2018 මැයි 19 වන සෙනසුරාදා

කත්රූබාගෙ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

සැප්තැම්බර් පොත් මාසය ළං වෙද්දී අනිවාර්යයෙන්ම මොන මොනවා හෝ පොත් දෙකතුනක් ලියා හෝ නොලියා ප්‍රකාශයට පත්කරන ලියනවංශ මහතා පසුගිය දිනෙක මා හමුවීමට පැමිණියේ තනිවම දොඩවමිනි. ඔහු තද කෝපයකින් පසුවන බවත් මට දුර තියාම වැටහුණි.

මොකද ලියනවංශ මහත්තයා, අදත් කෝච්චි ස්ට්‍රයික්ද?

මා එසේ ඇසුවේ ඔහු පූර්ණකාලීන යාවජීව දුම්රිය මගියෙකු බව දන්නා නිසාය.

කෝච්චි නෙවෙයි මිස්ටර් කොපි රයිට්!

ඒ කිව්වේ?

ඇයි මිස්ටර් ඔහෙත් ලේඛකයෙක් නේද? ආරංචි නැද්ද මුන් අපේ කර්තෘ භාගෙටත් කෙළින්ඩනෙ හදන්නේ.

එවිට මට කාරණය පැහැදිලි වුණි.

ආ... ඕක මොකක්ද ලියනවංශ මහත්තයා දැනටත් අපිට සීයට දහයනෙ හම්බ වෙන්නේ.

ඒක වෙනම කතාවක්නෙ මිස්ටර්. මුන්ට වටිනවද අපිට හම්බවෙන ඒ තුට්ටු දෙකට හරි මෙහෙම බදු ගහන්ඩ. ලැජ්ජ නැද්ද අම්මපා? මහ ලොකුවට කලාව, සංස්කෘතිය ගැනනම් කතා කරනවා.

ඕක මොකක්ද මහත්තයෝ ලේඛකයෝ කලාකාරයො ගැන හිතනවා නම් මත්පැන් මිල වැඩි කරයිද?. ඒක කර්තෘ භාගෙට අත ගහනවටත් වඩා අපරාධයක්නෙ.

ඒකත් ඇත්ත තමයි. අපිට ඒ වෙලාවෙයි මහා උද්ඝෝෂණයක් කරන්න තිබුණේ.

තරමක් කූල් ඩවුන් වූ ලියනවංශ මා ඉදිරියේ අසුන් ගත්තේය. ඔහුව තවත් සන්සුන් කරනු පිණිස මම දිනපතා පුවත්පතක වූ කාටුනයක් පෙන්වීමි. ඡන්දදායකයෙක් මන්ත්‍රීවරයෙකු හෝ ඇමැතිවරයෙකු ඉදිරියේ සිට මෙසේ කියයි.

මෙහෙම ගියොත් නම් අපිට දත්මිටි තමයි කන්න වෙන්නේ.

එය ගණනකට නොගන්නා දේශපාලනඥයා මෙසේ පිළිතුරු දෙයි.

ඉතින් කාපල්ලා! එතකොට අපිට ඒකටත් බද්දක් ගහන්ඩ බැරියැ?

මෙය කියැවූ ලියනවංශ යටිතොල පෙරළා ගෙන හිස සැළුවේය.

හිතක් පපුවක් නැති මිනිස්සු! නැත්නම් දුප්පත් ලේඛකයන්ගෙන් පොකට් එකට විදින්ඩ හදිසිය. මුන් ගැටකපන්නන්ටත් අන්තයි.

ලියනවංශ මහතාගේ කෝපය නිවෙයි. දැල්වෙයි. ඇවිලෙන ගින්නට පිදුරු නොදැමිය යුතු බැවින් මම මොහොතක් නිහඬ වූයෙමි.

ලියනවංශ යළිත් කතා කළේය.

කර්තෘ භාග බද්දට අපේම අයත් වගකියන්ඩ ඕනේ.

ඒ කවුද

පොත් ප්‍රකාශකයන්ගෙ, සංගමය ෆෙයර්වේ කට්ටිය, ගොඩගේ මහත්තයා.

ඒ මොන එහෙකටද?

ඒ ගොල්ලෝ තමයි පොත්පත්වලට ලක්ෂ ගණන් තෑගි දෙන්න පටන් ගෙන ආණ්ඩුව නොමඟ යැව්වේ. දැන් ආණ්ඩුවෙ ඔවුන් හිතන් ඇත්තේ මේ රටේ ලේඛකයො හැමෝගෙම බැංකු ගිණුම්වල කෝටි ගණන් සල්ලි ඇති කියලා.

මම සිනාව මැඬගෙන සවන් දී සිටියෙමි. ලියනවංශගේ කතාව දිගටම යයි.

මේ රටේ බලු බද්දෙන් පස්සෙ බලුම බද්ද තමයි ලේඛක බද්ද! ලේඛකයා, කලාකාරයා කියන්නෙ රටකට තියෙන ආභරණ. මුන්ට ඒ අයගේ කිසිම අගයක් නෑ. කවුරු හරි මළොත් නම් කාට හරි කියලා කතාවක් ලියාගෙන ගිහින් කියවලා එනවා.

සාහිත්‍ය කන්ඩද කියලා අහපු නායකයොත් මේ රටේ හිටියනෙ ලියනවංශ මහත්තයා. 

ඒ මනුස්සයට නම් වුණේ කියන්ඩ හැදුවෙ එක දෙයක්. කියවුණේ තව දෙයක්. රටේ නායකයා වුණාට හිතන්නෙ ඉංග්‍රීසියෙන්නෙ. ඒක සිංහලට දාන්න ගියාම පැටලෙනවා. කොහොම වුණත් මිනිහා කියපු කතාවෙ ඇත්තකුත් තිබුණා.

මොකක්ද ඇත්ත?

දේශපාලුවන්ට සාහිත්‍ය කියන්නෙ හිසරදයක්. කලාවෙන් සාහිත්‍යයෙන් තමයි මිනිස්සුන්ගෙ ඔළු හැදෙන්නෙ. ඒ නිසා උන්ට ඕනෙ. ඒවා වඳකරල නැති බංගස්ථාන කරන්න. එතකොට ඕන තොවිලයක් නටා ගත්තැකිනෙ.

අපි මේ සාහිත්‍ය විරෝධි බද්දට විරුද්ධව ලොකු උද්ඝෝෂණයක් කළොත් නරකද? අන්තරේ සහෝදරවරුයි, දොස්තර සංගමේ කට්ටියයි අපිට සහයෝගය දේවි. තවත් ඕනෙනම් කෝච්චි සංගම් ටිකයි, බස් සංගම් ටිකයි අල්ලගමු. පැට්‍රෝලියම් එකත් සපෝට්එක දෙයි.

මිස්ටර් හදන්නෙ ආණ්ඩුව පෙරළන්ඩද?

නෑ... නෑ... මම පොහොට්ටුවයි, ජේ.වී.පී. එකයි ගැන කිව්වෙ නැහැනෙ.

එහෙම නෙවෙයි. මෙතනදි අපි උපක්‍රමශීලී වෙන්ඩ ඕනේ. ආණ්ඩුවට තව තව බදු ගහන්ඩ පෙළඹවීම් ඇති කරන්ඩ ඕනේ. එතකොට මහා උද්ඝෝෂණයක් ඇති වෙනවා. ලේඛක බද්දත් එක්කම සේරම බදු ටික අකුල ගන්න වෙනවා.

ඔව්... ඒකත් හොඳ අදහසක්.

මම හැදුව අලුත් බදු යෝජනාවක්.

ලියනවංශ තම බෑගය තුළින් ලියවිල්ලක් ගෙන මා ඉදිරියෙහි තැබු‍වේය. බදු පැනවිය හැකි භාණ්ඩ හා සිරිත් කීපයක් එහි සඳහන් කර තිබුණි.

• ලිප්ස්ටික් භාවිතය.

• ඩෙනිම් ඇඳීම.

• සක්මන් කිරීම ඇතුළු ව්‍යායාම.

• කොළකැඳ

• ආප්ප, ඉඳිආප්ප, කොත්තු

• ප්‍රසිද්ධ ස්ථානවල ජල ස්නානය. (ගංගා, වැව්, දියඇළි)

• නියපොතු

• පෞද්ගලික වැසිකිළි

මේවා ඇතුළු තවතවත් දෑ එම ලැයිස්තුවේ විය. මීළඟ අයවැයට ඒවාද ඇතුළත් කරන මෙන් ලියනවංශ තම ලිපියෙන් මුදල් ඇමැතිට යෝජනා කර සිටී.

ලියනවංශ පිටත්ව යාමට සැරසෙන මොහොතේම මගේ ඊමේලයට ලැබුණු බදු කවියක් (Tax Poem) මම ඔහුට පෙන්වූයෙමි. මා එය ඉංග්‍රීසියෙන්ම තබන්නේ කවි පරිවර්තනයේදී මගේ නොහැකියාව නිසාම නොව එහි ඇති උපහාස රසය රකිනු පිණිසය.

Tax his Work, tax his dirt
Tax his booze, tax his gas
Tax his Wife, tax his kids
If he cries, tax his tears!

 කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00