2018 මැයි 19 වන සෙනසුරාදා

මහ රෑ ඝන කැලේ ඉටි කොළේ නිදාගත්ත සුද්දෝ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 211

උපුල් විජේසූරිය මහතා සංචාරක මාර්ගෝපදේශනයට යොමුවීමට පෙර සේවය කරන්නේ, ගුවන් හමුදාවේ ය. 

“මම මේ ක්ෂේත්‍රයට එක්වුණේ අහම්බෙන්. මුලින්ම මගේ යාළුවෙක්ගේ ගයිඩින් වැඩකදී වාහනය පදවාගෙන යන්න තමයි මම ආවෙ. එතැනදි ගයිඩින් ගැන ආසාවක් හිතිලා මම සංචාරක මණ්ඩලේ පාඨමාලාව කරලා ලයිසන් එක ගත්තා”

උපුල් දැන් වසර දොළහක් පමණ තිස්සේ ගයිඩ් වෘත්තියේම නියැලී සිටින බැවින් ලංකාවේ උතුරු කොණේ සිට දකුණු කොණට නොගිය තැනක් නොමැති තරම් ය. එහෙත් ඔහු නොගිය තැනක් ද ඔහුගේ මතකයට ආවේය. 

“මට තාම යන්න බැරිවුණේ බත්තලංගුඩුවට විතරයි...” 

ගයිඩ් කෙනෙකුගේ ජීවිතයේ, ඇතැම්විට වැඩිම කාලයක් ගෙවෙන්නේ තම බිරිය දරුවන් සමඟ නොව සැතපුම් දහස් ගණනකින් එහා නොදන්නා දේශයක වෙසෙන විවිධ මිනිසුන් සමඟ ය. සෑම වසරකම ඔක්තෝබරයේ සිට එක දිගට මාස පහක් පමණ යුරෝපීය සංචාරකයින් බහුලව පැමිණෙන සමයේදී සති ගණන් මාස ගණන් නිවසින් පිටවී රටපුරා සංචාරය කරන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් උපුල්ගේ විශේෂත්වය වන්නේ තමා සංචාරය කළ සෑම ස්ථානයකටම පසු අවස්ථාවක තම පවුලේ උදවිය ද කැඳවාගෙන යාම ය. තමා විඳගත් ඒ අත්දැකීම තම ළබැඳියන් හා බෙදාගැනීමට ඔහු කටයුතු කරන්නේ එසේය. 

“උපුල් දැන් සීගිරිය කී පාරක් විතර නැගලා තියෙනවද?” 

ඔහු මඳක් කල්පනා කළේය.

“ඔයා වෙන ඕන ප්‍රශ්නයක් අහන්න. සීගිරියෙ කී පාරක් ගිහින් තියෙනවද? දඹුල්ලෙ කී පාරක් ගිහිල්ලා තියෙනවද වගේ ප්‍රශ්න අහන්නෙපා. මොකද ඇත්තටම ඒකට දෙන්න උත්තරයක් මගේ ළඟ නෑ”

සුනාමියෙන් පසු යාලේ සති තුනක්!

සුනාමිය පැමිණි මොහොතේදී උපුල් සිටියේ ස්වීඩන් යුවළකගේ සංචාරයක් අවසන් කර ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට ගෙන යමිනි. එම කටයුත්ත නිමකර නැවත කොළඹ එන්නට සූදානමින් සිටි ඔහුට සංචාරක ආයතනයකින් ඇමතුමක් ලැබුණි. ඉන් කියැවුණේ යාල වනයේ සිරවී සිටින ජපන් සංචාරක කණ්ඩායමක් වෙත හැකි ඉක්මනින් යන ලෙස ය. වෙහෙස මහන්සිය කිසිවක් ගැන මායිම් නොකළ උපුල් එය පිළිගෙන කෙළින්ම යාල වෙත තම මෝටර් රථය පැදවීය. 

එම ජපන් සංචාරක කණ්ඩායම සුනාමියට ගොදුරු වී තිබුණේ පටනන්ගල මුහුදු තීරයේදී ය. උදෑසනම මුහුදු තීරයට පැමිණි සංචාරකයින් පිරිස උදෑසන ආහාරය ලෙස ගෙනවුත් තිබුණු සැන්ඩ්විච් කන්නට සැරසෙනවාත් සමඟම වියරැ වූ මහ මුහුද රළ නඟමින් ඔවුන් වෙත කඩාපැන තිබුණි. එතැන හුන් ගයිඩ් මහතා ද ජීවිතක්ෂයට පත්වූ අතර අනූනවයෙන් ජීවිත බේරාගෙන තිබුණේ පස්දෙනෙකු පමණි. 

සුනාමියෙන් මියගිය සංචාරකයින් සොයා උපුල් යාලේ සති තුනක් ගත කළේය. ඔහුගේ සහායට පනස් දෙනෙකුගේ කණ්ඩායමක් ද ලැබුණි. 

“මුලදී නම් කණ්ඩායම එක පෙළට ඇවිදිමින් සෝදිසි කළා. පස්සෙ පස්සෙ අපි මිනී හෙව්වේ ගඳ ඉව කර කර ගිහිල්ලයි”

එක් තැනකදී පොළොවෙන් උඩට මතුවුණු ඇඟිල්ලක් පමණක් ඔවුහු දැක්කෝය. මුළුමනින්ම පාහේ වැලිවලින් යටවී තිබුණේ ජපන් සංචාරක කාන්තාවකි. සති කිහිපයක්ම ඉක්ම ගොස් තිබුණ ද මිනිය නරක් වී නොතිබුණේ වැලි යට සැඟවී තිබුණි නිසා විය යුතුය. වැලි යට තිබී ඇගේ මුදල් පසුම්බිය ද හමුවිය. 

“පුදුමේ කියන්නේ මුළු යාල කැලේම පීරගෙන ඇවිදලත් අපිට එක සතෙක්ගෙවත් මළකුණක් හම්බ වුණේ නෑ. පණපිටින් ඉන්න උන් හම්බ වුණෙත් නෑ”. 

සුද්දෝ ඇවිදිද්දි මං දුවනවා

උපුල්ගේ වැඩිම මනාපය ඇත්තේ Eco Tourism පැත්තට ය. පරිසරය වාගේම සාමාන්‍ය මිනිසුන් හා බද්ධ වූ සංචරණ අත්දැකීමක් සංචාරකයින්ට සමීප කරවීම ඔහුගේ එක් විශේෂත්වයකි. එනිසාම වනගත ප්‍රදේශවල ඇවිද යන්නට, කඳු නගින්නට සංචාරකයින් කැටුව යාම ඔහුට හුරුපුරුදුය.‍

ලංකාවේ ප්‍රයිවෙට් බස්වල ගමන් කිරීමේ අත්දැකීම ද උපුල් සමඟ යන සංචාරකයින්ට ලැබේ. වරක් එංගලන්ත සුද්දන් පිරිසක් සමඟ බස් රථයක් එනතුරු ගාල්ලේ බස් නැවතුමක සිටිද්දී ඔහු අසලට තරැණයෙක් කිට්ටු වුණේය. 

“තමුසෙලා තමයි ඕයි ටුවරිසම් කන්නෙ?” 

“ඇයි මල්ලි එහෙම කියන්නෙ?” 

“ඇයි ඕයි බස් එකක දාගෙන හොඳට අරන් යන්න පුළුවන්කම තියෙද්දි තමුසෙලා මුන්ව හිඟන්නො වගේ පාරෙ බස් එකේ පටවන් යන්නෙ. ලැජ්ජ නැද්ද තමුසෙට?” 

තමා හිටපු ආරක්ෂක අංශ සාමාජිකයෙකු බව හැබෑවකි. එහෙත් ප්‍රදේශවාසී තරුණයෙකු සමඟ ආරවුලකට පැටලීමට යාම නුවණට හුරු දෙයක් නොවේ. අනෙක් අතට එය තමන් හා පැමිණ සිටින සංචාරකයින්ගේ ආරක්ෂාවට ද යෝග්‍ය නැත. අනෙක් අතට තමා කැටුව එන සංචාරකයින්ට ලංකාවේ සාමාන්‍ය මිනිසුන් හා ගැටෙමින් දේශීය සංස්කෘතිය හරිහැටි විඳගැනීමට අවකාශ ලබාදීම ගැන ඔහු තුළ ඇත්තේ සතුටකි. 

“ඇත්ත මල්ලි. ඒත් මොනවා කරන්නද? එයාලට මෙහෙමලුනෙ ඕනෙ” යැයි කී උපුල් කරබා ගත්තේය. 

“ඒ ඔයාගේ යාළුවෙක්ද?” ඒ සමඟම පැමිණි බස්රථයට නැඟගත් උපුල්ගෙන් ඔහුගේ නඩයේ සාමාජිකයෙකු ඇසීය. 

“ඔව් ඔව්. මම ටිකක් දන්න කෙනෙක්.” 

මත ගැටුමක් වුවද අනෙක් තරැණයා තදින් කතාකරද්දී උපුල් කරබාගෙන සිනාසෙමින් උත්තර බැඳීම නිසා සංචාරකයා කල්පනා කරන්නට ඇත්තේ ඔහු උපුල්ගේ මිතුරෙකු කියාය. 

සුද්දන් හා පයින් යාමේදී අපහසුවට පත්වන්නේ සුද්දන් නොව උපුල් ය. අඩි හයකට වඩා උසැති සුද්දෝ අඩියට දෙකට යන ගමන අඩි පහකටවත් යන්නට උපුල්ට නොහැක. සුද්දන්ගේ පියවර දිගුය, එමෙන්ම කඩිසරය. ඒ ගමන සමඟ හැරෙන්නටවත් උපුල්ලාට නොහැක. 

“මට ඕක හොඳටම දැනෙන්නෙ සිරීපාදෙ නඟින්න ගියාම තමා. එයාලා අඩියට දෙකට කන්ද නැගලා ඉවරයි. මම තමයි හති දාගෙන එයාලත් එක්ක යන්නෝනෙ” 

පාද චාරිකාවේ මතක සටහන්

උපුල්ගේ සංචාරක මාර්ගෝපදේශන ගමන් මඟේ අමතක නොවන අත්දැකීමක් වන්නේ යාපනයේ සිට පිටත් වන පාද චාරිකාවට එක්වී කතරගම යෑමේ ගමන ය. මේ ගමනට ඔහු විදෙස් සංචාරකයින් ද එකතු කරගන්නේය. බොහෝ විට එක්වන්නේ එංගලන්ත ජාතිකයින් ය. 

“ඔය ගමනේ නඩේ ගුරා තමා ශිව සාමි. එයා තමා ත්‍රිශූලෙත් අරන් ඉස්සරහින්ම එන්නේ. ඒ පිටිපස්සේ හැමෝම දවස් ගාණක් තිස්සේ පයින්ම කතරගමට යනවා”

මේ යන අතරමඟදී ඔවුන් නවාතැන් ගන්නේ ද ඝන කැළෑව තුළ ය. දැවැන්ත ගිනි මැලයක් ගසාගෙන ඒ වටා රොක්ව නිදාගන්නා පිරිස නැවතත් හිමිදිරියේම අවදි වී ගමන අරඹයි. 

“ඉතින් සත්තුන්ගෙන් කරදරයක් නැද්ද?” 

“සත්තු අනන්තවත් හම්බ වෙනවා. අලි වලස්සු නයි පොළොංගු ඕන තරම් ඉන්නවා. ඒත් ලොකු කරදරයක් නෑ. කරදරයක් වෙන්නේ තනියම කැළේ ඇතුළෙ ගියොත් තමා. රූට ගිනිමැලේ ගහගෙන ඉන්නකොට ඈතින් කොළපාට, කහපාට ඇස් පේනවා. ඒ කියන්නේ කැළෑ සත්තු අපි දිහා බලාගෙන ඉන්නවා කියන එකයි. හදිසියේවත් මුත්‍රා කරන්න, ගිනිමැලේට දර ගේන්න වගේ දේකට කැලේට යන කෙනෙක්ට තමා සතෙක් කරදර කළොත් කරන්නෙ”

මේ පාද චාරිකාව අතරතුරේදී ඔවුහු නිදාගන්නේ බිම ඇතිරූ ඉටිකොළ මතය. සුද්දන්ට කියා සැප මෙට්ට නැත. ඔවුන්ගේ සයනයත් මහ පොළොවම ය. ඒත් තරැ හතේ සැප මෙට්ටයට වඩා මහ පොළොවේ උණුහුමට පෙම් බඳින සුද්දෝ කිසි අඬෝවැඩියාවකින් තොරව බිම නිදාගෙන හිමිදිරියේම ගමනට එක්වන්නේ අප බොහෝ දෙනෙකුට ද අහිමි දේශීය සංස්කෘතිය හැබෑවටම විඳගනිමිනි. 

(තවත් කොටසක් ලබන සතියේ) 

 රජිත ජාගොඩ ආරච්චි