2018 මැයි 19 වන සෙනසුරාදා

කිරිකැටියාගේ මාරයා වූ නරුම පියා

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 100


විසිඅට හැවිරිදි වියේ වූ විජේරත්න රේණුකා නම් යොවුන් තරුණිය දැන හඳුනන්නේ ඇය උපන් දා පටන්මය. තවමත් අවුරුදු දහඅටක යොවුන් වියේ පසුවන රේණුකාට විජේරත්න පිළිබඳව අමුතුවෙන් සෙවීමට හෝ දැනගැනීමට යමක් නොවීය. රූසපුවෙන් වැඩෙන රේණුකා දෙස බලා උන් විජේරත්නගේ සිතේ මෝදු වූ ආදරයට පිටුනොපෑ ඇය ඔහු වෙනුවෙන්ම කල් ගෙවූවාය. ගොවිතැනකට අමතරව කුලියක් කොට උපයාගන්නා මුදලින් රැකෙන්නට ගිය විජේරත්න රේණුකා කරකාරෙට ගත්තේ පවුලේ වැඩිහිටියන්ටත් ගම්මුන්ටත් රහසක් නොසඟවාය.

එක කුස උපන් සහෝදර සහෝදරියන් දෙදෙනාගේ දරුවන් වූ විජේරත්න හා රේණුකා ඇවැස්ස නෑනා - මස්සිනා වෙති. දෙදෙනාගේ පෙම් පටලැවිල්ලට අකැමැති නොවූ වැඩිහිටියන් හමුවේ විජේරත්න රේණුකා ඔහුගේ නිවෙසට කැන්ඳාගෙන ගියේ මීට වසර එකහමාරකට පමණ පෙරාතුවය. ඒ වන විටත් බාල වයස්කාරියක වශයෙන් උන් රේණුකාට හෝ ඥාතීන්ට එය ගැටලුවක් නොවීය.

එදා පටන් එක වහලක් යට අඹුසැමියන් සේ කල්ගෙවූ දෙන්නා තුළ හටගත් මතගැටුම්වල සීමාවක් නොවීය. මේ හේතුවෙන් වූ අඬදබර ප්‍රමාණය ඔවුන්ටත් මතක නැති ගාණය. බොහෝ ආරවුල් දෙදෙනාට නොදැනීම විසඳුණු ඒවාය. ඒ කෙසේ වෙතත් රේණුකා ගැබිණියක වූයේ මේ අතරතුරය. බාල වයස්කාරියක් වූ ඇය නීතියට අනුව විවාහ ගිවිසගෙන සිටියේ නැත. ඒ අවශ්‍යතාවය පිළිබඳ හැඟීමක් ද ඔවුන්ට නොවුණි. මේ අතර ඇගේ පළමු දරුවා බිහිකර තිබුණේ මීට මාස පහකට ඉහතදී ගෙවුණු ජනවාරි මාසයේදීය. විජේරත්න - රේණුකා යුවළගේ ජීවිතය අලුත් කරමින් දරුපැටියා ඉපදුණද ඔවුන් දෙන්නා අතර වූ මතගැටුම්, ආරවුල්වල අඩුවක් නොවීය. කිසිවක් ගාණකට නොගත් විජේරත්න හමුවේ තවත් කල්ගෙවිය යුතු නැතැයි සිතූ රේණුකා දරුපැටියා ඇකයේ හොවාගෙන සිය මහගෙදර වෙත ගියාය.

අට්ටාලබැඳිතැන්න, මුඩගමුව ගමේ ප්‍රධාන මාර්ගයෙන් වෙන්වන ගමේ දෙපස පදිංචිකරුවන් වූ විජේරත්නටත් රේණුකාටත් නිවෙස් දෙක අතර ඇවිදයන්නට විනාඩි ගණනක් ප්‍රමාණවත්ය. මේ නිසා රේණුකාට ඇගේ මහගෙදර වෙත යාමට විශාල ගැටලුවක්ද නොවුණි. එහෙත් දින කිහිපයක් ගතවුවද රේණුකා යළිත් නිවෙසට ආවේ නැත. ඒ පසුගිය අප්‍රේල් 11 වැනිදා ගිය මොහොතේ සිටය. එහෙත් දෙදෙනා අතර ආරවුල් ඇතත් අමනාපයක් නොවූයෙන් විජේරත්න රේණුකාගේ මහගෙදරට නිතරම ආවා ගියේය. මේ අනුව ඔහු මාසයකට වැඩි කාලයක් කල් ගෙවූයේ බිරියගේ නිවසේය. රේණුකා දරුවා සමඟ එක් කාමරයකත් විජේරත්න තනිවම තවත් කාමරයකත් කල්ගත කළද බොහෝ අවස්ථාවන්හි විජේරත්න රේණුකාට බලකළේ යළිත් තම නිවෙසට යන්නටය. විටෙක මත්පැන් තොලගා මහ ශබ්දයෙන් පැවසුවේද එයමය. එවැනි අවස්ථාවන්හිදීද දෙදෙනා අතර හටගත් ගැටුම් නිවැසියන්ටත් හිරිහැරයක් විය.

දිනය පසුගිය 12 වැනිදාය. රේණුකාගේ මව හෝ පියා ගෙදර නොවූහ. ඇගේ නැගණිය නාමලී පමණක් නිවසේ වූවාය. වෙලාව පෙරවරු 10.30 පමණ වෙමින් තිබියදී උදෑසන නිවසින් පිටව ගිය විජේරත්න ගෙදරට ආවේ තරමක් මත්පැන් තොල ගාගෙනය. එසේ ආ සැණින් රේණුකා හමුවේ කීවේ ගෙදරට යමු කියාය. ඊට එකඟ නොවූ ඇයත් සැමියාත් අතර ගැටුමක් හටගන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත.

ඒ වන විටත් දරුපැටියා හොවාගෙන උන් රේණුකා විජේරත්නගේ කතාවට පිළිතුරු බඳිමින් සිටියාය. බේරන්නට උත්සාහ කළත් කිසිවකුත් පස්සට නොයන බව දුටු නාමලී තිගැස්සී බලා සිටියාය. කෝපයෙන් ගුගුරමින් සිටි විජේරත්නගේ අතට හසුවූයේ ගෙදර දොර වසාතැබීමට ගන්නා 2x2 පරාල පටියයි. අඩි තුනක් පමණ වූ පරාලය ඔසවා කේන්තියෙන් පහර දුන්නේ රේණුකාට වුවත් අවාසනාවකට එම පහර වැදුණේ ඇය ඇකයේ හොවාගෙන සිටි දරුපැටියා වෙතටය. සිහිසුන් වූ දරුපැටියාගේ සිරුරෙන් ලේ වැගිරෙන්නට වූයෙන් කලබල වූ අක්කා නගෝ දෙන්නා ගමේ හිතවතුන් හා එක්ව දරුවා කන්දකැටිය රෝහලට ගෙන ගිය අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දරුවා වහාම බදුල්ල මහ රෝහලට මාරුකර යවන්නට පියවර ගෙන තිබුණි.

ඒ වනවිටද දරුපැටියා ජීවිතක්ෂයට පත්ව සිටියේය. මරණයට වගකිව යුතු පියා වන විජේරත්න ප්‍රදේශය හැරගොස් සිටියේ ආ ගිය අතක් නොමැතිවය. ඒ වන විටත් සැකකරු සොයා පොලීසිය විමර්ශනයක් අරඹා තිබියදී කන්දකැටිය පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එච්.ජී. අශෝක මහතා ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවන් දැනුම්වත් කර තිබුණි. එහිදී මියගිය දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ ඉකුත් අඟහරුවාදා එළිවෙන්නට මත්තෙන් සැකකරු මළගම තිබෙන ගම් ප්‍රදේශයට පැමිණ සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක අශෝක ඇතුළු පිරිසක් ඔහු අත්අඩංගුවට ගත්හ.

බදුල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ධම්මික වීරසිංහ, සහකාර පොලිස් අධිකාරී 01 උජිත් ලියනගේ මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. සිරිවර්ධන, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එච්.ජී. අශෝක, පොලිස් කොස්තාපල්වරැන් වන 64873 අබේරත්න, 70207 වීරසිංහ යන නිලධාරිහු වැඩිදුර විමර්ශන පවත්වති

► විල්තෙර