2018 මැයි 19 වන සෙනසුරාදා

අපි කවුරුත් මිනිස්සු

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

ඇය ලස්සන යුවතියක්. උන්නේ මගේ ඉස්සරහ සීට් එකේ. 120 බස් එකක. ඇත්තම කිව්වොත් මම තමයි ඇය සිටි සීට් එකට පස්සේ සීට් එකේ වාඩි වුණේ.

කොළඹ යන්න බස් එකට ගොඩවුණු මගේ ඇස් කෙලින්ම යොමුවුණේ ඇය වෙතටයි. ඉතින් ඉබේටම වගේ ඇය සිටි අසුනට පසුපස අසුනට මගේ කකුල් යැවුණා.

මම පටන් ගනිද්දීම කිව්වා ඇය ලස්සනයි. ස්ට්‍රේට් කරලා ළාවට දුඹුරු පාට වර්ණ ගන්වපු ඇගේ කොණ්ඩේ උඩට උස්සලා ගැටගහලා තිබුණා. ඈ ඇඳගෙන හිටියේ වැඩිපුර කර කැපුණු ටී ෂර්ට් එකක්. ඒක නිසා හරියටම බෙල්ලෙන් අඟල් කිහිපයක් යටට වෙන්න කොටලා තිබුණ ලස්සන සමනලයා පැහැදිලිවම දැකගන්න පුළුවන්. කවුරු වුණත් ටැටූ එක ගහපු එකා වැඩ්ඩා. සමනලයට වගේම ඇයටත් ඒ ටැටූ එකෙන් ලැබුණේ පට්ටම ලුක් එකක්.

වට්ස් ඇප් මැසේජ් එක්ක ඇගේ ඇඟිලි ගොඩක් කාර්යබහුලයි. ඔව්, ඒක ඇපල් සෙවන් එකක්. අනුන්ගේ ෆෝන් ඩිස්ප්ලේ දිහා බලන එක කැත පුරුද්දක්. ඒත් තාම නවත්තගන්න බැරිවුණු කැත පුරුදු ඉතින් කීයක් කියලා තියෙනවද? ඇය මේ හිනාවෙවී චැට් කරන්නේ කාත් එක්කද? මට හරිම අවුල්. ආන්න ඒකට වෙන්න ඇති ලිංගික කුහකත්වය කියන්නේ. 

අඩි හයක් උසවීම වාසියක්! වහාම සීසීටීවී කැමරා දෙකක් ඇයගේ ෆෝන් ඩිස්ප්ලේ එකට. ආහ්.. ගෲප් චැට් දෙකක්. සැරින් සැරේ ෆෝන් එකෙන් ඇස් ඉවතට ගත්තු ඇය පාරේ යන මිනිස්සු දිහා ගොඩක් අවධානයෙන් බලනවා මම බලාගෙන. කියන්න අමතක වුණා. දැන් බස් එක පිටත්වෙලා ටික වෙලාවක්. හොඳ වෙලාවට සෙනඟ නෑ සීට් ගාණටවත්.

කපුරු බෝල පැකට් ටිකක් අතින් ගත්ත පොඩි එකෙක් බස් එකට නැග්ගා.

ඒකා දැක්කම මට ස්ලම් ඩොග් මිලිනියර් එකේ ජමාල් මලික්ගේ පොඩි කාලේ මතක් වුණා. දෙකක් නෑ ඒ පෙනුමමයි. පොඩි එකා කපුරැ විකුණන්න ෆුල් ට්‍රයි එක වුණත් බස් එකේ තඩි බෆල් හතරත් එක්ක ඌට හැරෙන්නවත් බෑ. ෆෝන් එකට ඔබාගෙන ඉඳපු ඔළුව උස්සලා ඇය තමන්ගේ ගාවට ආපු පොඩි එකාට ලස්සන හිනාවක් දුන්නා.

“මිස් ගන්නකෝ කපුරු පැකට් එකක්”

ඇය පොඩි එකාගේ අතින් අල්ලලා ඇගේ එහා පැත්තෙන් වාඩිකරගත්තා.

ජමාල් මලික්ගේ ඔළුව අතගාන ගමන් ඇය මොනවදෝ ඔහුට කියනවා.

පොඩි එකත් ඇස් ලොකු කරගෙන ඇගේ මූණ දිහා බලාගෙන අහන දේවල්වලට උත්තර දෙනවා.

ඇය මොකක් හරි කොළ කෑල්ලක් පොඩි එකාට දුන්නා.

සින්දුව ඉවරවුණ නිසා ඇය ඒ වෙලාවේ කියපු දේ යාන්තමට මට ඇහුණා.

“ඔයා මේකත් ගන්නකෝ. අද බිස්නස් කරන්න ඕන නෑ. දැන් ගෙදර යන්න.”

ඇය මුදල් නෝට්ටුවක් පොඩි එකාගේ අතේ ගුලිකරන ගමන් කිව්වා. මම හිතුවේ පොඩි එකා පැනපු ගමන් එකපාර ඒක ගනී කියලා. මොකද ඌ කපුරු පැකට් එකක් විකුණගන්න දෙතුන් දෙනෙක් ගාව වැන්ඳෙ නැති එක විතරයි කළේ. ඒත් ඌ ඇඹරෙනවා.

“නෑ මිස් ඕන නෑ. මම හවසට එන්නම්.”

“හරි හරි මේක තියාගන්නකෝ”

හරිම කුළුපග විදියට ඇය ඒ මුදල් නෝට්ටුව පොඩි එකාගේ අතේ ගුලිකරලා තිබ්බා.

බස් එකට නගිනකොට ඌගේ මූණේ තිබ්බ මැලවුණු පෙනුම දැන් නෑ.

ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැපු පොඩි එකා නොපෙනෙනකම්ම ඒ පැත්ත බලන් ඉඳපු ඇය ආපහු සුපුරැදු විදියට ෆෝන් එකට මූණ ඔබාගත්තා.

ඇය පොඩි එකාට කිවුවේ මොනවද? පොඩි එකා හවසට එන්නම් කිව්වේ කොහාටද? අනං මනං ප්‍රශ්න කෝටියක් මගේ හිතේ. ඇයත් එක්ක කතා කරන්න ඕන.

“කොහුවල බහින අය ඉස්සරහට එන්න” කොන්දොස්තර මල්ලිගෙන් ආරාධනාව.

කතානායිකාව බස් එකෙන් බහින්නයි සූදානම. මොකද කරන්නේ? කතා කරනවද? නැද්ද?

මේක ඉතින් ජීවිතේට එක පාරක් හම්බවෙන චාන්ස් එකක්ද දන්නෑ නේ. මාත් බැස්සා බස් එකෙන්.

මොකටද ඉතින් විචිකිච්ඡාවක්. කෙල්ලොන්ගෙන් බැණුම් අහලා නැතුවයැ... ඕන එකක්.

වෙලවට කහ ඉර ගාව රතු ලයිට් එක. මට තත්ත්පර හැටක්ම දීලා.

“එස්කියුස් මී”

ඇය හැරුණා.

“ඔව්”

“පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?”

“ඇයි පොඩ්ඩක්? මට හොඳට කතා කරන්න පුළුවන්”

එළ. දැන් බයක් නෑ. කොළඹ කෙල්ලොත් එක්ක වචනෙන් වුණත් ඇඹරෙන්න ටිකක් අමාරැයි. උන් හුඟදෙනෙක් ඉන්නේ තැලිලා පොඩිවෙලා විතරක් නෙමෙයි. මිරිකිලා ඇඹරිලා වෙන්න ඕන සේරම වෙලා.

“අර පොඩි එකා. ඔයා සල්ලි දුන්නේ?”

මම කතාව පටන් ගත්තා.

“ආහ් ඒකද... ඔයා දැක්කද ඒක? අහිංසක දරුවෙක්. ඉස්කෝලේ වැඩවලට සල්ලි හොයාගන්නලු බස්වල කපුරු විකුණන්නේ. තාත්තා නෑලු. තව නංගියෙක් ඉන්නවලු. අම්මනම් රස්සාවක් කරනවලු. ඒත් එයාගේ ඉස්කෝලේ වැඩවලට සල්ලි මදිවෙනවලු. අපි යාළුවෝ දෙතුන් දෙනෙක් සෙට්වෙලා ඔය වගේ ළමයි දෙතුන් දෙනෙක්ට ඉස්කෝලේ වැඩවලට හෙල්ප් කරනවා. එයා මේ ළඟලු ඉන්නේ. මම කිව්වා හවසට අම්මා එක්ක එන්න කියලා. එච්චරයි. පව් ඉතින්...”

“ඔයාට ෂුවර්ද පොඩි එකා ඇත්ත කිවුවේ කියලා?”

“මේකනේ ඩියර්.. මම කළේ හොඳ හිතින්. ඒකා බොරු කිව්වද මම දන්නෑ. ඌ සල්ලි අරන් ගිහින් සිගරැට් බොයිද දන්නෙත් නෑ. ඔයා දකින්නේ නැතුව ඇති ඒ වෙලාවේ ඒකාගේ මූණේ ආපු හිනාව. මට ඒ ඇති. ඒකා ආවොත් මම පුළුවන් විදියට උදව් කරනවා. දැට්ස් ඉනෆ්.. අපිට පුළුවන්නම් මනුස්සයෙක්ගේ මූණට හිනාවක් දෙන්න... ඒක නේද වටින්නේ? අපි කවුරැත් මිනිස්සුනේ...”

“එනිවේ නයිස් ටු මීට් යූ” ඇය මට අත පෑවා.

අප්පට සිරි එතකොටයි දැක්කේ ඇගේ අතෙත් ලස්සන මල්වැලක ටැටූ එකක්.

“බායි”

කොළ පාට එල්.ඊ.ඩී. මිනිහා පත්තුවෙන්න තව තත්ත්පර දෙකයි.

ඇය පාර මාරුවුණා.

ඇය හරි.

“ඔව් අපි කවුරුත් මිනිස්සු

 සහන් කොඩිකාර 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00