2018 මැයි 19 වන සෙනසුරාදා

අතින් වියදම් කර ගමට පාරක් කපාගනෙ හිර‍ෙ වැටුණු මිනිස්සු

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

ක්‍රමවත් පාරක් තොටක් නොමැති නගරයක් වුව ඵලරහිත වන්නේ ප්‍රවාහන දුෂ්කරතා නිසාය. තරමක් දියුණු හන්දියක කඩපිලක තත්ත්වය එසේ වෙද්දි හරියට පාරක් තොටක් නැති ගමක මිනිසුන්ගේ ජීවිතය අසරණය. පරම්පරා ගණනක් තිස්සේ පා ගමනින් හෝ යන්නට නොවූ ගමක ගම්මුන් එක්වී පාරක් සකසා ගැනීම රටේ ආණ්ඩුවටත් කාලයක් තිස්සේ ඉටුකර දිය නොහැක්කකි.

ගතවූ සිංහල අවුරුද්දට කුසට රසට අහරක් නොගෙන අලුතෙන් ඇඳුමක් පැළඳුමක් ගන්නට වියදමක් නොකළ ගම්මු ඒ ඉතිරි කරගත් මුදලින් සහ තමුන්ගේ ඉඩම් පාරක් වෙනුවෙන් පරිත්‍යාග කරමින් ගමට යන්නට මාර්ගයක් තනාගත්හ. ඒ මිනිසුන්ට අවසානයේ හිරේ විලංගුවේ වැටීමට සිදුවීම වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වැනිය. මෙම අකරතැබ්බයට මුහුණ දී සිටින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩුවානගම අංක 506 ඊ ග්‍රාමනිලධාරි වසමේ ජනතාවය.

මහනුවර පදියපැලැල්ල හරහා රාගල මාර්ගයේ හමුවන ලියන්වෙල හන්දියෙන් දකුණට ඇති පටු මාර්ගයේ ගමන් කිරීමෙන් මඩුවානගම ගම්මානයට පිවිසිය හැකිය. රන්, රිදී හා ගොවිතැන් වැනි පාරම්පරික කර්මාන්තවල නියැලෙන පවුල් 75ක ජනතාව 250ක් පමණ වෙසෙන ගම්මානයේ රජයේ රැකියාවල නිරත වන පුද්ගලයන් සිටින්නේ තිදෙනකු පමණය. බහුතරයක් අසරණ දුගී ජනතාව වාසය කරන ප්‍රදේශයේ ජනතාවට පරම්පරා ගණනාවක් තිස්සේ ගමට යන්නට මාර්ගයක් තිබුණේ නැත.

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රිවරැන්ට පමණක් නොව දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට කොතෙකුත් ඉල්ලීම් කළද ගමට යන පාරක් තනා දෙන්නට ඉදිරිපත් වූවෙක් නැත. මේ නිසා ඒකරාශි වූ ගම්වැසියන් තීරණය කොට තිබුණේ සිංහල අවුරුද්දට කරන වියදම නවතා සෑම නිවසකින්ම රුපියල් 5000ක් බැගින් එකතු කර ගමට යන පාර කපා ගැනීමටය. ඒ සඳහා ඉඩම් පරිත්‍යාග කරන්නට හා ශ්‍රමය ලබාදෙන්නට ගම්වැසියෝ එකා මෙන්ම ඉදිරිපත් වූහ. ඒ අනුව බැකෝ යන්ත්‍රයක් කුලියට ගෙන දින හතක් පුරා සේවයේ යොදවාගෙන කුරුදියඔය දක්වා කිලෝමීටර් 3ක් පමණ මාර්ගය කපා ගත්තේ බොහෝ බලාපොරොත්තු ඇතිවය. එහෙත් අවසානයේ ගමට පාරක් කපාගත් ජනතාවට සිදුවූයේ එහි ප්‍රීතිය භුක්ති විඳීමට නොව බන්ධනාගාර ගතවීමටත් නොසිතූ අයුරෙන් දඩමුදල් ගෙවා එයින් නිදහස් වීමටත්ය.

“ගමේ ග‍්‍රාමසේවක මහත්තයාට මේ ගමේ මිනිස්සු එක්වෙලා පාරක් යන්ත‍්‍රයකින්  කපන සද්දේ ඇහිලා තියෙන්නේ දින 10ක් ගතව ගොස් පාර කපා අවසන් වුණාමද කියන ප‍්‍රශ්නයත් අහන්න වෙනවා. ගමට සේවයට ආපු නිලධාරියා ගමේ මිනිස්සුන් බේද කරවමින් නඩු දානවා. නමුත් අපේ එකමුතු තවත් ශක්තිමත් වුණා.” යැයි ගම්මු කියති.

ආර්.ඇම්.ටී.ජී. කරුණාදාස මහතා (64)

2013 වසරෙදි මේ පාරට රුපියල් ලක්ෂ 05 වෙන්වුණා. ඒ අනුව මම පාර පටන් ගත්තා. ටිකක් වැඩ කරගෙන යනවිට ටී.ඕ. මහත්තයා කිවිවා පාර පළල අඩි 09ක් නැහැ. මුදල් ගෙවන්න බැහැ කියලා මුදල් ආපසු යැව්වා. රුපියල් 6000ක පාඩුව මම විඳ ගත්තා. පස්සේ අපි එකතුවෙලා තමා මේ පාර අපේ මුදලින් කරගමු කියලා තීරණය කළේ. අපි ගස කොළට ආදරය ඇති මිනිස්සු. මේ කොස් ගස් පැළ කරවලා රැක බලා ගත්තේ අපි. මේ ගස් අපේම ගස්. කැමැත්තෙන් නොවේ ඉවත් කළේ. පාරක වුවමනාව දැනෙන නිසා මිසක් අත තියන් නෑ. දරුවන් වෙනුවෙන් තමා ගස් කැපුවේ.

ආර්.ඒ. ජයසේකර මහතා (40)

අපේ ගෙවල්වලට පේනව අපේ කුඹුරු. අත දිගු කළා වගේ වුණාට කුඹුරට යන්නේ එන්නේ සැතපුම් තුනක් වට රවුමකින්. පොහොර මිටියක් කර තියාගෙන යන්නේ හරි අමාරුවකින්. අපි හදාගත් කුරුදිය ඔයේ ලී දඬු පාලමත් වතුරට ගහගෙන ගිහින් අවුරුදු 05යි. පාලමක් ඉල්ලුවා නොලැබෙන හින්දා අපි පෞද්ගලික ආයතනයක පිහිට පැතුවා. පාලම හදනවාට වඩා වැඩි වියදමක් බඩු ගේන්ට යනවා නේද කියා පැවසුවා. මේ නිසයි අපිට පාරක අවශ්‍යතාවය වැඩි වුණේ. පාර කපා අවසන් වී අපිට උසාවි යන්න සිදුවුණා.

අපි ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි  සහ සංවර්ධන නිලධාරි දැනුවත් කළා අපේ පාර කපා ගන්නවා කියලා. ග‍්‍රාමනිලධාරි කපන පාර බලන්න ඇවිත් පාරේ තිබිය යුතු පළල ගැනත් අපිට පවසා කියා හිටියා ගැලවෙන කොස් ගස් කපා දමන්න එපා මුලින් ගලවා පැත්තක තියන්න කියලා. ලී ටික ඉරාගන්න බලපත‍්‍ර ලබා දෙන්නම් කියලා. දින 10 කට පස්සේ අනවසරයෙන් කොස්ගස් කැපුවා කියලා පැමිණිලි කරලා පොලිස් අත්අඩංගුවට පත්ව උසාවියෙන් දඩත් කන්න සකස් කළා. දඩ ගෙවන්න සහ ඒ සඳහා ගමන් යන්න අපිට ලොකු මුදලුකුත් වැය වුණා. ඒ මුදල තිබුණා නම් අපි පාරේ කොටසක් කොන්ක‍්‍රීට් කර ගන්නවා.

අජිත් කුමාර (39), අජිත් ජයකොඩි (39), කේ.පී. සුමනාවතී මහත්මිය (75) මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ.

මේ පිළිබඳව අප වලපනේ ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ මෙම මාවත ජනතාව විසින් සකසා ගැනීම වැදගත් කරුණක් මෙන්ම අගය කළ යුතු වුවත් රටේ පවත්නා නීතිය අනුව ගස් කැපීම පරිසර නිලධාරිවරයාට  සහ ග‍්‍රාම නිලධාරිවරයාට දන්වා තම ලේකම් කාර්යාලයේ අවසරය ලබා ගැනීමෙන් පසු සිදුකළ යුතු බවය. මෙම ගස් කැපීමේ නීතිය පවතිද්දී ජනතාව විසින් නීතිය අතට ගැනීම වැරැදි සහගත ක‍්‍රියාවක් බව ඔහු පවසා සිටියේය. කොස් ගස් පමණක් නොව වෙනත් ගස් කිහිපයකුත් මේ අන්දමින් කපා ඉවත් කිරීම සිදුව ඇති හෙයින් අදාළ ග‍්‍රාම නිලධාරිවරයා නීතිය ක‍්‍රියාත්මක කර තිබෙන බවත් ප‍්‍රාදේශීය ලේකම්ගේ පෞද්ගලික  දුරකථන අංකය පවා ප‍්‍රදේශයේ ජනතාව වෙත ලබා දී ඇති නමුත් අඩුම තරමින් තමාවත් දැනුවත් නොකර ජනතාව නීතිය අතට ගැනීමේ වරදක් සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

වලපනේ සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ද පවසා සිටියේ ජනතා අවශ්‍යතාවයක් වූ පාරක් ජනතාව විසින්ම සකසා ගැන්ම ආදර්ශමත් වැදගත් කාර්යයක් ලෙස සලකන නමුත් කොස් ගස් අනවසරයෙන් කපා ඇති බවට කරන ලද පැමිණිල්ල අනුව පොලීසිය නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බැවින් වලපනේ පොලීසිය විසින් ගත් ක‍්‍රියාමාර්ගය  නිවැරැදි බවය. අදාළ වසමේ ග‍්‍රාම නිලධාරිවරයා ගෙන් මේ පිළිබඳව දුරකථනයෙන් විමසන ලද නමුත් පිළිතුරක් ලබාදීම ප‍්‍රතික්ෂේප කරමින් ඒ පිළිබඳව ප‍්‍රාදේශීය ලේකම්වරයගෙන් විමසා සිටින ලෙස සඳහන් කළේය.

වැඩේ හොඳයි ඒත් ගස් කැපීමේ නීතිය අතට ගත්ත එක වැරුද්දක්
- වලපනේ ප්‍රාදේශීය ලේකම්

► සමන්ත ප්‍රදීප් විල්තෙර
(පසුබිම් වාර්තාව සහ සේයාරූ: රිකිල්ලගස්කඩ ටී.ඇම්. සෝමපාල)