන දින රාත්‍රි 8.48ට සිකුරු තමාට සමරාශි භවනක් වූ මිථුන රාශියට පිවිස අඟහරුට අයත් මුවසිරස නැකතේ 3, 4 වන පදවලත් රාහුට අයත් අද නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ ප්‍රථම 2වන 3වන පාදවලත් ගමන් කරයි. මෙසේ 2018 ජුනි 9 වන ශනි දින පාන්දර 2.43 දක්වාම මිථුන රාශියෙහි ගමන් කරනු ඇත. අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවේ කලාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ප්‍රකට කලාකරුවකුට මාරකයක් යෙදෙනු ඇත. කාන්තා ශුභ සිද්ධිය වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් ක්‍රියාවට නැංවෙන අතර අධ්‍යාපනික ආයතන ආශ්‍රිතව අශුභ වූ සිදුවීම් වාර්තා වේ. විශේෂයෙන් ඉගෙනීම් කටයුතුවල නිරත වී සිටින ශිෂ්‍යයන් විවිධ වූ අරගලකාරී ක්‍රියාවන්හි නිරත වන අතර කුඩා ළමුන්ට විවිධ වූ අපල හා අශුභඵල බහුල වන්නාවූ වකවානුවක් වෙයි. 

ආදරවන්තයින්ට අයහපත් සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවනු ඇත. ප්‍රේම සම්බන්ධතාවලට විවිධ වූ බලපෑම් ඇතිවීම නිසා සිය දිවි නසා ගැනීම් වාර්තා වේ. පවුල් ජීවිත අවුල් කරමින් තමන්ගේ රහස් සම්බන්ධතා හෙළිවීම් මත සිදුවන ඝාතනය කිරීම් පිළිබඳ ආරංචි ලැබේ.

විදේශීය වශයෙන් රොකට්, ජෙට් යානාවක් අනතුරට පත්වීමක් වාර්තා වනු ඇත.

මීළඟට ලග්න අනුව

මේෂ - ආදර හැඟුම්
සිතේ ආදර හැඟීම් ජනිත වනු ඇත. තමන්ගේ කාර්යයන් ඉෂ්ට කරගත හැකි වකවානුවකි. කලා කටයුතුවල නිරත වී ඇති අයට තම හැකියාවන් දැක්විය හැකිවේ.

වෘෂභ - ධනලාභ
පවුල් දිවියේ සමගිය වර්ධනය වන්නාවූත් වකවානුවකි. හදිසි ධන ලාබයක් අත්වනු ඇත. පවුලේ දියුණුව වෙනුවෙන් වැඩකටයුතු සිදු වන්නාවූත් කාල වකවානුවකි.

මිථුන - කැපී පෙනේ
අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට ඔබව පත් වන නමුත් අාවේගශීලී ගති නිතර ඇති වනු ඇත. ඔබ කරන්නාවූ කටයුතුවල දියුණුවක් අත්කරගත හැකි වනු ඇත.

කටක - දුර ගමන්
එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ බාධාවන් ඇතිවනු ඇත. පවුල් දිවියේ ද මතගැටුම් ඇතිවනු ඇත. දුරගමන් යෙදෙන වකවානුවක් වේ.

සිංහ - උදව්උපකාර
ඔබට හවුල් කටයුතුවලින් මෙන්ම හිත මිතුරන්ගෙන් ද උදව් උපකාර ලබාගත හැකිවන්නාවූ කාලවකවානුවකි. කලා කටයුතුවල නිරත වී සිටින අයට ද යහපත් වනු ඇත.

කන්‍යා - ප්‍රශ්න මඟහැරේ
ඔබගේ කාර්යයන් ඉෂ්ට කරගතහැකි වන අතර සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරීයනු ඇත. ඔබ ඔබගේ මතයට අනුව කටයුතු සිදු කරන්නාවූ වකවානුවක් වනු ඇත.

තුලා - නිර්මාණ කටයුතු
වන්දනා ගමන් යාමට අවකාශ අත්වන අතර උසස් අධ්‍යාපනයේ යෙදී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. නිර්මාණශීලී කටයුතුවල යෙදෙන අයට තම නිර්මාණ සාර්ථකව නිම කරගත හැකි වකවානුවකි.

වෘෂ්චික - සිතේ අසහනය
තම කාලාත්‍රයාට අයහපත් ලෙස ශරීර පීඩා ඇතිවන්නාවූත් වකවානුවකි. ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇති වනු ඇත. සිතේ සහනය අඩු වන්නාවූත් කාලයක් වේ.

ධනු - හවුලට හොඳයි
අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන අතර හවුල් කටයුතුවල නිරත වී සිටින අයට ද යහපත් වනු ඇත. විශාල අන්දමින් මුදල් යොදවා කටයුතු නෙකළ යුතු වකවානුවකි.

මකර - බාධා විරෝධතා
සේවා ස්ථානයේ මාරුවීමක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත. ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා විරෝධතාවන් ඇති කෙරේ.

කුම්භ - සිතේ සතුට
කලා කේෂත්‍රයේ නියැලි සිටින අයට යහපත් වනු ඇත. අවිවාහක අයට විරැද්ධ ලිංගික බැඳීම් ඇති වේ. සිතේ සතුට රජයන වකවානුවකි. සමාජ සේවකටයුතුවල නිරත වන අයට ද යහපත් වේ.

මීන - උරුමකම් ලැබේ
උරැම හිමිකම් ලබාගත හැකි වනු ඇත. නිවසේ අලුත්වැඩියාවක් සිදුවේ. අන් අය කෙරෙහි භක්තියෙන් උදව් උපකාර කරන්නට පෙළඹෙන වකවානුවකි.